ලොව ප‍්‍රබලම රොකට්ටුව අඟහරු බලා යයි


සඳ තරණයෙන් පසු, මිනිසාගේ මීළඟ ඉලක්කය රතු ග‍්‍රහයා හෙවත් අඟහරු තරණයයි. අඟහරු වෙත මිනිසුන් යැවීම පහසු කටයුත්තක් නොවෙයි. අඟහරු යෑමේදී අභියෝග රැසට මුහුණ දීමට සිදුවෙයි. ප‍්‍රධානම ගැටලුව ගගනගාමීන් අඟහරු වෙත ගෙන යෑමට ප‍්‍රබල රොට්ටුවක් නොතිබීමය. අඟහරු යෑමේ පළමු අභියෝගය ලෙස සැලකෙන ප‍්‍රබල රොකට්ටුවක් නොතිබීමේ අර්බුදයට දැන් විසඳුමක් ලැබී ඇත. ඒ, ‘ස්පේස් එක්ස්’ නමැති ඇමෙරිකන් සමාගම අඟහරු වෙත මිනිසුන් රැගෙන යෑමේ අරමුණ ඇතිව, රොකට්ටුවක් නිර්මාණය කිරීමත් සමඟය. සඳ තරණය කළාක් මෙන්, අඟහරු ද තරණය කිරීමට ඇමෙරිකානු නාසා ආයතනය සැරැසෙයි. ඒ, පෞද්ගලික අංශයේ ද සහාය ඇතිවය. කෙසේ නමුත් අඟහරු වෙත මිනිසකු යැවීම සිදුවනු ඇත්තේ අද හෙට නොව 2035 වසරෙන් පසුවය. 

ගගන යානා නිර්මාණයේ ඉහළ තැනක සිටින ඇමෙරිකානු ‘ස්පේස් එක්ස්’ සමාගම වසර ගණනාවක් තිස්සේ සිදුකළ පර්යේෂණ සහ අත්හදා බැලීම්වල ප‍්‍රතිඵලයක් ලෙස ‘ස්පේස් එක්ස් ෆෝල්කන් හෙවි’ නමින් නම් කළ මෙම රොකට්ටුව නිර්මාණය විය. අවසන් අත්හදා බැලීම ලෙස රොකට්ටුව අඟහරුගේ කක්ෂයකට යැවීමට ස්පේස් එක්ස් තීරණය කළේය. එම කටයුත්ත සිදුවූයේ නාසා ආයතනයේ ද සහාය ලබා ගනිමිනි. 


මිනිසා නිර්මාණය කළ ‘ලොව ප‍්‍රබලතම රොකට්ටුව’ යන නමින් ද හැඳින්වෙන ‘ස්පේස් එක්ස් ෆෝල්කන් හෙවි’ පසුගිය පෙබරවාරි 6 වැනිදා, මහා පිපිරුම් හඬක් නඟමින්, ෆ්ලොරීඩාවේ කේප් කැනවරල් තුඩුවෙන් ගුවනට විඳිනු ලැබුණි. මෙම රොකට්ටුවට සාර්ථකව අඟහරු වෙත ළං වී, එහි කක්ෂයකට පිවිසීමට හැකිවුවහොත්, මිනිසාගේ අඟහරු තරණයේ පළමු පියවර මෙය වනු ඇතැයි පැවැසෙයි. 


‘ලොව ප‍්‍රබලතම රොකට්ටුව’ අඟහරු බලා ගියේ හිස් රොකට්ටුවක් ලෙස නොවෙයි. ස්පේස් එක්ස් සමාගමේ ප‍්‍රධානියා වන්නේ ඉලොන් මස්ක්ය. මස්ක්ගේ අදහසකට අනුව, ඔහුගේ පැරැණි චෙරි රතු පැහැයෙන් යුක්ත ටෙල්සා රෝඩ්ස්ටාර් නමැති මෝටර් රථය රොකට්ටුවට පටවා යැවුණි. ඇමෙරිකන් ගගනගාමියකු ලෙස ගගන ඇඳුමකින් සැරැසුණු පඹයකු සුක්කානම අසල අසුන් ගෙන සිටී. 


