සඳකඩ පහනක කැටයම් ඔප කළ සුනිල් එදිරිසිංහ


සත්සර

 

බොරැල්ලේ තරුණ බෞද්ධ සමිති ශාලාවේ අමරදේවයන් පවත්වා ගෙන ගිය සංගීත පන්තියට ගිය අක්කාගේ තනියට ගිය බාල මල්ලී වරෙක ඇගේ එස්රාජයද රැගෙන ගියේය. අක්කා ගායනය පුහුණු කරන විට මල්ලී පන්ති කාමරයේ මුල්ලක තිබූ බංකුවක වාඩි වී අමරදේවයන්ගේ මියුරු ගී අසා මුමුනමින් සිටියේය. මල්ලීට සංගීතය ගැනත්, ගායනය ගැනත් උත්තේජනයක් ඇති වූයේ අමරදේවයන් ගැයූ ගීත ගායනා කිරීමෙනි.  


ගෙදර ද මේ පුංචි ගායකයාට සරස්වතී මණ්ඩපයක් මැ විය. ලොකු අයියා සංගීත රසිකයෙකි. පවුලේ මුලින්ම සංගීත කලාවට යොමු වූ සොහොයුරෙක් ද රඟපෑමට යොමු වූ සොහොයුරෙක් ද විය. සොහොයුරු සොහොයුරියන්ගේ සමාගම දෙමව්පියන් මුල් අසුන්වල තබා ඔහු ශිල්ප දැක්වූහ.   


කවුද මේ පවුල?  


කැලණිය නුංගමුගොඩ ග්‍රාමයේ පදිංචිව සිටි පැටිකිරිගේ එදිරිසිංහ හා උස්හෙට්ටිගේ එළිසබෙත් පෙරේරා යුවළට දාව උපන් සහෝදරයන් තිදෙනෙකු සහ සොහොයුරියන් සිව් දෙනෙකුගෙන් යුතු වූ පවුලය. අපේ කතාවේ කතානායකයා වන්නේ පවුලේ බාලයා වූ පැටිකිරිගේ සුනිල් ජයප්‍රීති එදිරිසිංහය. 1949 දෙසැම්බර් මස 19 වෙනිදා උපත ලැබීය. සුනිල්ගේ වැඩිමහල් අයියා වූයේ ධර්මසිරි එදිරිසිංහය.   


(ඔහු හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පුද්ගලික ලේකම්වරයකු හා විදුලි බල මණ්ඩලයේ අධ්‍යක්ෂවරයකුව සිටියේය) ඔහු අද ජීවතුන් අතර නැත. ඊළඟට ටෙක්ලා සඳශීලී එදිරිසිංහ සොහොයුරියයි. දෙවැනි අක්කා ෆ්ලොරිඩා කැතරින් එදිරිසිංහ අද ජීවතුන් අතර නැත. පවුලේ මුලින්ම සංගීතය හැදැරූ අක්කා මර්ෂියා සිරිමා එදිරිසිංහය. ඊළඟ සතිස්චන්ද්‍ර එදිරිසිංහ නළුවෙකි. නාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි. නිමල් රංජිත් එදිරිසිංහ ඊළඟ අයියාය.  


මේ සුනිල් එදිරිසිංහයේ පැටිකිරියයි. ඔහු තම අතීත කතාව පටන් ගත්තේ මෙසේය.   


මම පවුලේ බාලයා නිසා හැමෝගේම ආදරය මට ලැබුණා. මුලින්ම කෙටි කාලයක් අධ්‍යාපනය ලැබුවේ අද කැලණියේ ශ්‍රීමත් ඩී.බී ජයතිලක විද්‍යාලය නමින් හැඳින්වෙන එද‌ා වරාගොඩ පිරිමි පාසලේ. ඉන් පසු කැලණියේ ධර්මාලෝක විද්‍යාලයට ගියා. අද ජනප්‍රිය නළුවකු ලෙස ප්‍රකටව සිටින විල්සන් ගුණරත්න මගේ සමකාලීන ශිෂ්‍ය මිතුරෙක්. අපේ පවුලේ සහෝදර සහෝදරියන් අතරින් සංගීතය පැත්තට වැඩි වශයෙන් යොමු වුණේ නිමල් අයියාත්, සිරිමා ආක්කාත්. සිරිමා අක්කාගේ එස්රාජ් වාදනය ඇසීමෙන් හා ඇය සංගීත පන්තිවලට යන කොට තනියට ගියේ මම. 1965 වසර මට කිසිද‌ා අමතක වෙන්නේ නෑ. මගේ තුන්වැනි අක්කා (මේරි එළිසෙබත්) එක් පාසල් නිවාඩුවක දුම්රියෙන් නුවරඑළියට ට්‍රිප් එකක් ගියා. මේ ට්‍රිප් එකට ඇගේ ගුරු මණ්ඩලයේ කිහිප දෙනෙක් සහභාගි වුණා. අක්කලා නවතින්න සුදානම් කරලා තිබුණේ ප්‍රවීණ වේදිකා නාට්‍ය ආලෝකකරණ ශිල්පියා ලෙස නම් දැරූ මහින්ද ඩයස්ට අයිති ‘අයිව් කොටේජ්’ නම් නිවාඩු නිකේතනයේ. ඒක තිබුණේ බදුලු පාරේ. ඒ තැන වෙන් කරගෙන තිබුණේ දවස් දෙකකට. ගිය කට්ටිය එක පයින්ම කියා හිටියා ආව එක අපි තව දවසක් දෙකක් ඉම්මු කියලා.   


