කොළඹ නගරයේ නාරාහේන්පිට ප්‍රදේශයේ ජීවත් වන පාලිතලාගේ පවුල එම ප්‍රදේශයේ සිටින පොහොසත් පවුල්වලින් එකකි. බිරිඳ නයෝමි හා එකම පුතා වන නදීකටත් කිසිදු අඩුපාඩුවකින් තොරව ජීවත් වීම සඳහා දේපල වස්තුව ද එමටය. නදීක අධ්‍යාපනය ලබන්නේ කොළඹ නගරයේ ප්‍රසිද්ධ පාසලක දහවන වසරේ ය. අම්මාගේත් තාත්තාගේත් එකම දරුවා වන නදීකට කිසිදු අඩුපාඩුවක් නොවූයේය. ඉගෙනීමට ද නදීක දක්ෂ ය. මාපියන්ට කිසිදු දේකට කරදර නොකරන නදීක ඇත්තටම හොඳ දරුවෙකි. පාසලේ ශිෂ්‍යත්ව විභාගයෙන් ද නදීක සමත් වූ ශිෂ්‍යයෙකි.
පාසලේ ගුරු භවතුන්ගේ ද හිත දිනාගනිමින් වැඩ කටයුතු ඉතා හොඳින් කරන නදීකට පාසලේ මිතුරෝ ද බොහෝ සිටිති. අම්මාගේත් තාත්තාගේත් සෙනෙහස මැද ජීවත් වන නදීක කිසිම මොහොතක කම්මැලි දරුවෙක් නොවීය. පාසල් ගොස් නිවසට පැමිණි විගස කාබී පිරිසිදු වී පොත අතට ගන්නා නදීක පැය ගණනක්ම පොතේම සිටියි. දකින හැම මොහොතකම තම දරුවා පොත් පාඩම් කරන නිසා නදීකගේ අම්මා ද නදීකට හැමදේම ළඟට ගෙනත් දෙන්නීය.
“අපේ පුතා කවදාහරි හොඳ තැනකට එයි” නදීකගේ අම්මා නිරතුරු සිහින මැව්වාය. නදීක කිසිම දිනක පාසල් නොගොස් සිටියේ නැත. ඔහු එතරම්ම ඉගෙනීමට කැමැත්තක් දැක්වූ දරුවෙකි. පාසල් යන්නේ ද බොහෝ ආසාවෙනි. නදීක ඉතාමත් කඩිසර දරුවෙකු බව පාසලේ ගුරු භවත්හු කතා කරති.
මෑතක සිට නදීක පන්තියේ වැඩවලට දුර්වලභාවක් පෙන්නුම් කළේය. කිසිදු උනන්දුවකින් තොරව ඔහු පාසලේ ඉගෙනීමේ කටයුතුවල නියැළුණි. ටික කාලයක සිට නදීකගේ මේ වෙනස පන්තිභාර ගුරුතුමාට ද පෙනුණි.
“නදීක මොකද මේ එන්න එන්නම ඔයාගෙ උනන්දුව අඩුවෙලා” ගුරුතුමා එක්දිනෙක නදීකව පාසල නිමවූවාට පසු තමන් ළඟට කැඳවා ප්‍රශ්න කළේය. එහෙත් නදීක එයට පිළිතුරු නොදුණි.
“හරි හරි මීට පස්සෙවත් උනන්දුවෙන් වැඩ කළොත් හොඳයි. දැන් යන්න” ගුරුතුමා නදීකට අවවාද කොට පිටත් කළේය.
නදීක බැලුවොත් පොතේම සිටින බව සිතා සිටියත් පොත ඇතුළේ තමන් රැගෙන දුන් දුරකථනයට එබීගෙන සිටින බව නදීකගේ අම්මාගේ අතටම අසුවිය.