‘ස්පේස් එක්ස් ෆෝල්කන් හෙවි’ රොකට්ටුව, නාසා ආයතනයට අයත් කැනවරල් තුඩුවේ ඇති ගගන මධ්‍යස්ථානයෙන් ගුවනට විදිනු ලැබුණි. මෙය ඇමෙරිකානු අභ්‍යවකාශ තරණයේ තවත් සුවිශේෂී සංධිස්ථානයක් ලෙස සැලකෙයි. 


‘ස්පේස් එක්ස් ෆෝල්කන් හෙවි’ යෝධ රොකට්ටුව අති ප‍්‍රබල ඇන්ජින් 27කින් සමන්විතය. මහා පිපිරුම් හඬක් නංවමින්, රොකට්ටුව නිල් පැහැ පැහැදිලි අහස පසාරු කර ගනිමින් උඩු ගුවනට ගමන් කරද්දී, ස්පේස් එක්ස් සමාගමේ ඉන්ජිනේරුවන්, තාක්ෂණ ශිල්පීන් පමණක් නොව, නාසා නිලධාරීහු පවා පී‍්‍රතියට පත්ව ඔල්වරසන් දෙන්නට වූහ. ‘හිතුවාටත් වඩා වැ​ෙඩ් සාර්ථකයි. හිතුවාටත් වඩා සාර්ථකයි’ යැයි රැස්ව සිටි පිරිස අතර සිටි අයෙක් කෑ කෝ ගසන්න විය. ඒ, වෙන කවුරුත් නොවෙයි. පී‍්‍රතියෙන් පී‍්‍රතියට පත්ව සිටි කෝටිපති ව්‍යාපාරික ඉලොන් මස්ක් ය. මීට දශක හතරකට පෙර, ඇපලෝ මෙහෙයුම යටතේ ඇපලෝ 11 යානය රැගත් ඇට්ලස් රොකට්ටුව ගුවන්ගත වූයේ ද කැනවරල් තුඩුවේ පිහිටි මෙම ගගන මධ්‍යස්ථානයෙන් යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 


‘ස්පේස් එක්ස් ෆෝල්කන් හෙවි’ රොකට්ටුව දෙවැනි වන්නේ ‘යුනයිටඩ් ලොන්ච් ඇලියොන්ස්’ සමාගම නිර්මාණය කර ඇති ‘ඩෙල්ටා 4 හෙවි’ රොකට්ටුවට යැයි ද නාසා පවසයි. ‘ස්පේස් එක්ස්’ සමාගම සේම, පෞද්ගලික අංශයේ ඉදිරියෙන් සිටින සමාගමක් ලෙස සැලකෙන්නේ ඇමෙරිකානු ‘යුනයිටඩ් ලොන්ච් ඇලියොන්ස්’ සමාගමය. මොවුන් ද නාසා සමඟ අත්වැල් බැඳගෙන සිටී. ‘ඩෙල්ටා 4 හෙවි’ රොකට්ටුවට වඩා, ඉතාමත් අඩු වියදමකින්, ‘ස්පේස් එක්ස් ෆෝල්කන් හෙවි’ ගුවන්ගත කිරීමට හැකි බව නාසා කියයි. එක් ගුවන් ගමනක් සඳහා ‘ස්පේස් එක්ස් ෆෝල්කන් හෙවි’ සඳහා වැය වන්නේ ඇමෙරිකන් ඩොලර් 90ක් වන අතර, ‘ඩෙල්ටා 4 හෙවි’ සඳහා ඩොලර් මිලියන 350ක් වැය වෙයි. ‘ස්පේස් එක්ස් ෆෝල්කන් හෙවි’ අත්හදා බැලීමේ මට්ටමේ පවතින අතර ‘ඩෙල්ටා 4 හෙවි’ දැනටමත් නාසා ආයතනය විසින් භාවිතයට ගැනීම සිදු කරයි. දැනට භාවිතයේ පවතින විශාලතම මෙන්ම ප‍්‍රබලතම රොකට්ටුව ‘ඩෙල්ටා 4 හෙවි’ රොකට්ටුවය. ගගනගාමීන් සඳට රැගෙන ගිය සහ බඩු බාහිරාදිය අභ්‍යවකාශයට රැගෙන ගිය ‘සැටර්න් වී’ රොකට්ටුව ද නාසා ආයතනය විසින් භාවිතයට ගනු ලැබූ අතිප‍්‍රබල රොකට්ටුවකි. 1987 සහ 88 වර්ෂවලදී සෝවියට් රුසියානුවන් භාවිතයට ගත් ‘එනර්ජියා’ රොකට්ටුව ද මේ හා සමානව ප‍්‍රබල රොකට්ටුවක් ලෙස හඳුන්වා දිය හැකිය. 