ප්‍රශ්නය අලුත් නවාතැනක් සොයා ගැනීම. මගේ දෙවැනි අක්කාගේ (සිරිමා) මහත්තයා කිව්වලු ඉන්න ටිකක් නුවරඑළියේ මගේ යාළුවෙක් ඉන්නව වීරසිංහ කියලා එයාගේ ගෙදර නවතින්න ලෑස්ති කරලා දෙන්නම් කියලා. මේ අනුව අපි නුවරඑළියේ ‘බ්ලැක් පූල්’ හි පදිංචිව සිටි රාජා වීරසිංහගේ නිවසට ගියා. ඒ අය අපිව සාදරයෙන් පිළිගත්තා. ඒ වගේම නවාතැන් සපයා දුන්නා. සුනිල් ලස්සන කතාවක් පටන් ගත්තේය.  


එවකට සුනිල්ගේ වයස අවුරුදු 13ක් විතර ඇතිලු. වසර 1965 කොළඹ කට්ටිය නුවරඑළිය කට්ටිය එක්ක කදේ දමාගෙන ඉන්න කොට සංගීතය කියන මාතෘකාවක් ආහ.  
‘‘අපේ මල්ලිත් සින්දු කියන්න දක්ෂය’’ රාජා වීරසිංහ කීවේය.  


‘‘කෝ මල්ලී, මොකක්ද නම?’’ කවුරුත් විමසිලිමත් වූහ.   


‘‘රෝහණ’’  
‘‘හානේ මෙයා අපේ සුනිල් මල්ලිගේ වයසමනේ. අපේ මල්ලිත් කෝච්චියේ එනකම්ම සින්දු කිය කියා ආවේ.’’  
‘‘එහෙනම් මල්ලිලා දෙන්නගෙම සිංදු අපිට අහන්න පුළුවන් අද’’ කව්දෝ කීය.  
සුනිල් තම සමවයසේ සිටි රෝහණට මෙසේ කීය.  
‘‘ඉස්සෙල්ලා ඔයා කියන්න’’  
‘‘නෑ ඔයා ඉස්සරවෙලා කියන්න’’ රෝහණ සුනිල්ට ආරාධනා කළේය.  
‘‘ගෙදර අයට වඩා අමුත්තන්ට මුල් තැන දෙන්න එපායෑ. මල්ලීම පටන් ගන්න’’ රාජා අයියා සුනිල්ට කීවේය.  
සුනිල් අමරදේවයන්ගේ ගීතයක් ගැයීය.  
‘‘මළහිරු බසිනා හැන්දෑයාමේ’’  
ඊළඟට තිබුණේ රෝහණගේ වාරයයි.  


‘‘ඇසේ මතුවන කඳුළු බිඳුගෙන ඔබේ සිරිපා දොවන්නම්’’ එයත් අමරදේවයන්ගේ ගීතයකි.   


මේ සිද්ධියෙන් වසර 6කට පසු සුනිල් හා රෝහණ වීරසිංහ හමු වී ඇත.  


