ලංකාවේ මුල්ම තේ වත්ත සොයා ලූල්කඳුරට


ක්‍රියාදාම චාරිකා

 

අවදානම් පිරුණු ස්ථාන

කඹයක ආධාරයෙන් බිමට බැසිය හැකි අපූරු ගල් බිත්තිය

 

 

බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් ලංකාවේ ආර්ථීක වෙනස්කම් බොහෝමයක් සිදුකළ අතර ඉන් ඔවුන් අපේක්‍ෂා කළේ රටේ ස්වභාවික සම්පත්වලින් ඔවුන්ට අවශ්‍ය ප්‍රයෝජන ගැනීමටය. භෝග වගාව ඔවුන් අතර ජනප්‍රිය අංගයක් වීම තුළින් ලංකාවට කෝපි, තේ යන වගාවන් වර්ධනය වුණි. පසුකාලීනව බ්‍රිතාන්‍යයන් විසින් සිදුකළ එම සියලුම කටයුතු වර්තමානය වන විටත් අපට මාහැඟි උපකාරයක් මෙන් පෙනෙන්නේ එදා සිදුකළ වෙනස අදත් අප අනුගමනය කරන බැවිනි. ලෝකයේ රටවල් බහුතරයකට අපනයනය කරන ලංකාවේ තේ මුල්ම වරට වාණිජ වගාවක් ලෙස සිදුකළ ඉසව්වට අප ගියේ එහි සුන්දරත්වය සේම ක්‍රියාදාම කඳු තරණයකටය.   


කොළඹ සිට පේරාදෙණියට පැමිණ සරසවි මාර්ගය ඔස්සේ ගලහ දෙසට අප යතුරු පැදි ධාවනය කළේ නිලඹේ නම් සුන්දර ඉසව් හරහාය. උදෑසනම හිමිදිරි කිරණ ගත දොවාගෙනම ගලහට ළඟා වූ අපි ඉන්පසු දෙල්තොට නගරයට පැමිණියෙමු. දෙල්තොට නගර මධ්‍යයේ ලූල්කඳුර වතුයායට යන මාර්ගය සඳහන් නාම පුවරුවක් ඇති හෙයින් දකුණට හැරී ලූල්කඳුර වතුයාය දෙසට අපි ගමන් කළෙමු.   


ලූල්කඳුර යනු මීට වසර සිය ගණනකට පෙර ලංකාවේ ප්‍රථම වාණිජ තේ වගාව පටන්ගත් ඉසව්වේ. ඊට මුල් වූයේ ශ්‍රීමත් ජේම්ස් ටේලර් මහතාය. ඔහු ඉංග්‍රීසි ආණ්ඩුවේ විවිධ රැකියාවකට පැමිණ පසුව වගාවන් සම්බන්ධව හදාරමින් ඊට නැඹුරුව ලංකාවේ තේ වගාව ආරම්භ කිරීමට පුරෝගාමී විය. ඔහු  ලූල්කඳුර තෝරාගෙන එය තේ වතු යායක් ලෙසට සංවර්ධනය කරන ලදී. පසුව ඔහු ප්‍රථම වරට තේ වගාව කළ කොටසද පසුව සමස්ත වතුයායම තේ සඳහා නිර්මාණය කිරීමට ඔහුට හැකි විය. වර්තමානයේ පවා එදා ප්‍රථම වරට තේ වගා කළ ඉසව්ව පැහැදිලිව දැකගත හැකිය.   


ලූල්කඳුර වතුයාය විශාලය. එහෙයින් ඔබට කිලෝමීටර් ගණනක් දුර ලුල්කඳුර වතුයායේ විවිධ නාමපුවරු දැකගත හැකිවනු ඇත. ඒ අතුරින් එක්තරා ස්ථානයක දී වගාවත් සමග මාර්ගයේ දකුණු පසින් සර් ජේම්ස් ටේලර්ගේ බංගලාව සහ ආසනය ලෙස සඳහන් පුවරු දැක ගත හැකිය. ඉන් ඔබ වාහනය හරවා ඉදිරියට යා යුතුය. වාහනයකට පමණක් සුළු මුදලකට ටිකට් පතක් අයකරනුයේ වතු නිවාස ජනයාගේ සුභසිද්ධිය පිණිස තේ වතු අධිකාරියේ අනුදැනුම යටතේය. 