‘ස්පේස් එක්ස් ෆෝල්කන් හෙවි’ රොකට්ටුව ඇත්තටම නම්, කුඩා ප‍්‍රමාණයේ ෆෝල්කන් 9 වර්ගයේ රොකට්ටු තුනක් එක් කිරීමෙන් නිර්මාණය කරන ලද්දකි. එය ප‍්‍රබලත්වයෙන් වැඩි වෙන්නේ ඇන්ජින් 27ක් අන්තර්ගත වන නිසාය. රොකට්ටුවේ උස මීටර් 70 කි. අඩි 230 කි. මෙට්රික් ටොන් 64ක් එනම් රාත්තල් 14,100ක් පහසුවෙන් උඩු ගුවනට රැගෙන යා හැකි රොකට්ටුවක් ලෙස මෙය සැලකෙයි. 


පෘථිවියේ අප මෙන්ම, අප අවට ඇති සෑම දෙයක්ම පෘථිවියට ඇලීගැලී පවතින්නේ ගුරුත්වාකර්ෂණය නිසාය. ගුරුත්වාකර්ෂණ බලයෙන් මිදී, පෘථිවි කක්ෂයට හෝ ඊටත් එපිටට යෑමට නම්, ප‍්‍රබල රොකට්ටු අවශ්‍ය වෙයි. ගගනගාමීන්, චන්ද්‍රිකා, විශ්වයේ සැරිසරන රොබෝ ගවේෂණ යානා ආදිය පෘථිවි කක්ෂයට ගෙන යෑම සිදු කරන්නේ රොකට්ටුවලිනි. පළමු රොකට්ටු නිර්මාණය වූයේ මීට වසර දහසකට පමණ පෙර චීනයේය. ඒ මල් වෙඩි, රතිඤ්ඤා සහ අහස් කූරු නිර්මාණය වීමත් සමඟය. 


පෘථිවි කක්ෂයෙන් මිදී අභ්‍යවකාශයට ගිය පළමු රොකට්ටුව වන්නේ ‘ජර්මන් වී2’ රොකට්ටුවය. ඒ 1942 වසරේදීය. මෙම රොකට්ටුව කිලෝ මීටර් 160ක් ඉහළට ගියේය. වර්ගීකරණයේ දී, රොකට්ටු ප‍්‍රධාන වශයෙන් දෙකකට බෙදා වෙන් කෙරේ. ඒ, එක් වරක් පමණක් භාවිතා කෙරෙන සහ යළි යළි භාවිතයට ගැනෙන රොකට්ටු ආදී වශයෙනි. එක් වරක් පමණක්, භාවිතා කෙරෙන්නේ සිහින් දිග රොකට්ටුය. අනෙක් රොකට්ටු, ගගනගාමීන් රැගත් කැප්සියුල හෝ චන්ද්‍රිකා හෝ වෙනත් දේවල් හෝ පෘථිවි කක්ෂයට ගෙන ගොස් යළි පෘථිවියට පතිත වෙයි. මූදට වැටෙන්න සැලැස්වෙන ඒවා සොයා ගැනෙන අතර යළිත් භාවිතයට ගැනෙයි. 
රොකට්ටුවකට පෘථිවි ගුරුත්වාකර්ෂණයෙන් මිදී ඉහළට යෑමට නම් ප‍්‍රබල බලයක් ප‍්‍රතිවිරුද්ධ දෙසට යෙදීමට සිදුවෙයි. එය පැයට කිලෝ මීටර් 40,000ක වේගයෙන් ඉහළට යද්දී, පෘථිවි ගුරුත්වාකර්ෂණ බලයෙන් මිදෙයි. ඊට පෘථිවි කක්ෂයට හෝ අභ්‍යවකාශයට හෝ පිවිසීමට ඉඩ සැලසෙන්නේ ඒ අනුවය. මෙම වේගයට ළඟාවීමට රොකට්ටුවට නොහැකි වුවහොත් ඉහළට යන එය ආපසු පොළවට ඇද ගැනීම සිදුවෙයි. 