‘‘එදා අපි යළිත් හමු වුණේ වික්ටර් රත්නායකගේ නාවල ගෙදරදී. එය තිබුණේ චිත්‍රපට නිළි ජීවරාණි කුරුකුලසූරියගේ නිවස අසල රොඩ්‍රිගෝ මාවතේ. එදා රෝහණත්. ලක්ෂ්මන් විජේසේකර හා ආනන්ද වීරසිරිත් ඇවිත් හිටියා මිල්ටන් මල්ලවාරච්චි ගයන ගීතයක සමූහ ගායනයට. රෝහණ මට එදා යළිත් දෙවැනිවරටත් හමු වුණේ සංසාර පුරුද්දකට වගෙ. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වූයේ මගේ සතිස්චන්ද්‍ර එදිරිසිංහ අයියා. සතිස් අයියාගේ ප්‍රථම අධ්‍යක්ෂණය වූ ‘මාතර ආච්චි’ චිත්‍රපටයේ ගීත පුහුණු කරන අවස්ථාවක් මේ. චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස සතිස් අයියා විසින් මුල්වරට හඳුන්වා දුන් වික්ටර් රත්නායක තමයි ඒ ගීතයේ තනු නිර්මාණය කළේ’’ සුනිල් තම ප්‍රථම චිත්‍රපට ගීතය ගැයීමට පසුබිම සකස් වූ අයුරු විස්තර කළේය.  


සතිස් අයියා සුනිල් මල්ලිගේ ගායනා අසා තිබූ නිසා තමා මුල්වරට චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන විට මල්ලීට අවස්ථාවක් දීමට සිතා සිටියේය. ඊට ආසන්නම හේතුව වූයේ ගුවන්විදුලියේ වෙළෙඳ සේවයෙන් පැවැත් වූ ‘මැලිබන් ගුවන් තොටිල්ල’’ තරගයෙන් සුනිල් තුන්වැනි ස්ථානය දිනාගැනීමයි. එය සිදුවූයේ 1968 වසරේදීය. මේ තරගයෙන් මුල් තැනට තේරුණේ සන්ධ්‍යා එදිරිසිංහය. ‘‘බේබි සන්ධ්‍ය’’ නමින් කලා ලෝකය දැන සිටි ඇය සුනිල්ගේ ලොකු අයියා වූ ධර්මසිරිගේ දියණිය වීම තවත් විශේෂයකි. දෙවනි තැනට තේරී ඇත්තේ පුණ්‍යා කත්‍රිආරච්චිය. එද‌ා සුනිල් ‘මැලිබන් ගුවන් තොටිල්ලෙන්’ ගැයුවේ අමරදේවයන් ‘පරසතු මල්’ චිත්‍රපටයට ගැයූ ‘‘තොලින් තොලට’’ නම් ‘පරසතුමල්’ චිත්‍රපටයේ ගීතයයි. මේ නිසා සතිස් අයියා සුනිල්ට තම චිත්‍රපටයේ ගීතයක් ගැයීමට අවස්ථාව දීමට සිතුවේය. එයට ධෛර්යය දුන්නේ ධර්මසිරි හා නිමල් අයියලාය.  


සතිස් මේ අදහස වික්ටර් රත්නායකට කී විට ඔහු තිගැස්සුණේය.  


‘‘සතිස් ටිකක් කල්පනා කරල බලන්න. මමත් අලුත්. මුලින්ම සංගීත අධ්‍යක්ෂණයට එන්නේ ‘මාතර ආච්චි’ චිත්‍රපටයෙන්. ඔයාත් මුල් වරට අධ්‍යක්ෂණය කරන්නේ. ගීතය ලිව්වෙත් අලුත් ගීත රචකයෙක්. වොලී නානායක්කාර. එයා නළුවෙක් වුණාට එයාගෙන් මුල් ගීත රචනය ඔයාගේ මල්ලි සුනිලුත් නවකයෙක්. මම හිතුවේ අමරදේවතුමා ලවා මේ ගීතය ගායනා කරන්න. ඒක චිත්‍රපටයටත් ශක්තියක්.’’  


ගීත රචනය කළ වොලීගේ ද අදහස වූයේ එයමය.  


‘‘නෑ වික්ටර්, මේක මම මල්ලීට දුන්න මගේ පොරොන්දුවක්. ගෙදර අයත් ඒක අනුමත කළ. අපි සුනිල්ට මේ ගීතය ගයන්න අවස්ථාව දෙමු. එයාට බැරි වුණොත් අමරදේව මහත්තයා හරි ඔයා හරි කියන්න. සතිස් අභියෝගය භාර ගනිමින් කීවේය’’.  


සුනිල් මේ සියල්ල දෙස උපේක්ෂාවෙන් බලා සිටියේය. ඉවසීම, ​උපේක්ෂාව යන මුල් පාඩම සුනිල් ඉගෙන ගත්තේ එදාය. ඔහු තිරසර අදිටනින් මයික්‍ර​ෙෆා්නය වෙත ගියේය. සතිස් අයියා සුනිල් ළඟට ආවේය.  