“හරි ෂෝක් පුතා මේකද මේ පාඩම් කරනවා කිය කිය කරන්නේ. ඉන්නකො මං තාත්තට කියන්න” නදීකගේ අම්මා බැණ වැදුණාය. කොපමණ කීවත් නදීක දුරකථනයෙන් මිදෙන පාටක් නොවීය. ඕක දැන් මම අල්ලලා විසි කරනවා පුතා. යනවා ගිහින් පාඩම් කරනවා පොතක් අරගෙන. එන්න එන්නම මෙයාගේ වැඩ දුර්වලයි කියලා මට තේරුණා” නදීකගේ අම්මා තරවටු කරන විට පමණක් නදීක දුරකථනය පැත්තක තබා පොතක් අතට ගෙන ඕනෑවට එපාවට වගේ පාඩම් කරයි.
නවය ශ්‍රේණියේ විභාගය අවසන් වූවාට පසු නදීක නිතරම අම්මාගෙන් තමන්ට ස්මාට් ෆෝන් එකක් අරගෙන දෙන ලෙස ඇවිටිලි කරන්නට වූ නිසා නදීකගේ අම්මා ඔහුට මෙම දුරකථනය රැගෙන දුන්නාය. තමන්ගේ යහළුවන්ටත් හොඳ හොඳ දුරකථන තිබෙන බවත් තමන්ට නැති නිසා යහළුවන්ට පල් වන්නට වන බවත් නදීක අම්මාට කියන නිසාම ඇය මෙය රැගෙන දුන් අතර, මේ වනවිට ඔහුට දුරකථනයෙන් තොර දෙයක් නොවීය. පාසල් නිම වී නිවසට පැමිණි විගස කාබී දුරකථනය අතට ගන්නා නදීක පැය ගණන් ගත කරන්නේ දුරකථනයේමය.
මොකක්ද අනේ පුතාට වෙලා තියෙන්නේ. කොයි වෙලාවෙ බැලුවත් ෆෝන් එකේමයි. අනේ මන්දා ඉගෙන ගන්න දෙයකට හිත යොමු කරන්නේම නැහැනෙ මේ දරුවා. මට හිතෙන්නෙ කේන්දරේ ටිකක් බලව ගත්තොත් හොඳයි කියලා දරුවගේ” නදීකගේ අම්මා තම සැමියාට පැවසුවාය. ඒක නම් හොඳයි තමයි. එහෙනම් හෙට දිහාට ගිහිං බලවගන්න” පාලිත කීය.
නදීකගේ අම්මා ඔහුගේ හඳහන පරීක්‍ෂා කිරීම සඳහා ජ්‍යෝතිර්වේදියෙකු වෙත ගියාය. නදීකට යම් අපලයක් නම් ඒ සඳහා කටයුතු කර දරුවාගේ අනාගතය යහපත් කරගැනීම නදීකගේ අම්මාගේ එකම බලාපොරොත්තුව විය. ඇය සිතුවා සේම නදීකගේ කේන්දරය පිරික්සූ ජ්‍යෝතිර්වේදියා පැවසුවේ නදීකට රාහු ලබා ඇති බවයි.
වසර කීපයක්ම ඉදිරියට රාහුගේ බලපෑම ඇති නිසා නදීකගේ ඉගෙනීම කඩාකප්පල් විය හැකි බැවින් බෝධි පූජා තබන ලෙසත් නවග්‍රහ දෙවියන්ට පිං අනුමෝදන් කරන ලෙසත් ජ්‍යෝතිෂ්‍යවේදියා නදීකගේ අම්මාට කීවේය. එපමණක් නොව බලු කපුටු දාන දෙන ලෙස ද ඔහු නදීකගේ අම්මාට කීය. මෙම වෙසක් සමයේ පන්සලට රැගෙන ගොස් ආගමික වාතාවත් සිදු කරන්ට ද හෙතෙම උපදෙස් දුන්නේය.