රොකට්ටුව අති දැවැන්තය. රොකට්ටුවක ආධාරයෙන් අභ්‍යවකාශයට යන ගගනගාමීන් සිටින්නේ නම්, ඔවුන් රැඳී සිටින්නේ කුඩා කැප්සියුලයකය. මෙම කැප්සියුලය රඳවා තැබෙන්නේ රොකට්ටුවේ ඉහළ කෙළවරේය. පෘථිවි කක්ෂයට ගෙන යනු ලබන චන්ද්‍රිකා, වෙනත් බඩු බාහිරාදිය ආදිය ද රොකට්ටුවේ ඉහළින් රැඳවීම සිදුවෙයි. ඒ වෙනුවෙන් වෙන් වන්නේ රොකට්ටුවේ ඉහළ කෙළවර කුඩා ඉඩක් පමණි. රොකට්ටුවේ සෙසු කොටස ඉන්ධනවලින් පිරී පවතී. ඒ, අධික වේගයෙන් ඉහළට විඳීමට අධික බලයක් අවශ්‍ය වන හෙයිනි. රොකට්ටුවලට භාවිතා වන්නේ පෙට‍්‍රල් හෝ ඩීසල් නොව. ඉක්මනින් දහනය වන වැඩි වේගයක් ලබා ගත හැකි ඉන්ධන වර්ගය. 


රොකට්ටුවක ද්‍රව ඉන්ධන සහ ඝන ඉන්ධන වශයෙන් ඉන්ධන වර්ග දෙකක් භාවිතා කෙරේ. රොකට්ටුව පණ ගැන්වී පළමුවෙන් ඉහළට තල්ලු කිරීම සිදුවන්නේ ද්‍රව ඉන්ධන ආධාරයෙනි. මේ සඳහා ද්‍රව හයිඩ‍්‍රජන් හෝ ඔක්සිජන් මිශ‍්‍රණ ඉන්ධන ලෙස යොදා ගැනෙයි. මෙම හයිඩ‍්‍රජන් තැම්පත් කර ඇත්තේ රොකට්ටුවේ දෙපස ඇති යෝධ ටැංකි දෙකකය. ගුවන්ගත වෙද්දී මේවා එකවිට දැල්වෙයි. ඝන ඉන්ධන පිරවුණු ටැංකි පණ ගැන්වෙන්නේ රොකට්ටුව වේගයෙන් පෘථිවි කක්ෂය වෙත යෑමේදී අමතර බලයක් සහ වේගයක් ලබා ගැනීමටය. හයිඩ‍්‍රජන් ටැංකි මේ වනවිට දහනය වී අවසන් වන අතර, ඒවා පිරවුණු ටැංකි ස්වයංකී‍්‍රයව රොකට්ටුවෙන් ගැලැවී පහළට හැළෙයි. ඝණ ඉන්ධන ටැංකි දහනය වීම සිදුවන්නේ මිනිත්තු කීපයක් හෝ තත්පර කිහිපයක් හෝ පමණි. කෙසේ නමුත් ඒ වනවිට රොකට්ටුව ගුරුත්වාකර්ෂණ බලයෙන් මිදී පෘථිවි කක්ෂය වෙත ළඟා වෙමින් පවතිනු ඇත. 