‘චූටි මල්ලිට මේක කියන්න පුළුවන්. හොඳට කියන්න’. සතිස් සුනිල්ගේ හිස අත ගෑවේ දළුගම සරසවි චිත්‍රාගාරයේ ශබ්දාගාරයේත්, පටිගත කරන මැදිරියේත් අතර ඇති පුංචි ඉඩකඩ මැදය.  


සුනිල්ගේ හදවත ගැහෙයි. වික්ටර්, වොලී හා සතිස් අයියා වීදුරු කවුළුවෙන් බලා සිටී. ශබ්ද පරිපාලක මර්වින් රුද්‍රිගුගේ සිනාව සුනිල්ට ලොකු ශක්තියක් විය. ‘‘මල්ලිට මේක කියන්න පුළුවන්’’ මර්වින් මුල සිටම සුනිල්ට දිරි දුන්නේය.  


‘සඳකඩ පහනක කැටයම් ඔපලා  
පාවෙන දේදුනු ලැගුම් ගනී  
කැලැතුණු රසයක පැන ආ බුබුළක්  
අකුරු වැලක් දෙහදක ලියැවේ  
යුගයෙන් යුගට නොමියන දහමක  
දිවියක පදනම මතු වෙද්දී  
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා  
සියුමැලි කැකුළක් මැළවෙද්දී’  


මේ ගීතය ගායන කරන කොට සතිස් අයියාගේ මුහුණේ සිනාව දෝර ගලනවා. මගේ සිත වැඩියෙන් ගියේ ශබ්ද පරිපාලනය කරන මර්වින් රුද්‍රිගු මහත්තයා දෙස. ඔහුගේ මුහුණේ ඉරියව් මට පැහැදිලියි.  


‘ඕකේ වෙරි ගුඩ්’ මර්වින් මහතා කිව්වා. 

 
මම මේ ගීතය පුරුදුවෙන්න කොතරම් නං වාර ගණනක් ගත කරන්න ඇද්ද? ගෙදර වත්තේ ගහකොළ ඒකට සාක්ෂි දරනවා ඇති. අදත් මගේ ප්‍රියතම ගීතය ‘‘සඳකඩ පහන’’ යි. එදා සැවොම මාව අගය කළා. මා ළඟට සතිස් අයියා ඇවිත් මෙහෙම කිව්වා.  


‘සුනිල් ඔයාට හොඳ අනාගතයක් තියෙනවා’  
වික්ටර් අයියත් සුබ පතල කිව්වේ එයමයි.  


‘‘චූටි මල්ලි, දැන් ඔයා හොඳට සංගීතය ඉගෙන ගන්න ඕනෑ. ඔන්න අපේ ගේ ගාවටම පදිංචියට ඇවිත් ඉන්නවා පී.වී. නන්දසිරි කියන මහා සංගීතඥයා. මම ඔයා එයාට යොමු කරනවා.  


නන්දසිරි සර්ගෙන් මම තවදුරටත් සංගීතය හදාරලා 1973 දී සංගීත විභාගයට පෙනී සිටීමට ඉන්දියාවේ ලක්නව් හී භාත්කන්ඩේ විද්‍යා පීඨයට ගියා. ප්‍රථම විභාගයෙන් ප්‍රථම සාමාර්ථයක් ලබලා මම ලංකාවට ඇවිත් ගුවන්විදුලියේ සරල ගී පරික්ෂණයෙන් සමත් වී ගැයු මුල්ම ගුවන්විදුලි ගීත රචනය කළේ සමන් චන්ද්‍රනාත් වීරසිංහ, ගී තනුව පී.වී නන්දසිරි සර්ගේ. මේ ගීතය එදා පටිගත කළේ ශබ්ද පරිපාලක පසුව ප්‍රවීණ ගායකයකු වූ ගුණදාස කපුගේ. මේ ඒ ගීතය.  


‘වාදකයාණෙනි ඔබෙ සිතාරය  
සත්සර නංවන සුමිහිරි රාවය  
සුමිහිරි රාවය  
කෙතක ගොයම් නෙළනා ළඳුනේ  
දෙතොළට ගීයට මුසුකළ මැනවි  
මුසු කළ මැනවි’’  


එදා සුනිල් සරල ගී පරීක්ෂණයට ගියේ සිය ළබැඳි මිතුරු රෝහණයන් සමඟය. රෝහණ සුනිල් සුසංයෝගයට දැන් වසර 50ක් ගෙවී අවසානය. සුනිල් ගැයූ ගීත අතරින් 80% (ගීත 272කට) රෝහණගේ මියුරු තනුය. වරක් මහාචාර්ය කාලෝ ​ෙෆාන්සේකා මේ අවියෝජනීය සුසංයෝගය ගැන මෙසේ කීවේය.  