 
මෙහි ප්‍රථම වාණිජ තේ වගාවට අමතරව තවත් නැරඹීමට ස්ථාන කිහිපයක් පවතියි. එන්ම ජේම්ස් ටේලර් මහතාගේ බංගලාවේ නටඹුන්, ඔහුගේ ගල් ආසනය සහ වතුයාය කෙළවරේ පිහිටි කොණ්ඩගල කඳු වැටියයි. අද දවසේ අපගේ වෑයම මේ සියල්ල නරඹා කොණ්ඩගල තරණය කිරීමයි. එමනිසාම උදෑසනින්ම අප වතුයායට පිවිස බංගලාවේ නටබුන් ඇති ඉසව්වට ගියෙමු. වතු මාර්ග බැවින් මාර්ග බොහෝ අබලන් තත්ත්වයේ පැවතුණි.   


ප්‍රවේශ පතක් ගත යුතු ස්ථානය ගේට්ටුවක් දමා වසා ඇති බැවින් වලංගු ප්‍රවේශපතක් ගෙන ඉන් ඉදිරියට යා යුතුය. සංචාරක ජීප් රථ, ත්‍රීරෝද හා බයික් වැනි වාහනවලට පමණක් යාමට සුදුසු මාර්ගයක් වන බැවින් සුපරීක්‍ෂාවෙන් එහි ගමන් කළ යුතුය. ආරම්භයේදීම වම් පසින් ඉතා අලංකාර කන්දක් දැක ගතහැකි අතර එය ඍජුකෝණාස්‍රාකාර පෙට්ටියක් වැනි මෙන් දැක ගත හැක. 

 
කෙමෙන් කෙමෙන් ඉදිරියට යත්ම තේ වතු මැදින් මාර්ගය වැටී තිබුණි. තේ වතු අතර විශාල ගල් පිහිටා තිබුණේ වතු යාය රකින මුර සෙබළුන් පරිද්දෙනි. මෙසේ කිලෝමීටර් 3 ක් පමණ පැමිණි පසු මාර්ගය නිමාවට පත්වේ. එතැනින් දකුණු පසට ශ්‍රීමත් ජේම්ස් ටේලර් මහතාගේ ආසනය (James Taylor Seat) සහ වම් පසට දිවෙන අතුරු මාර්ගයේ ඔහුගේ බංගලාව (James Taylor Bungalow) සහ ඔහු ස්නානය සඳහා භාවිත කළ ළිඳ (James Taylor Well) කරා දිවෙයි. ප්‍රථමයෙන් ඔහුගේ ගල් ආසනය පිහිටි ඉසව්වට අප ගිය අතර එය පිහිටා තිබුණේ සමස්ත වතුයායම පැහැදිලිව වාඩි වී සිට දැකගත හැකි ආකාරටයි. මන්ද ටේලර් මහතා යනු දක්ෂ ව්‍යාපාරික බුද්ධියකින් යුතු කෙනෙකු වූ බැවිනි.   
එම ප්‍රදේශය අලංකාර ලෙස නඩත්තු කර තිබූ අතර පසුව අපි ඔහුගේ බංගලාවේ නටඹුන් පිහිටි ප්‍රදේශයට ගියෙමු. එම ස්ථානයට මීටර් සියයක පමණ දුරින් රථවාහන නවතා පයින් යා යුතු අතර එම ප්‍රදේශය ද ඉතා සුන්දර ලෙස විසිතුරු මල් හා ශාඛ වර්ග වවා සකසා තිබුණි. අතීතයේ පැවති සුවිසල් බංගලාවේ නටබුන් ලෙස ඉතිරිව ඇත්තේ දුම් කවුළුව පමණකි. එලෙසම බංගලාවේ ප්‍රමාණය වටහා ගත හැකි ලෙස ස්ථානය සකසා තිබුණි.   


බංගලාව පිහිටියේ වත්ත කෙළවරක වූ අතර පිටුපස ඇත්තේ වන පියස හා ඉහළින් කොණ්ඩගල කඳු වැටියයි. ඔහු ස්නානය කිරීමට භාවිත කළ ළිඳ වර්තමානය වන විට කුඩා පොකුණක් ලෙස පැවතිය ද එය ඉතා කළු පැහැති වර්ණයෙන් යුක්ත විය. මෙම ස්ථානයේ ඔහු ගැනත් තේ වගාව ගැනත් කරුණු සඳහන් කරමින් අලංකාර පුවරු කිහිපයක් තනා තිබෙන අතර මෙම ප්‍රදේශය පුරා ඇවිද ඕනෑම කෙනෙකුට පරිසරයේ සුන්දරත්වය විඳගත හැක.   