සාමාන්‍යයෙන් රොකට්ටුවක දෙපස ඇති ඝන ඉන්ධන පිරවූ ටැංකි මීටර් 26.5 ක් පමණ උස වෙයි. මෙය රොකට්ටුවෙන් රොකට්ටුවට වෙනස් වෙයි. මේවායේ පළළ මීටර් 3කි. ටොන් 257ක ඉන්ධන මේවායේ අඩංගු වෙයි. එම ටොන් 257 න්, ටොන් 540ක තෙරපුම් බලයක් ලබා ගත හැකිය. ඒ, තත්පර 130ක් ඇතුළතදීය. මේවා පණ ගැන්වෙන්නේ රොකට්ටුවක් කිලෝ මීටර් 60ක් ඉහළට යද්දීය. මෙම ඉන්ධන ටැංකි යළි යළි භාවිතය ගැනෙයි. ද්‍රව ඉන්ධන පිරවූ ටැංකිවල ද්‍රව හයිඩ‍්‍රජන් ටොන් 130ක් සහ ද්‍රව ඔක්සිජන් ටොන් 130ක් යොදා ගැනෙයි. අධික සිසිල් උෂ්ණත්වයක් යටතේ මේවා මෙම ටැංකිවල තැම්පත් කෙරේ. ඇන්ජින් කි‍්‍රයාත්මක වෙද්දී මෙම ඉන්ධන දහනය වෙන්නේ, ඉහළට විදීමට 114ත් 120ත් අතර තෙරපුමක් ලබා දෙමිනි. එය සිදුවන්නේ තත්පර 570ක් ඇතුළතදීය. මේ සියල්ල රොකට්ටුවෙන් රොකට්ටුවට වෙනස් වෙයි. ඒ, තාක්ෂණයේ දියුණුවත් සමඟය. 
ඇමෙරිකා රොකට් නිර්මාණකරණයේ පුරෝගාමියා රොබට් ගොඩාඩ් (1882 - 1945) ය. දියර ඉන්ධන පිරවූ රොකට්ටුවක් පළමුවෙන්ම ගුවනට යැව්වේ මොහුය. ඒ, 1926 මාර්තු 16 වැනිදාය. එය මීටර් 12ක උසකට ළඟා වූයේය. ඒ, තත්පර 2.5ක කාලයකදීය. 


උඩුගුවනට විදිනු ලබන රොකට්ටුවක් පාලනය කරන්නේ පෘථිවියේ ඇති පාලන මධ්‍යස්ථානයෙනි. ගගන මෙහෙයුම අවසන් වනතුරු සියලු කටයුතු පාලනය කරන්නේත් ඒ දේවල් අධීක්ෂණය කරන්නේත් මෙම පාලන මැදිරියෙනි. ඒ, රොකට්ටුවෙන් නිකුත් වන සංඥා ඇසුරෙනි. අතීතයේ රේඩියෝ සංඥා මේ සඳහා භාවිත කෙරුණි. ඇමෙරිකාවේ නාසා ආයතනයේ ගගන කටයුතු පාලනය කරන්නේ හූස්ටන්හි පිහිටා ඇති ගගන පාලන මැදිරියෙනි. 