බෝධි පූජා දිගටම පැවැත්විණි. නදීකගේ අම්මා නදීකව ද කැටුව ගමේ පන්සලට ගොස් ඔහු වෙනුවෙන් සෑම සවසකම බෝධි පූජා පැවැත්වූවාය. නවග්‍රහ දෙවියන්ට පිං අනුමෝදන් කරවූවාය. ජ්‍යෝතිර්වේදියා පැවසූ පරිදි බලු කපුටු දාන දුන්නාය. ඔහු අමතර පන්තිවලට ද යොමු කළාය.. මෙසේ කටයුතු සිදු කරද්දීත් නදීක එන්න එන්නම ඉගෙනීමෙන් ඉතාම දුර්වල මට්ටමක සිටියේය.
“කීපවතාවක්ම පන්තිභාර සර් මට කතා කරලා පුතාගේ පාඩම් වැඩ දුර්වලයි කියලා කීවා. අපි මේකට මොකක්ද කරන්නේ. අනේ මන්දා කව්රුහරි මොකක් හරි කරලද දන්නෙත් නැහැ. මට නම් මේ මුකුත් තේරෙන්නෙ නැහැ” නදීකගේ අම්මා තම සැමියාට බොහෝ කනස්සල්ලෙන් යුතුව පැවසුවාය. හ්ම් මොකක්ද අපි මේකට කරන්නේ. “කොච්චර තරවටු කළත් පලක් නැහැ” පාලිත ඇසුවේය.
“අපි කෝකටත් කපු මහත්තයෙක් ළඟට පුතාව අරන් යමුද” නදීකගේ අම්මා ඇසුවාය.
“හ්ම්... ඒකත් කරලා බලමු” පාලිත කීවේය.
නදීකගේ අම්මා ඔහු කැටුව කපු මහතකු වෙත ගියාය. දේවාලයේ යම් තරමක පිරිසක් වූහ. නදීකගේ අම්මා ඔවුන්ගේ වාරය එළඹෙන තුරු බලා සිටියාය. ටික වේලාවකින් ඔවුන්ගේ වාරය එළඹිණි. නදීකගේ අම්මා බුලත් සහ මුදල් කපු මහතා සිටින ඉදිරියේ ඇති ආසනය මත තැබීය.
“මොකක්ද දැනගන්න ඕනේ” කපු මහතා විමසීය.
“පුතා එන්න එන්නම ඉස්කෝලෙ වැඩවලට දුර්වල වෙනවා කපු මහත්තයා. මේ ශිෂ්‍යත්වය ඉහළින්ම පාස් වුණ දරුවෙක්. ඒකයි කපු මහත්තයා ළඟට ආවේ මොකක්ද වෙලා තියෙන්නෙ කියලා බලන්න. දැන් පොතක් අතට ගන්නෙම නෑ. දැක්කොත් ෆෝන් එකේ” නදීකගේ අම්මා කපු මහතාට බැගෑපත් ස්වරයෙන් කීවාය. කපු මහතාට සියල්ල වැටහිණි. කපු මහතා දෙවියන්ට කන්නලව් කරමින් යාතිකා කළේය.
විනාඩි කිහිපයක් එසේ කන්නලව් කළ කපු මහතා නදීකට ගුරුකමක් කර ඇති බවත් ඔවුන්ගේ නිවසට අසල්වැසි නිවසේ සිටින අය විසින් නදීකගේ අධ්‍යාපනය කඩාකප්පල් කර දැමීමට මෙය කර ඇති බවත් එම ගුරුකමේ බලපෑමෙන් නදීකගේ අධ්‍යාපන කටයුතු ඉදිරියේ දී කඩාකප්පල් වී යන බවත් මෙයට නදීකට ඇති අපල ද බොහෝ බලපා ඇති බවත් කපු මහතා කීය.