 

තේ වත්ත තුළ

 


මේ අවට කිසිඳු වතු නිවාසයක් හෝ ජනාවාසයක් නොතිබෙන අතර මාර්ගය නිමාවූ තැනින් තවත් ඉදිරියට යා හැකි කුඩා අඩි පාරක් අපට දැකගත හැකිවිය.   


පසුව අප සූදානම් වූයේ කොණ්ඩගල කන්ද තරණය කිරීමටය. බංගලාවේ සිට දකුණට තේ කෑල්ල නිමාවන හා වන පියස ආරම්භවන ස්ථානයේ කුඩා අඩි පාරක් ඇති අතර එය දිගේ ගමන් කර පසුව වමට හැරී ඉහළට ගමන් කිරීමට සිදුවේ. එයද මීටර් තුන්සියයක් පමණ ගිය පසු තියුණු නැග්මකින් පසු කුඩා ගුහාවක් වැනි ස්ථානයකට ළඟා වනු ඇත. කූඩාරමක් අටවා හෝ නැතුව පහසුවෙන් පස් දෙනෙකුට පමණ සිටිය හැකි තරමේ ගුහාවක් වූ අතර ඊට අනෙක් පසින් කොණ්ඩගල කන්ද මහා ගල් බිත්තියේ ආරම්භ විය.   
අප යන විටත් පරිසරය තරමක් දූෂණය වී ඇති බව පෙනුණු අතර ගල මත කෝටු කෑලි රඳවා සහ ඉහළින් විසිකරන ලද අපද්‍රව්‍ය බෑග් පහළ පිහිටි රූස්ස ගල් මුදුන්වල පැටලී ඇති බව අපි දුටුවෙමු. එලෙසම මත්පැන් පානය කිරීම සඳහා මෙහි පැමිණි පිරිස විසින් බෝතල් කුඩුකර ගුහාව අවට දමා තිබුණු ආකාරයත් අපට දැක ගත හැකි විය. මෙතැනින් පසු කොණ්ඩගල කන්ද මුදුනට නැගිය යුතු අතර විනාඩි කිහිහපයක ගමනකින් පසු කඳු මුදුනට ළඟා විය හැකිය.   


කොණ්ඩගල කන්ද මීටර් 1400 ක පමණ උසකින් යුක්ත විය. කඳු මුදුන මීටර සියයකට වැඩි දුරක් විහිදුනු තනි ගල් තලාවකි. අංශක තිහක පමණ බෑවුම් ආනතියකින් යුත් නිසාවෙන් කන්දේ ගමන් කරන විට අවධානයෙන් යා යුතුය. කන්ද එහා පැත්ත සහ දෙපස කෙළවර වන ළැහැබකට දිවයන අතර ඉදිරියෙන් සමස්ත ලූල්කඳුර වතු යාය සහ රිකිල්ලගස්කඩ, වලපනේ ඇතුළු නැගෙනහිර දක්වා වපසරියක් දැක ගත හැකිය.   


කන්ද ඉතාමත් අලංකාර විය. නමුත් කන්දේ එක් කෙළවරක සැඟව තිබුණේ සුන්දරත්වය මැද සැඟවුණු මාරයෙකි. මන්ද මෙම කන්දේ බොහෝ ස්ථානවල කෙළවරට ගොස් දෙපා හෙලට දමා සිටිය හැකි මුත් කන්දෙන් පහළට වැටීමේ අවදානමක් එහි පවතියි. විශේෂයෙන් සුළං ප්‍රවාහය තදින් ඇති දිනවලදී කන්දේ කෙළවරට යෑමේදී වඩාත් ප්‍රවේශම් විය යුතුය.   


මහනුවර ගලහ හා දෙල්තොට ප්‍රදේශයට ආභරණයක් බඳු මෙම කොණ්ඩගල කන්ද මතට හන්තාන, කුකුළාගල, මහතුඩුගල, පිදුරුතලාගල, අම්බුලුවාව, බතලේගල, මොනරකන්ද, රජගල සහ ඉතාමත් ඈතින් නකල්ස් රක්ෂිතයේ ඇති කඳු ශිඛර පවා පැහැදිලිව දැකගත හැක. අක්කරයකට වැඩි ඉඩක් මෙම කන්ද මුදුනේ ඇති බැවින් පහසුවෙන් විශාල ප්‍රමාණයකට වුව සිටිය හැක. නමුත් දැඩි ලෙස ගුවනට විවෘත ඉසව්වක් වන බැවින් රාත්‍රි කඳවුරු බැඳීමේ දී සුළඟ සහ අකුණු ගැසීම පිළිබඳ අවධානයෙන් සිටිය යුතුය.  