රොකට්ටුවක් උඩු ගුවනට යැවීම පෘථිවියේ සෑම තැනකින්ම කළ නොහැකිය. එය සිදු කළ හැක්කේ වායුගෝලය තුනීව පවතින ස්ථානවලදීය. මහා විද්‍යාඥ ආතර් සී. ක්ලාක් මහතා පැවැසූ අන්දමට අප රටේ උණවටුන ද රොකට්ටුවක් යැවිය හැකි ස්ථානයකි. එතුමන් මෙරටට පැමිණ එහි පදිංචි වූයේ ද එහෙයිනි. ඇතැම් රටවලට රොකට්ටු විදින ස්ථාන කිහිපයක් ඇත. සමහර රටවල් ඔවුන්ගේ ගගන කටයුතු වෙනත් රටවල් සමඟ හවුලේ සිදු කරයි. ඇමෙරිකන් රොකට්ටු උඩු ගුවනට යැවෙන්නේ කේප් කැනවරල් එසේත් නැතිනම් කැනවරල් තුඩුවෙනි. ඉන්දියාව රොකට්ටු උඩු ගුවනට යවන්නේ ශී‍්‍ර හරිකොත් ගගන මධ්‍යස්ථානයෙනි. රුසියාව ඒ සඳහා ඔවුන්ගේ බයිකනූර් ගගන මධ්‍යස්ථානය යොදා ගනී. 


අභ්‍යවකාශ නැවැතුම්පොළ නිර්මාණයේ දී ගගනගාමීන් සහ අවශ්‍ය බඩු බාහිරාදිය පෘථිවි කක්ෂයට රැගෙන ගිය ‘බස්රිය’ වූයේ ඇමෙරිකන් ෂටලය. මෙම ෂටල රොකට්ටුවකින් උඩු ගුවනට විදිනු ලැබීමෙන් පසු ඒවා අභ්‍යවකාශයට ගොස්, යළි පෘථිවියට පැමිණෙන්නේ ගුවන් යානයක් ලෙසිනි. ෂටල වැඩසටහන ඇරැඹුණේ 80 දශකයේය. ෂටල කිහිපයක් භාවිතයට ගැනුණි. අභ්‍යවකාශ නැවැතුම්පොළ නිර්මාණය කිරීමෙන් පසු ෂටල විශ‍්‍රාම යැවුණි. 


ගගනගාමීන් මුලින්ම සඳට රැගෙන යෑම සිදුවූයේ ‘සැටර්න් 5’ රොකට්ටුවේ ආධාරයෙනි. ඇමෙරිකා නිෂ්පාදනයක් වන එය සැබැවින්ම විස්මිත නිර්මාණයකි. එදා සිට අද දක්වා විවිධ රටවල් විවිධාකාරයේ රොකට්ටු නිර්මාණයට දායක විය. නිර්මාණය වුණු රොකට් ගණන 51 කි. සෝයූස් රොකට්ටුවේ සිට සැටර්න් රොකට්ටුව තෙක් අභ්‍යවකාශය ජය ගැනීමේ වික‍්‍රමයේ දී ගගන ගත වීම් 954ක් සිදුවී ඇත. එක්සත් රාජධානිය නිර්මාණය කළ එකම රොකට්ටුව ‘බ්ලැක් ඇරෝ’ නමැති රොකට්ටුවය. මෙය නිර්මාණය සිදුවූයේ 1969 දීය. 1969 වසරේ සිට 71 තෙක් මෙම රොකට්ටුව භාවිතා කෙරුණි. එක්සත් රාජධානිය නිර්මාණය කළ එකම රොකට්ටුව මෙයයි. මිනිසා අභ්‍යවකාශයේ රැඳවූ පළමු චන්ද්‍රිකාව ‘ස්පුට්නික් 1’ චන්ද්‍රිකාවය. මෙම වික‍්‍රමය කළේ සෝවියට් දේශයයි. ස්පුට්නික් 1 චන්ද්‍රිකාව පෘථිවි කක්ෂයට ගෙන ගියේ ස්පුට්නික් රොකට්ටුවෙනි. ඒ, 1957 ඔක්තෝබර් 4 වැනිදාය. 1961 අපේ‍්‍රල් 12 සෝවියට් ගගනගාමී යුරි ගගාරීන් අභ්‍යවකාශයට රැගෙන ගියේ ද ස්පුට්නික් රොකට්ටුවකි. අභ්‍යවකාශයට ගිය පළමු මිනිසා වූයේ ගගාරීන්ය. 

 

 

 


ලුසිත ජයමාන්න 
ඒ.එෆ්.පී. ඇසුරිනි