මෙයට විසඳුමක් ලබාදෙන ලෙස නදීකගේ අම්මා කපු මහතාගෙන් ඉල්ලුවාය. “අපලවලට බෝධි පූජා විතරක්ම තියලා බෑ. ළමයාගේ ඉගෙනීම කඩාකප්පල් වෙන්න කරපු කොඩිවිනය කපලා අයින් කරන්න ඕන. එතකොට ඔක්කොම හරියයි” කපු මහතා නදීකගේ අම්මාට පැහැදිලි කළේය. එයට කොපමණ මුදලක් වියදම් කරන්න අවශ්‍ය දැයි කපු මහතාගෙන් දැනගත් නදීකගේ අම්මා කපු මහතා දුන් බඩු ලැයිස්තුව ද අතට ගෙන නැවත එන පොරොන්දුව මත නදීක සමගින් දේවාලයෙන් පිටත්ව ආවාය.
කොඩිවිනය කපා තම දරුවා ආරක්ෂා කරගත යුතු යැයි නදීකගේ අම්මා තම සැමියාට පැවසුවාය. නැතහොත් දරුවාගේ අනාගතය විනාශ වී යාවි යැයි ඇය බොහෝ කනගාටුවෙන් යුතුව නදීක ගැන කතා කළාය. මට හිතාගන්න බෑ ඇයි අනුරලා අපිට මෙහෙම දෙයක් කළේ කියලා. දරුවගේ ඉස්කෝලෙටම යන හින්දා ඒගොල්ලන්ගෙ දරුවා අපේ දරුවාට වඩා ඉහළ ලකුණු ගන්න ඕනෙ කියලා හිතලා මේ වගේ කැත වැඩක් කරන්න ඇති අපේ දරුවා එක්ක ඊර්ෂ්‍යාවට. කමක් නෑ අපි අපේ දරුවා වෙනුවෙන් මේක කරමු” නදීකගේ අම්මා සිටියේ බොහෝ දුකිනි.
නදීකගේ ඉගෙනීමේ කටයුතු එන්න එන්නම දුර්වල වන නිසා කපු මහතා කියූ පරිදි කොඩිවිනය කැපීමට අවශ්‍ය බඩු ද ලැහැස්ති කරගත් නදීකගේ මව්පිෙයා් කපු මහතා හමුවට ගියෝය. දේවාලය තුළදීම කොඩිවිනය කපා නදීකට සෙත්ශාන්තියක් කිරීමට කපු මහතා පියවර ගත්තේය. නදීකගේ කරට යන්ත්‍රයක් ද දැමීය.
“දැන් ඉතින් කල් යන්න යන්න යන්තරයේ බලය වැඩිවෙනවා. මාස තුනක් ඇතුළත දරුවා පෙර වගේම ඉගෙනීම් කටයුතු හරියට කරගෙන යයි. ආයෙත් මොනම දෙයකින්වත් බලපෑමක් වෙන්නෙ නෑ. දිනපතා බෝධි පූජාත් තියලා නිතරම දෙවියන්ට පිං අනුමෝදන් කරන්න.
කිළි ගෙවල්වල යන්න හොඳ නෑ මාස තුනක් යනකම්. ඒ වගේම හොඳ නැති මස් මාංශ කිසිවක් ගෙදරට ගන්න එපා. යන්තරයේ බලය නැතිවෙයි” කපු මහතා පැහැදිලි කර දී අදාළ මුදල් ද නදීකගේ මව්පියන්ගෙන් ලබාගත්තේය.
නදීකගේ මව්පියන් සිටියේ සැහැල්ලු සිතිණි. “දැන් ඉතින් ඔක්කොම හරි. ආයෙ නම් ගුරුවරු අපේ දරුවා ගැන වරදක් කියන එකක් නෑ” නදීකගේ අම්මා සිතුවේ එහෙමය.
දින සති මාස ගෙවෙමින් තිබුණි. නදීකගේ කිසිම වෙනසක් පෙනෙන්නට නොවිණි. පෙර සේම නදීක පොතපතක් අතට ගත්තේ නැත. කොයි වෙලේත් දුරකථනය ඔබ ඔබා සිටියේය.
කරපු සෙත් ශාන්තියෙන් වැඩක් වී නැත. දරුවා පංතියේ දුර්වල ළමුන්ගේ මට්ටමට වැටී ඇත. මෙයට කුමක් කරන්නදැයි නදීකගේ අම්මා කල්පනා කළාය. ඇය තම දරුවා ගැන සොවින් පසුවූවාය. ඕක ගැන ඕනවට වැඩිය කල්පනා කරන්න ගිහිං ඔයා ලෙඩවෙනවා. ඒක නිසා අපි මේකට මොකක්ද කරන්නෙ කියලා බලමු” නදීකගේ පියා තම බිරිඳ නිතරම කල්පනා කරන බැවින් ඇයගේ සිත සැනසුවේය.
මේ අතර නදීකගේ අම්මා නදීකගේ අමතර පංතියේ උගන්වන ගුරුතුමාට නදීකගේ තත්ත්වය ගැන කියා සිටියාය. දැක්කොත් ෆෝන් එකේමයි සර්. මොකක්ද මේකට කරන්නේ අපි” නදීකගේ අම්මා ඇසීය. මටත් තේරුණා නදීකගේ වැඩවල වෙනසක්. මමත් හිටියේ අම්මව හම්බවෙන්නම තමයි. දැනුයි මට තේරෙන්නේ මොකද වෙලා තියෙන්නෙ කියලා. මං දන්න ඩොක්ට කෙනෙක් ඉන්නවා. නදීකව ඒ ඩොක්ට ළඟට පොඩ්ඩක් එක්කගෙන යන්න නදීකගේ අම්මලා. අපි බලමු ඩොක්ට මොකද කියන්නේ කියලා මේ ගැන” අමතර පංතියේ ගුරුභවතා නදීකගේ අම්මාට පැවසීය.
ඒ අනුව නදීකගේ මව්පියෝ නදීක ශ්‍රී ලංකා ස්වාපන විද්‍යාවේදීන්ගේ සංගමයේ වත්මන් සභාපති මනෝ චිකිත්සක වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා හමුවට රැගෙන ගියහ.
වෛද්‍යවරයා වෙන වෙනම අම්මාගෙනුත් තාත්තාගෙනුත් නදීකගෙනුත් තනි තනිවම ගෙන ප්‍රශ්න ඇසුවේය. වෛද්‍යවරයාට සියල්ල හොඳින් පැහැදිලි විය. වෛද්‍යවරයා නදීකගේ අම්මාගෙන් විස්තර අසන විට ඇය කියා සිටියේ “ෆෝන් එකේමයි ඩොක්ට පුතා ඉන්නේ. කෑගැහුවම විතරක් පොතක් අතට ගන්නවා. එච්චරයි” නදීකගේ අම්මා වෛද්‍යවරයාට නදීක ගැන කියා සිටියාය.
“ඇයි එච්චර වෙලා ෆෝන් එකේ ඉන්නේ ? ඇයි ඕගොල්ලො දරුවට ෆෝන් එකක් අරන් දුන්නේ” වෛද්‍යවරයා ඇසීය.
“ඉස්කෝලේ යහළුවො හැමෝටම ස්මාට් ෆෝන් තියෙනවා කියලා හරියට මුරණ්ඩු වුණා ෆෝන් එකක් ඉල්ලලාම” නදීකගේ අම්මා වෛද්‍යවරයාට කියා සිටියාය.
නදීකගේ සිත අධ්‍යාපනය වෙත යොමු කිරීම සඳහාත් දුරකථනයෙන් ඔහු මුදවීම සඳහාත් වෛද්‍යවරයා විසින් නදීකට Aversion Therapy එනම්, එපා කරවීමේ ප්‍රතිකාර ප්‍රධාන වශයෙන් යොදාගත් අතර, සංයම අභ්‍යාස සහ R.E.T. ක්‍රම යොදාගත්තේය. මාස තුනක් වනවිට සම්පූර්ණයෙන්ම නදීක ක්‍රමානුකූලව පාසල් වැඩ කිරීමට පටන් ගත්තේය.