ඉනපසු අපි කන්දේ හිස් අවකාශයට නෙරා ගිය ගල්තුඩ අසළට ගියෙමු. එහි යාම දැඩි අනතුරුදායක වන නමුත් ආරක්‍ෂාව ගැන හොඳින් සිතා බැලිය යුතුයි. මන්ද සුළු අතපසු වීමක් හෝ සිදුවුවහොත් මරණය නිසැක වන බැවිනි. එම ස්ථානය ඡායාරූප ගැනීමට කදිම තෝතැන්නකි. ඊට පසු කඳුවැටිය කෙළවර වක්‍රාකාර වෙමින් විශාල ගල් බිත්තියක් සමග ගල දිව යන අතර එහි කෙළවර හෙලට බරවූ කුඩා ස්ථානයක අසුන්ගෙන ඡායාරූප ගත හැකිය. මෙම කන්ද මුදුන ඉතා විශාල වන බැවින් පන්සියයකට අධික පිරිසකට වුව එකවර රැඳී සිටිය හැකිය. කඳු මුදුනට පහළින් තිබෙන එක්තරා ස්ථානයක් හොඳින් දැක ගත හැක.   


එනම් නටබුන් වී ගිය විශාල ගොඩනැගිලි 2 ක් තේ වතු යාය කෙළවරේ හුදෙකලාව පැවතීමයි. කුඩා අඩි මාර්ගයේ  ඉදිරියෙන් ඇති නමුත් කිසිඳු සජීවී ජනාවාසයක් එම ඉසව්වේ දක්නට නොලැබුණි. කෙසේ හෝ හෝරාවක් පමණ එහි ගත කළ අප නැවත ගමන යාමට සූදානම් විය. කන්ද බැස නැවත අපි ජේම්ස් ටේලර් මහතාගේ බංගලාව පිහිටි ස්ථානයට පැමිණියෙමු. මෙම ස්ථානයේ නිසි ලෙස අපද්‍රව්‍ය බැහැර කිරීමට බඳුන් තබා ඇති බැවින් මෙහි යනෙන සැවොම කුණු කන්ද උඩ විසිකර නොපැමිණීම යහපත් පුරුද්දක් වනු ඇත.   


වර්ෂ 1867 දී අරම්භ කළ ලංකාවේ මුල්ම වාණිජ තේ වත්ත හා සැබැඳි පරිසරය අදටත් ඉතා සුන්දරව නඩත්තුවන බව දැක ගැනීමට ලැබුණි. කොන්ඩගල කන්ද යනු පාරිසරික අතින් ඉතාමත් වැදගත් කන්දක්වන අතර මෙම කඳුවැටිය දකුණු දෙසින් පෙරෙට්ටාසි කඳුකරය දක්වා පැතිර යයි.   


ලූල්කඳුර පැමිණෙනක ඔබට ශ්‍රීමත් ජේම්ස් ටේලර් මහතාගේ බංගලාව් නටබුන්, ගල් ආසනය, පැරණි ළිඳ, මුල්ම තේ වගාව සිදුකළ කොටස, කොණ්ඩගල තරණයට අමතරව ඉරනැල්ල සහ මණ්ඩාවල දියඇලි නැරඹීමට යා හැකිය. ඇකිරිය ප්‍රදේශයේ පිහිටා ඇති අතර තවදුරටත් ඔබට නැරඹීමට අවශ්‍ය නම් ගලගම පැමිණ බෙල්වුඞ් වතුයායේ ගොස් මුතුකෙළින වැව සහ බෙල්වුඩ් නැරඹුම් මධ්‍යස්ථානය සේම තිරිවානා නිධිය ද නැරඹීමට යා හැකිය.   


කොණ්ඩගල කඳු මුදුනේ ආරක්‍ෂිතව කඳවුරු බැඳිය හැකි අතර විවෘත කඳවුරු බැඳීමක්ද සිදුකළ හැකිය.  ලූල්කඳුර වතුයායේ විවිධ ඉසව් නැරඹූ අපි ඉන්පසු පැමිණි මග ඔස්සේ දෙල්තොට හරහා පේරාදෙණියට ගියෙමු. ලංකාව් මෙවැනි සුන්දර ස්ථාන දැක ගැනීමට (Travel Sri Lanka Sobasiri මුහුණු පොත හා සම්බන්ධ විය හැකිය. තවත් ක්‍රියාදාම සංචාරයකින් අපි ලබන සතියේ හමුවෙමු.   

 

 


සංචාරක සටහන හා ඡායාරූප   
ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු