ලෝකයට නැතිවම බැරිවූ මිතුරන් තිදෙනාගේ සමාගම


යූටියුබ් සමාගම බිහිවුණේ මෙහෙමයි-2

පසුගිය සතියෙන්.....

 


යූ ටියුබ් මෙසේ වේගයෙන් ජනතා ආකර්ශනය දිනාගනිද්දී ගූගල් සමාගම ඒ පිළිබඳ අවධානය යොමු කළ අතර 2006 ඔක්තෝබර් 09 වැනි දා ගූගල් සමාගම නිවේදනය කළේ තම සමාගම විසින් යූටියුබ් අවකාශය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.65කට මිල දී ගත් බවයි. මේ ගනුදෙනුව නොවැම්බර් 13 වැනි දා අවසන් කරන ලදී.   


මේ අනුව යූ ටියුබ් හි 100% හිමිකාරීත්වය ගූගල් සමාගම සතු වූ අතර වීඩියෝ හුවමාරු කිරීම නව මුහුණුවරකින් සිදුකෙරිණි. "Broadcast Yourself" යන්න වඩාත් ප්‍රචලිත කිරීමට ද ගූගල් සමාගම කටයුතු කළේය.   


මේ සමඟ යූ ටියුබ් අවකාශය වේගවත් වර්ධනයක් සේම ජනප්‍රියත්වයක් ද අත්පත් කරගත්තේය. 2007 දී ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පත යූ ටියුබ් සම්බන්ධයෙන් ලිපියක් පළකරමින් පෙන්වා දී ඇත්තේ 2000 වර්ෂය වනවිට සමස්ත අන්තර්ජාලය විසින් අත්පත්කරගත් තරම් ඉඩක් යූටියුබ් අවකාශය විසින් 2007 වර්ෂය වනවිට අත්පත්කරගෙන ඇති බවයි.   
2010 වර්ෂයේ දී යූ ටියුබ් පරිශීලකයන් වෙබ් අඩවියේ ගතකරන කාලය වැඩි කිරීම සඳහා සමාගම එහි අතුරු මුහුණත වඩාත් සරල කළේය. මෙහි ප්‍රතිඵල වඩාත් සාර්ථක වූ බව 2011 වර්ෂයේ දී යූ ටියුබ් සමාගම කියා සිටියේ සෑම විනාඩියකට ම පැය 48ක් වීඩියෝ අලු‍තෙන් එක්කිරීම සිදුවන බැවින් දිනකට වීඩියෝ පැය බිලියන තුනක් ප්‍රේක්ෂකයන් විසින් නරඹන බව සඳහන් කරමිනි.   


නමුත් මේ නැරඹුම් පැය ගණන ලැබී තිබුණේ කුඩා වීඩියෝ දර්ශනවලිනි. එකල සමාගමේ ඉංජිනේරුවරු සඳහන් කළේ නැරඹුම්වලින් 99%ක් ම ලැබී ඇත්තේ යූ ටියුබ්හි ඇති සමස්ත වීඩියෝවලින් 30%කින් බවයි.   


මේ කරුණු සැලකිල්ලට ගත් සමාගම නැවත අතුරු මුහුණත වෙනස් කළේය. තද රතු පැහැයක් සහිතව නව ලාංඡනයක් හඳුන්වා දුන්නේය.   

 


යූ ටියුබ් මූලස්ථානය කැලි‍ෆෝනියාවේ ශාන්ත බෲනෝ හි පිහිටා තිබිණි. 2014 පෙබරවාරි මාසයේ දී යූ ටියුබ් හි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස සුසාන් වොජ්කිකී පත්විය.   
ඔහුගේ මෙහෙයවීමෙන් සමාගමේ බොහෝ වෙනස් කම් සිදුකෙරිණි. 2016 ජනවාරි මාසයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 215කට කාර්යාල උද්‍යානයක් මිල දී ගත් අතර බෲනෝහි පිහිටි මූලස්ථානය වඩාත් පුළුල් පරාසයකට ගෙන යන ලදී. එම සංකීර්ණය වර්ග මීටර 51,468ක් විශාල වූ අතර සේවක සේවිකාවන් 2,800කට නවාතැන් ගත හැකි ස්ථානයක් බවට පත්කෙරිණි.   


2017 වර්ෂයේ දී යූ ටියුබ් ලාංඡනය තවදුරටත් වෙනස් කළ අතර Play යන සංකේතය වටා ගොඩනගා ඇති ලාංඡනයක් හඳුන්වා දෙනු ලැබීය.   


මේ අතර වෙ​ෙළඳ දැන්වීම් වලින් බැහැර ආදායම් ලබාගන්නා ක්‍රම කිහිපයක් ද යූ ටියුබ් සමාගම විසින් ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගෙන තිබිණි. 2013 වර්ෂයේ දී යූ ටියුබ් අවකාශය තුළ දායකත්වය පදනම් කරගත් නාලිකා පිරිනැමීම සඳහා අන්තර්ගත සපයන්නන්ට ඉලක්ක කරගත් වැඩසටහනක් දියත් කෙරිණි. එය 2018 ජනවාරි මාසයේ දී නවත්වනු ලැබුව ද ජුනි මාසයේ දී නැවත දියත් කෙරිණි.   


2014 දී යූ ටියුබ් 'Music Key' නමැති සේවාවක් ඉදිරිපත් කළ අතර එමගින් දැන්වීම් නොමැති සේවාවක් දියත් කරන ලදී. යූ ටියුබ් මියුසික් නමැති සේවාවද එක්කර ඇති අතර එමගින් පරිශීලකයන්ට මුදල් ගෙවීමකින් තොරව බුද්ධිමය දේපළ අයිතියක් නොමැති සංගීත ඛණ්ඩ ලබාගැනීමේ පහසුකම් සලසා තිබේ.   


යූ ටියුබ් සමාගම ගත් තවත් ඉතාමත් වැදගත් පියවරක් ලෙස සලකන්නේ 2015 වර්ෂයේ දී ළමයින් සඳහා ප්‍රශස්ත අත්දැකීමක් ලබාදීමට නිර්මාණය කරන ලද You Tube Kids යන්නයි එය ඉතාමත් සරල පරිශීලක මුහුණතක් සහිතව නිර්මාණය කර ඇති අතර ළමයින්ගේ වයසට ගැළපෙන අන්තර්ගතයන් ඇතුළත් නාලිකා තෝරාගැනීම් සහ දෙමාපියන්ට පාලනය කළ හැකි විශේෂාංගවලින් සමන්විත වෙයි.   


2017 පෙබරවාරි වනවිට සෑම විනාඩියකටම පැය 400ක් වන වීඩියෝ දර්ශන යූ ටියුබ් අවකාශයට එක්කිරීම සිදුවූ අතර එය ඉන් වසර දෙකකට පසුව විනාඩියකට පැය 500 දක්වා වැඩි වී තිබේ. කොරෝනා වසංගතය ලෝකය පුරා පැතිරීයාම වැඩිවීමත් සමඟ බොහෝ රවටල් අගුළු දැමීමේ ප්‍රතිඵලය වූයේ යූ ටියුබ් සේවාව තවත් ජනප්‍රිය වීමයි.   
අන්තර්ජාල දත්ත සමාගම් පවසන්නේ ලෝකයේ සමස්ත අන්තර්ජාල පරිශීලකයන්ගෙන් 15%ක් යූ ටියුබ් වෙත පිවිසෙන බවයි. එය කොරෝනා වසංගතයට පෙර තිබූ තත්වය 7.5%ක් බව ද ඔවුහු කියති. ඒ අනුව කොරෝනා වසංගතය හේතුවෙන් යූ ටියුබ් භාවිතය දෙගුණයක් වී තිබේ.   