සමාජයේ බහුල වශයෙන් පැතිර පවතින මානසික අවුලක් වන පාසල් ළමුන්ට වින කරන ස්මාට් ෆෝන් පිල්ලුව අද සමාජය ගිලගෙන ඇති සෙයක් දැකිය හැකිය. යම් කෙනෙකු විසින් මානසික වින්දනය උදෙසා එකම ක්‍රියාවක නැවත නැවත යෙදීම ඇබ්බැහිවීමක් ලෙස හැඳින්විය හැක. එනම් මත්පැන්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම, තාක්ෂණයට ඇබ්බැහි වීම වැනි ඒවාය.
අපේ කතාන්දරයේ ෆෝන් එකට යොමු වීම, පරිගණකයට හා පරිගණක ක්‍රීඩාවලට යොමු වීම ආදිය සරලව හැඳින ගත හැකිය.
අපේ කතාන්දරයේ කතානායකයාට සිදුව ඇත්තේ ෆෝන් පිස්සුවයි. මෙය එසේ මෙසේ පිස්සුවක් නොවේ. මේයට පූර්ණ වගකිව යුත්තා වන්නේ මේ සටහන කියවන අම්මලා තාත්තලා නැතිනම් වැඩිහිටියන් වන ඔබමය. තම දූ දරුවන්ට ලබාදිය යුතු වන්නේ කුමක්ද එම වයස මට්ටමට හා ළමා කාලය පාරිසරික මෙන්ම තුරුණු වයස හා තරුණ වයසට එබිකම් කියන වයස් පරතරය පිළිබඳව අම්මලා තාත්තලා නිරතුරුවම අවදියෙන් සිට තම දුවට හෝ පුතාට තිළිණ ලබාදිය යුතුය.
සෙල් ෆෝනය යනු තාක්ෂණික උපකරණයකි. එය හොඳට ද නරකට ද භාවිත කළ හැකිය. එය තීරණය කළ යුත්තේ අප විසින්මය.
නමුත් නව යොවුන් හා යොවුන් වියට පා තබන දරුවන්ට සෙල් ෆෝන් අරන් දීම කිසිසේත්ම සිදු නොකළ යුතු බවයි මෙහි දී පැවසිය යුත්තේ.
ඕනෑම මානසික ව්‍යාධි තත්ත්වයක දී වෘත්තීමය ප්‍රතිකාරවලට යොමුවීම ඉතා වැදගත්ය. එසේ නොකර ගොඩ වෙදකම්, අත්බෙහෙත් කිරීමට යාමෙන් ඉතා දරුණු ප්‍රතිඵල අත්විය හැක. එහෙත් භාරකරුවන් හෝ ආදරය කරන්නන් ලෙස අපට අපේ ඥාතියා හිතවතා මිතුරා ස්වාමියා බිරිඳ හෝ අසල්වැසියා හෝ දුව හෝ පුතා මේ තත්ත්වයෙන් පෙළේ නම් මේ කටයුතු සිදු කළ යුතුව ඇත.
ඔවුන්ගේ ව්‍යාධිය තේරුම් ගැනීම හා දැනුම්වත් වීම, ඔවුන්ගේ ක්‍රියාව බලයෙන් නවත්වන්නට නොයෑම, ඔවුන්ව සමච්චලයට ලක් නොකිරීම ඔවුන්ව නිසි ප්‍රතිකාර කරා යොමු කිරීම ප්‍රතිකාර පවත්වාගෙන යාමට උපකාර කිරීම ආදිය කළ හැකිය.
මේ සම්බන්ධයෙන් වෛද්‍යවරයා නදීකගේ මාපියන්ට මීට පස්සෙවත් මේ වගේ මෝඩ වැඩ කරන්න එපා” කියලා අවවාද කළේය.
(මෙහිදී නම් ගම් පමණක් රෝගියාගේ ආරක්‍ෂාව හා පෞද්ගලිකත්වය වෙනුවෙන් වෙනස් කර ඇති අතර සත්‍ය සිදුවීමකි)
සටහන හා ඡායාරූප
හබරාදුව නිමල් අල්ගෙවත්ත