‘කාල් මාකස් හා ​ෙෆඩ්රික් එංගල්ස් අතර පැවතුණේ පුදුම සුසංයෝගයකි. අසමසම මිත්‍රත්වයකි. එක් අයෙකුගේ අරුත්බර දිවියට අනෙක් තැනැත්තා නැතිවම බැරි තත්ත්වයකි. මාක්ස්ට සිය ආත්ම ප්‍රකාශයට අත්‍යවශ්‍ය සම්පත් ලැබුණේ එංගල්ස්ගෙනි. මාක්ස්ට එංගල්ස් යම් සේද සුනිල් එදිරිසිංහට රෝහණ එසේමයි කීම යුක්ති යුක්ත යැයි සිතමි. මේ කලාකරුවන් දෙදෙනා අද පවතින්නේ ‘මා ද ඔබම වේ’ යන තත්ත්වයකි. මේ දෙදෙනා කලා රන් කාසියේ දෙපැත්ත සේය.  


නැගී එන ගායකයකු වූ සුනිල් එදිරිසිංහයන්ට දිරිදීමට 1972 වසරේ මාත්, කුලරත්න ආරියවංශත් නිරතුරුව පසුපස සිටියෝය. ‘සරසවිය හා විසිතුර’ පත්‍රවලින් අපි ඔහුට හැකි අයුරින් අනුග්‍රහ දැක්වීමු. ඔහු අපේ ළබැඳි මිතුරෙකුට වඩා සොහොයුරෙකු වූවා යයි කීම වඩාත් නිවැරදිය. මේ කියන කාලයේ මම මහා ගාන්ධර්ව අමරදේවයන් හමුවීමට ගියේ විශේෂාංගයක් ලිවීමටය. එද‌ා සුභාවිත ගීතය හා නැගී එන ගායක ගායිකාවන් ගැන අපේ සංවාදයට මැය විය. නවක ගායකයන් ගැන මා විශාරද අමරදේවයන්ගෙන් එදා ඇසූ පැනයට ඔහුගේ පිළිතුර මෙසේ විය.  


‘සුභාවිත ගීය සුපෝෂණය කිරීමට අද වඩාත් ඉදිරියෙන් සිටින්නේ සුනිල් එදිරිසිංහ. සුනිල්ගේ ‘වාදකයාණනි’ කියන ගීතය ගැන කියලා ඒක අහන්න සැලැස්සුවේ ගුවන් විදුලියේ සෝමසිරි ඉලේසිංහ. මම ඒ ගීතය ඇහැව්වට පස්සේ මට හිතුණා ‘මෙන්න මෙයා තමයි ඉදිරි අපේ බලාපොරොත්තුව. එයාට රාගධාරි සංගීත ගැන පරිපූර්ණ අධ්‍යයනයක් ඇති තරුණයෙක් කියලා’.  


එදා අමරදේවයන් විසින් සුනිලුන්ට දුන් නියත විවරණය මම ‘සරසවිය’ පුවත්පතට ලිවීමි.  


සුනිල් ගැන මහාචාර්ය සුනිල් ආරියරත්න කියන්නේ ඔහුගේ ගායන ලීලාව උත්තර භාරතීය රාගධාරී සංගීතයෙන් හොඳ හැටි පදම් වූවක් බවය. අපස්වරයකට ඉඩ නොසලසන්නා වූද නිරවද්‍ය ස්වර ස්ථාන ස්පර්ෂ කරන්නා වූද ගායන ලීලාවකැයි කිව හැකි ඒ ගායන ලීලාව අපූර්වත්වයට පත්වෙන්නේ එහි පැනෙන නිරාලම්බන ස්වභාවය නිසා යැයි ද පවසා ඇත.  


සුනිල් එදිරිසිංහයන්ගේ ගායන ලීලාවන්ට උචිත ගේය පද මාලා මෙන්ම සංගීත රචනාද ලැබී තිබීම භාග්‍යයකි. වරක් ඔහුගේ ගීත රචනා 500 ක් එකතු කොට පුෂ්කර වන්නි ආරච්චි විසින් ‘සුනිල විල’ නමින් අගනා කෘතියක් පළ කළේය. සුනිල විලෙන් දිය දෝතකි මේ.  