ළමා අන්තර්ජාල රහස්‍යතා ආරක්ෂණ පනත (COPPA) උල්ලංඝනය කර ඇතැයි 2018 වර්ෂයේ ලැබුණ පැමිණිල්ලකට අනුව වයස අවුරුදු 13ට අඩු දරුවන්ගේ පුද්ගලික තොරතුරු එකතු කිරීමේ වරදට ඩොලර් මිලියන 170ක දඩයක් ගෙවීමට ද යූ ටියුබ් සමාගමට සිදුවිය. එමෙන්ම දරුවන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා වන පරිදි යූ ටියුබ් නිර්මාණය කිරීමට ද නියෝග කෙරිණි. ඒ අනුව දරුවන්ගේ පුද්ගලික ආරක්ෂාව වැඩිවන ආකාරයට වැඩිදියුණු කළ අතර 2020 ජනවාරි 06 වැනි දා COPPA පනත යටතේ “ළමයින් සඳහා සාදන ලද” ලෙස නම් කර ඇති සියලු‍ම වීඩියෝ වගකීමක් ලෙස සැලකීම ආරම්භ කරන ලදී.   


එමෙන් ම යූ ටියුබ් සමාගම විසින් කරන ලද පෙර පරීක්ෂාවකින් පසු 2021 නොවැම්බර් මාසයේ දී වීඩියෝවලට අකමැත්ත ප්‍රකාශ කිරීමට තිබූ හැකියාව ඉවත් කර තිබේ. එහි දී යූ ටියුබ් සමාගම පවසා සිටියේ ඇතැම් පරිශීලකයන් අකමැත්ත ප්‍රකාශ කිරීම අන්තර්ජාල හිරිහැරයක් සහ බලහත්කාරයක් ලෙස භාවිත කරන බවයි. එමෙන්ම එය ඇතැම් පරිශීලකයන් විසින් තවත් අයකු අධෛර්යමත් කිරීම සඳහා භාවිතා කරන බැවින් එය ඉවත් කළ බව සමාගම ප්‍රකාශ කළේය.   


කෙසේ වෙතත් යූ ටියුබ් සමාගම මිල දී ගත් ගූගල් සමාගම මෙම වෙබ් අවකාශ ඒකාබද්ධ කරනවා වෙනුවට වෙනම ආයතනයක් ලෙස දිගටම පවත්වාගෙන ගියේය. ඒ වනවිට ගූගල් සමාගම පවත්වාගෙන ගිය ගූගල් වීඩියෝ 2012 වර්ෂයේ දී වසා දමා සමස්ත වීඩියෝ යූ ටියුබ් වෙත යොමු කරන ලදී.   


මෙය අලෙවිකරණ වාසි සඳහා ගන්නා ලද තීරණයකි.   


මේ වනවිට යූ ටියුබ් අවකාශයෙන් තම නමට ඉඩක් වෙන්කරගත් පරිශීලකයෝ මිලියන ගණනක් ලෝකය පුරා විසිරී සිටිති. ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල යූ ටියුබ් අවකාශයේ නාලිකා පවත්වාගෙන යමින් ව්‍යවසායකයන් බවට පත්වූ පිරිස් ද රැසක් සිටිති.   


එදා මිතුරන් තිදෙනකුට ඇතිවූ පුංචි අදහසක් ක්‍රියාවට නංවන මොහොතේ එය මේ තරම් ලෝකයේ අවධානයට සහ ආකර්ශනයට ලක්වනු ඇතැයි ඔවුන් පවා නොසිතන්නට ඇත. නවීන තාක්ෂණික ලෝකයේ ඉතාමත් ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාලාවක් වන යූ ටියුබ් දැන් බොහෝ දෙනකුගේ ආදායම් උත්පාදන මාර්ගයක් වී ඇති ආකාරය ඉදිරි ලිපිවලින් බලාපොරොත්තු වන්න.   

 

 

සටහන හා ඡායාරූප
සජීව විජේවීර