අද වන විට අප රටේ සැලකිය යුතු පිරිසක් රැකියාවන් සඳහා විදේශවලට ගොස් සිටිති. වැඩි දෙනෙකු නියමිත කාලසීමාවන් සපුරා යළි මෙරටට පැමිණෙන්නන් වන අතර, ඇතැමෙක් ස්ථීර පදිංචිය සඳහා ද විදේශගත වෙති. මෙලෙස ගොස් ධන සම්පත් උපයා තම ඉලක්කයන් සපුරා ගැනීම මේ සියලු දෙනාගේම එකම අරමුණ වන නමුත් විදේශවල අතරමං වී විවිධ දුක් කරදරවලට ලක්වෙන අයත් අනේකවිධ වදහිංසාවලට ලක්ව අන්ත අසරණයන් ලෙසින් යළි මවුබිමට පැමිණෙන අයත් පිළිබඳ නිතර නිතර අසන්නට ලැබේ. එමෙන්ම වසර කීපයක් විදේශගතව සිට පැමිණ ගේ දොර යාන වාහන ඇතිව සිටුවරු මෙන් කල්ගෙවන්නෝද අනන්තවත් සිටිති.
පූර්ව කුසල අකුසල කර්ම වේගයන්ට සාපේක්ෂව මෙලොව උරුමයන් සැලසුම් වන න්‍යාය තුළ මෙවන් විෂමතාවන් ඇතිවීමද නොවැලැක්විය හැකි නමුත් විදේශගතව ධන සම්පත් ඉපයීමේ භාග්‍ය නොමැතිව විදේශගතවීමෙන් සැපත වෙනුවට විපත උරුමකර ගැනීමට බෙහෙවින් ඉඩකඩ තිබේ.
නිවැරදි උපන් වෙලාවකට අනුව සකස් කළ කේන්දරයක් තුළින් මෙවන් භාග්‍යයක් උරුමව තිබේද යන්න නිරීක්ෂණය කර බැලීමේ හැකියාව ඇත. මේ සඳහා ප්‍රධාන වශයෙන්ම වැදගත් වන්නේ කේන්දරයේ 9 වැන්නයි. මීට අමතරව උපන්ගම හා මව්බිමත් ඉන් බැහැරව යෑම පිළිබඳවත් 4 වැන්න සහ 4 වැන්නෙන් 9 වැන්න වූ 12 වැන්නත් තොරතුරු හෙළි දක්වන බැවින් එම ස්ථාන පිළිබඳවද විමර්ශනය කළ යුතු වේ. මීට අමතරව ලග්නය 7 වැන්න හා 10 වැන්න පාදක කර ගනිමින්ද විදේශගාමි යෝග සැලසුම් වීමට ඉඩ ඇත.
රාශි 12 ම චර, තිර, උභය වශයෙන් තුන් වර්ගයකට බෙදී යාමේදී චර බවට පත්වන මේෂ, කටක, තුලා, මකර යන රාශි විදේශගත වීමේ දෛවෝපගත උරුමයන් සැලසුම් වීමට බෙහෙවින්ම පාදක වන අතර ඒ සඳහා උරදෙන ප්‍රධානම ග්‍රහයින් වන්නේ රාහු, සඳු සහ සිකුරුය. මේ අනුව 12 වැන්න චර රාශියක් වෙමින් සඳු හෝ සිකුරු එහි තැන්පත්වීමත් සහ 9 වැන්නේ රාහු සිටියදී 12 අධිපති බලවත්ව 9 වැන්නට දෘෂ්ඨිමය වශයෙන් හෝ සම්බන්ධවීමත් විදේශගතවීමකට මග පාදවන්නකි. මීට අමතරව ලග්නාධිපති චර රාශිගතවීමත් විදේශගතවීමකට පූර්ව ඉඟියක් ලබාදෙන අතර සඳු හෝ රාහු ද එම රාශියේම නම් හෝ චර රාශිගතව සිට ලග්නාධිපතිට දෘෂ්ඨි එල්ල වේ නම් එම කේන්දර හිමියා ස්ථීර වශයෙන්ම විදේශ ගතවනු ඇත.
චර රාශි පාදක කර ගනිමින් මෙලෙස විදේශගතවීමේ උරුමයන් තහවුරු කෙරෙන තවත් ග්‍රහ පිහිටීම් කීපයක් මෙසේය.
(1) ලග්නාධිපති හා 12 අධිපති අතර පරිවර්තන යෝගයක් යෙදී තිබියදී එයට රාහුගේ සම්බන්ධයක්ද දෘෂ්ඨිමය වශයෙන් හෝ ඇති වී තිබීම.
(2) 7 අධිපති ලග්නගතව සිටියදී ලග්නාධිපති 12 වැන්නේ වෙමින් රාහුගේ දෘෂ්ඨියට ලක්වීම.
(3) රාහු 12 වැන්නේ සිටියදී 12 අධිපති ලග්නගත වීම.
(4) 9 සහ 12 වැන්න අධිපති එකට සංයෝග වී හෝ අන්‍යොන්‍යව රාශි මාරු කරගෙන සිටියදී එය රාහුගේ බලපෑමකට ලක්වීම.
(5) 9 අධිපති ලග්නගත වී ලග්නාධිපති 12 වැන්නේ රාහු සමග සිටීම
කේන්දරයක ලග්නයත් 4 වැන්නත් එහි අධිපතියන් අතරත් ප්‍රබල වූ සම්බන්ධයක් යෙදී ඇත්නම් එම තැනැත්තා කොතෙක් විදේශ ගමන් ගියත් යළි මව් රටට පැමිණෙන අතර විදේශයක පදිංචියකට යතැයි සිතිය නොහැකිය. එහෙත් 4 අධිපති 12 වැන්නත් එහි අධිපති අතරත් එවැනි සබඳතාවක් ඇති වුවහොත් ඔහු ජීවිත කාලයෙන් වැඩි කොටසක් විදේශවල ගතකරන්නකු වනු ඇත.
මෙවන් ග්‍රහ පිහිටීම් එකක් හෝ පිහිටා ඇති කේන්දර හිමියකුට විදේශගතව සිට තම ආර්ථික ඉලක්කයන් සපුරා ගැනීමට වාසනාව උරුමකර දෙනු ඇත. එහෙත් එම සැලසුම්වලට අදාළ ග්‍රහයින් පාප පීඩිත, සතුරු, නීච තත්ත්වයකට පත්ව දුර්වලව සිටී නම් විදේශගතවීමෙන් බලාපොරොත්තු වූ ඉලක්කයන් සපුරා ගැනීමට නොහැකි වීමටද ඉඩ තිබේ. මේ පිළිබඳ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය කේන්දර නිරික්ෂණයේදී හඳුනා ගැනීමේ හැකියාව තිබේ. එසේ තිබියද ඒ පිළිබඳ කිසිදු තැකීමක් නොකර හිතුමතේට විදේශගතවීමෙන් විවිධ දුක්කරදරවලට ලක්වී අපා දුක් විඳ යළි මව්බිමට පැමිණෙන්නට සිදුවීමද නොවැළැක්විය හැකිය.
ජ්‍යොතිෂවේදී,
දයානන්ද පතිරගේ,
අකුරැස්ස පාර, පැදින්නෝරුව හන්දිය,
වංචාවල 0776778808