අද දීගෙක ගිය නුඹ මට - අවපස අහසක - අහස පොළොව වටපිටාව හරිම හිස් තැනක් - අහසයි ඔබමට - අහසින් පොළොවට කඩා වැටිලද - ඇසුවේද කවුරුන් හෝ ඔබෙන් - ඇස් ඉස් මස් - කඳුළු දෙන්න මට අඬන්න - කවුරුන්ද ඔබ මගේ - කළේ පැන් ඇත - චන්ද්‍ර මඩල බැද්ද වටින් - චන්ද්‍ර මණ්ඩලේ - ජීවිතය නම් කිමැයි - තංගමනී - තිරය ඇරෙනවා තිරය වැහෙනවා - දෑවැදි දෙන්න​ට - දෙවෙනි බුදුන් ලෙස - දොවොලේ නොකැළැල් - නාලිනි එන්න - නිම් තෙරක් නුදුටු මේ ලෝකයේ - නෙතේ කඳුළු පිස දමන්න - පලංචියේ ලී ඉරුවේ - පාට දේදුනු - පිනිබර යාමේ - වානෙන් බැඳ රජරට - මගෙ අමල් බිසෝ - මලක් වෙලා ඔබ පිපෙන්න - මල්වට්ටියක් වෙන්දේසියක් - මං ඉතින් යන්න යනවා. මිනිසා සුවඳයි මලසේ - මිනිසෙකු පිට නැඟි අසුරුවෙකි - රන් සමලයෝ - රා රා රා බොම්බියේ - රෑ වැඩ මුරය - රුදුරු තුරු වදුලේ - ලෙන්චිනා මගෙ නංගියේ - ලෝකයක් නසන්නට - වන්නි වන පෙතේ - වෙරළු ගෙඩිය හරි අටකට - සද‌ාකාලික නොවූ ලෝකයක් - සිනහ වෙනු මැන - සියාතුවේ මා මිතුරේ සීතල දිය මත සුනිල විලයි - හද පාරන රුදු වේදනාවන් - හදේ කොතැනක හෝ   
තමා ගැයූ ගීත දෙකක් ගැයීමේදී සිදු වූ අත්දැකීම් දෙකක් සුනිලුන් අපට විස්තර කළේය.  


‘මම වරක් බෝගම්බර සිර ගෙදරට ගියා සිරකරුවන් සඳහා ගී ගයන්නට. සුනිල් ආරියරත්නයන් රචිත රෝහණයන් සංගීතවත් කළ මේ ගීතය ගයද්දී සිපිරි ගෙදර මරණ දඬුවමට නියමව සිටි සිරකරුවෙක් අඬන්නට පටන් ගත්තා. මම ගීතය කියා නිම කළේ සංවේදී හදවතකින්.  


මල්ලියෙ නරක මිතුරන් පිළිගන්න එපා  
නංගියෙ නොහොබිනාකම් හුරුවෙන්ට එපා  
බෝගම්බර සිපිරි ගෙදරට එන්ට එපා  
හතුරෙකුටවත් මට වන් දුක වෙන්ට එපා  
දළඳ‌ා මැදුරෙ තේවා හඬ රැව් දෙනවා  
කළ පව් මතක් වී දෑසම තෙත් වෙනවා  
සියක් වාරයක් මැරි මැරි උපදිනවා  
තිබහට වතුර වෙනුවට කඳුළැලි බොනවා  
ලැබුවේ අවවාද නොහොබින ආරකය  
දුදනන් නිසා විය හෙණහුරු මාරකය  
මං පෙර ගියේ වරදින් පිරි පාරකය  
ඒ ගිය මගේ අවසානය පෝරකය  


සිරකරුවන්ගේ උණු කඳුළු දුටු මම හිතාගත්තා මීට පස්සේ හිර ගෙදර නං ගීත කියන්නේ නැහැ කියලා.’  


සුනිල් කීවේය.  


තමා ගැයූ තවත් විශේෂ ගීතයක් ගැන ද සුනිල් මතක් කළේය. ඒ ගීතය තරම් ඉල්ලුමක් තමාට කිසිදු ගීතයකට ලැබිලා නැත. කුරිරු යුද්ධය තියෙන කාලයේ ගැයූ මේ ගීතය ඔහුට කිහිපවතාවක්ම කියන්න සිදු වී ඇත. මේ ගීතය අසා යුද්ධයෙන් මියගිය රණවිරුවන්ගේ මාපියන් සහෝදර සහෝදරියන් කඳුළු සැලූ අවස්ථා ගැන සුනිල් අත්දැකීම් රැසක් අපට පැවසීය. මේ ගීතයේ ගේය පද කුමාරදාස සපුතන්ත්‍රී ගෙනි. තනුව හා සංගීතය රෝහණගේය.  


‘රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින් බිමේ  
පස් පිඩක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව්කොනේ  
නෙත් පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනා රැයේ  
දේශයේ මුර දේවතා එළි රෑ පුරා දැල් වී තියේ  
ළෙහි හොවා වැඩු සිය පුතුන් අත අවි දරා වැද රණ මතින්  
පෑ විකුම් දැක දෑ බැතින් හිස අත් මුදුන් දෙති පියවරුන්  
මව්බිමේ හිමිකම් පතා තම දිවි පිදූ කල ඒ පුතුන්  
තුන් හෙළේ හැම මව්වරුන් ළය කිරී එරී ඇත උන් නමින්  
මව් කුසින් නොව මිහි කුසින් සිරිලක් උපන් විරු දරුවනේ  
අපි ඔබෙන් නව පණ ලබා මෙහි යළි උපන්නෙමු අද දිනේ  
නෑ සියන් සොයුරන් ඔ​ෙබ් අද දූ පුතුන් හැම මේ බිමේ  
හදවතින් අප යුද බිමෙහි ඔබ තනි කළේ නැත කිසි දිනේ’  


මේ ගීතය ගැයූ පසු එක් ස්ථානයක කඳුළු පිරි දෙනෙතින් අම්මා කෙනෙක් මා අසලට පැමිණ අත සිඹ මෙසේ කීවා.  


‘පුතේ මගේ පුත්තු තුන් දෙනෙක් හමුදාවේ. දෙන්නෙක් බිම් බෝම්බයකට බිලිවුණා. පුතාගේ සින්දුව ඇහැව්වට පස්සේ මට ආඩම්බරයක් හිතුණා. ධෛර්යක් ලැබුණා.’   
සුනිල් එදිරිසිංහගේ විවාහය සිදුවෙන්නේ 1979 වසරේදීය. ඔහුට තම සහකාරිය හමුවීම ද ගීතයක් බඳුය.  


අපේ පවුලේ වැඩිමහල් අයියලා (ධර්මසිරි, සතිස් හා නිමල්) විවාහ වූයේ ස්වකැමැත්ත පරිදි සහකාරියන් සොයා ගෙනයි. දවසක් අම්මා මට කිව්වා ‘පුතා බඳින ගැහැනු ළමයා අපි තෝරන කෙනෙක් වුණොත් මම කැමතියි’ කියලා. මට මේක හිතේ තදින් කාවැදිලා තිබුණේ. මේ නිසා මට සුදුසු සහකාරියක් අක්කලා සෙව්වා. මහනුවර ඉන්න සිරිමා අක්කා එක්ක අපි පේරාදෙණියට නොදුරු ගෙලිඔය පැත්තේ ගෙදරක ගිහින් එන ගමන් නෑ ගෙදරකටත් ගියා. ඒ ගෙදර හිටිය ගැහැනු ළමයෙකුට මගේ හිත ගියා. ඇය මා හා සිනහ වුණා. අක්කා දැක්ක මම ඇය දිහා බලන ආකාරයෙන් ඒ ගැහැනු ළමය ගැළපෙනවා කියලා. ඇත්තටම එකවරම මගේ හිත ඇයට යොමු වුණා. ඇය පිළිබඳ සිතක් ඇති වුණා. එය කෙළවර වුණේ විවාහයකින්. ඇගේ නම නන්දනී මුණසිංහ.  


සුනිල් හා නන්දනීට සංඛ හා සංඛනී නම් පුතෙකු හා දියණියක් සිටී. පුතා සංඛ පදිංචිය එංගලන්තයේය. දියණිය ඔවුන් සමඟ වෙසෙති.   


සුනිලු ගැයූ චිත්‍රපට හා ටෙලිනාට්‍ය රැසකට සම්මාන හිමි වී ඇත. ‘අධිෂ්ඨාන’ චිත්‍රපටයේ ‘මායා මිරිඟුව පිරුණු ලෝ තලේ’, ‘පූජා’ චිත්‍රපටයේ ‘දරු දුක උහුලා’, ‘මංගල තෑග්ග’ චිත්‍රපටයේ ‘තුරුලක හුරතල් පින්නේ’, ‘පොරොන්දුව’ චිත්‍රපටයේ ‘රෑනේ පාවෙන ලිහිණි රැයේ’’, ‘සහරාවේ සිහිනය’ චිත්‍රපටයේ ‘වළාකුළක් ගෙන මුවා කරමු අපි’ යන ගීත සඳහා ජනාධිපති, සරසවිය හා ස්වර්ණ සංඛ සම්මාන ද, කරුවලගෙදර ටෙලිනාට්‍යයේ ‘අහසට තරු ඇයි’, ‘‘පතොක් පාලම’ ටෙලිනාට්‍යයේ ‘වළාකුළයේ පාවුණු දිවියක්’, ‘දෝණි’

ටෙලිනාට්‍යයේ ‘ළමැද සෙනේබර පින්බිම කරවා’ ගීත සඳහා රයිගම්, රාජ්‍ය ටෙලිනාට්‍ය, සිග්නීෂ් සම්මාන හිමි වී ඇත.  


ස්වාධීන මිනිසෙකු ලෙස සෑම හොඳක් මෙන් විපරීතයක් දෙසම උපේක්ෂාවෙන් බලන දයාලූ හදවතක් ඇති සුනිල් එදිරිසිංහයන් විවේකය ගත කරන්නේ දහම් පොත් කියවීමෙනි. එය ද අත්දැකීමක් ඔහුට බලපෑ ඇත.  


මීට වසර ගණනකට එපිට මට ෂර්ලි පී. විජේරත්න නම් චිත්‍රපට අධ්‍යක්ෂවරයාගේ චිත්‍රපටයක ගීතයක් ගැයීමට ලැබුණා. එතකොට මම රජයේ රැකියාවෙන් අස්වෙලා. ආද‌ායමක් තිබුණේ නැහැ. එකල තිබූ සමාජ හා දේශපාලන පසුබිම යටතේ තිබූ කලකිරීම හේතුවෙන් එදා ශබ්දාගාරයේදී ගීතය ගයනා කිරීමට බැරි වුණා. සංගීත අධ්‍යක්ෂක රෝහණ වීරසිංහ මගේ තත්ත්වය තේරුම් ගෙන ‘මචං අපි වෙන දවසක කරමු’ යයි මට කිව්වා. චිත්‍රපට අධ්‍යක්ෂකවරයත් කිව්වා, ‘සුනිල් හිත සන්සුන් කර ගන්න අපි හිමින් සීරුවේ වෙන දවසක රෙකෝඩින් එක කරමු කියලා’. දවස් දෙකකට පසුව මගේ ගෙදර ඉස්සරහා මෝටර්බයිසිකලයක් නතර කළා. බැලින්නම් ෂර්ලි පී. විජේරත්න කියන චිත්‍රපට අධ්‍යක්ෂවරයා.  
‘සුනිල්, ඔයා එදා වික්ෂිප්ත වෙලා හිටියේ. ඔයාගේ හිත තිබුණේ වික්ෂිප්ත බවත්, විතර්කයත් අතර මැදිවෙලා. මම ඔයාට හොඳ පොතක් ගෙනාවා මේක කියවන්න කියලා’ ෂර්ලි ගියා.  


මම ෂර්ලි දුන්න පොත අරගෙන ආලින්දයේ පුටුවක ඉඳ ගත්තා. ඒ පොත ලියලා තිබුණේ මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහානායක හාමුදුරුවෝ. පොතේ නම ‘ශාසනාවතරණය’ ය. මේ පොත පරිශීලනය කිරීම වර්තමාන ගිහියන්ටත් පුරුදු වුවහොත් වර්තමාන ලෝක තත්ත්වය අනුව ගුණවතෙකු වෙන බව කියන මහානායක හිමියන් ‘ටිකදෙනකු විසින්වත් මෙය පිළිගතහොත් අපේ මහන්සියට එයත් ඇත’ යන අදහස මගේ සිතට ආවා. මගේ ජීවිතයට පුදුම සැනසුමක් ලැබුණා මේ පොත කියවීමෙන්. සත්‍ය ඔබ ළඟමය. එය බඹයක් පමණ වූ ඔබේ සිරුරෙන්ම අවබෝධ කළ හැකිය. එහෙත් එය අසීරුය. වෙනත් කිසිවකුට උපාධියක් ලෙස එය ඔබට පිරිනැමිය නොහැකිය. තථාගතයන් වහන්සේට කළ හැක්කේ ද මඟ කියා දීම පමණකි. එය සොයා ගත යුත්තේ ඔබමය යන මහානායක හිමියන්ගේ වදන මම අදහමින් උන්වහන්සේගේ සියලු ධර්ම පුස්තක රැස් කර ගෙන නිතර පරිහරණය කරමින් විවේකය ගත කරනවා සුනිල් කීය.  

 

 


ඒ.ඩී. රන්ජිත් කුමාර