අවිගත් දඩබ්ම
පාතාලය, මත්ද්‍රව්‍ය ජාවාරම හා දේශපාලනය අතර ඇත්තේ ගසට පොත්ත සේ එකිනෙකට බැඳී පවතින සබඳතාවකි. මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන්නකු සතුව ඕනෑවටත් වඩා මුදල් තිබේ. එහෙත් එයට එන අභියෝග මැඩලන්නට නම් යම් මැර බලයක් අවශ්‍ය වේ. පාතාලය ඔවුන් පවත්වාගෙන යන්නේ ඒ වෙනුවෙනි. එසේම නීතියෙන් පැමිණෙන බාධා ඉවත් කරගැනීමට නම් දේශපාලන හයියක් අවශ්‍ය වේ. දේශපාලකයකු ළංකර ගන්නේ ඒ වෙනුවෙනි.
දේශපාලකයා සමඟ ගනුදෙනු පවත්වාගෙන යාමට ඔවුහු මුදල් වැය කරති. දේශපාලකයාට ද තමන්ගේ මැතිවරණ ජයග‍්‍රහණයන් වෙනුවෙන් වැය කිරීමට කොපමණ මුදල් තිබුණත් ප‍්‍රමාණවත් නැති තරම්ය. ඒ නිසා ඔවුන්ට කාගෙන් මුදල් ලැබුණ ද භාරගනු ඇත. එසේම දේශපාලකයාට ද ප‍්‍රතිවිරුද්ධ කණ්ඩායම් මර්දනය කරගැනීමට පාතාලයේ සහාය අවශ්‍ය වේ. ඇතැම් දේශපාලකෙයා් ද යහමින් මුදල් සෙවීමට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වෙති.
පාතාලයේ උදව් ලබාගන්නා දේශපාලකයන්ට ඔවුන්ගේ රහස් වැඩි ප‍්‍රමාණයක් දන්නා පාතාලයන් අභියෝගයක් වන අවස්ථා ද මතු වේ. ඔවුන්ගෙන් තමන්ගේ රහස් හෙළිවනු ඇතැයි යන බියක් ද ඇතැම් අවස්ථාවල ඇතිවේ. ඒ නිසා දේශපාලකයන් විසින් තමන්ට උදව් කළ පාතාලයන් ඝාතනයට පෙළඹුණ අවස්ථා ද පවතී. ඒ සඳහා ඔවුන් නැවත වෙනත් පාතාල කණ්ඩායමක සහාය ලබාගනු ඇත. මේ ආකාරයට දේශපාලකයෙක් පාතාලයේ පිහිට ලබාගැනීම කොටි වලිගයක් අල්ල ගත්තා වැනිය. අත්ඇරිය නොහැකිය. අත්ඇරීමට නම් තවත් එවැනිම කෙනකු ළං කරගත යුතුය. කෙසේ වුව ද සදාකාලිකවම පාතාලය ළඟින් සිටිනු ඇත. එසේම පාතාලයන්ට දේශපාලකයන් ඇණයක් වන අවස්ථා, ඔවුන්ගෙන් තමන්ට අවශ්‍ය දේ ඉටුකරගන්නට නොහැකි අවස්ථා ද මතු වේ. එවැනි දේශපාලකයකු ඝාතනය කිරීමට එවිට අදාළ පාතාල නායකයන් කටයුතු කරනු ඇත. මෙලෙස විවිධ හේතු මත එකිනෙක බැඳී පවතින මේ සබඳතාව බිඳීම පහසු නැත. දේශපාලකයාගේ රැකවරණය හා ආශිර්වාදය ලැබෙන තාක් පාතාලය සම්පූර්ණයෙන් නැති කිරීම සිහිනයක් පමණක් වනු ඇත.
කලින් කලට අපේ රටේ සාමාන්‍ය ජනතාවට විවිධ භීෂණයන්ට ලක්වන්නට සිදුවිය. වසර තිහක්ම යුද්ධය නිසා භීතියට පත් වූ ජනතාව අසූව දශකයේ ජවිපෙ හා එකල පැවැති ආණ්ඩුවේ ගැටුම මත ඇති වූ භීෂණයට ද මුහුණ දුන්හ. මේ සියලු භීෂණයන් අවසන් කළ පසු සුදු වෑන් සංස්කෘතිය තුළ සමාජය භීෂණයට ලක්වූහ. එය ද අවසන් විය. එහෙත් දැන් යළිත් භීෂණයක් පැමිණ තිබේ. ඒ පාතාල භීෂණයයි. පාතාල භීෂණය අද ඊයේ ඇති වූවක් නොවුණ ද එය යටපත්ව තබාගැනීමට ඇතැම් ආණ්ඩු සමත් විය. පසුගිය කාලය තුළ උදෑසනට අවදිවන්නකු ගුවන් විදුලියට සවන් දෙන්නේ අද කවුරු මරලා ද දන්නේ නෑ යනුවෙන් ඝාතනයට ලක්වූවන් ගැන දැනගැනීමේ අදහසින් යැයි කිවහොත් එහි වරදක් නැත.
අද දවසේ පාතාලය ගැන කතා කරන විට කාගෙත් මුවගට නිතැතින් නැඟෙන නාමය මධූෂ්ය. මධූෂ්ට ද අවශ්‍යව ඇත්තේ එයමය. ලාංකීය පාතාල ලෝකයේ ‘ගෝඩ් ෆාදර්’ වීම ඔහුගේ සිහිනය වී ඇති බව පෙනෙන්නට තිබේ. කලක් ඔහු දකුණ හොල්ලාගෙන සිටියේ දකුණේ අණසක පතුරුවාගෙන සිටි කොස්ගොඩ සුජී සමඟ ගැටෙමිනි. මේ දෙදෙනාම තමන්ගේ බලය තහවුරු කරගැනීමට උත්සාහ කළේ විදේශගතව සිටිමිනි. ඒ සඳහා මධූෂ් දකුණේ තවත් පාතාල කණ්ඩායම්වල සහාය ලබාගත්තේය. කොස්ගොඩ සුජී ද තමන්ගේ බලය පතුරා ගැනීම සඳහා සමයංගේ සහාය ලබාගත්තේය.
දෙදෙනාම හොරොයින් ජාවාරම තදින්ම පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ය. දකුණේ බලය අල්ලා ගැනීම සඳහා දෙදෙනා අතර පැවැති ගැටුම නිසා කලක් දකුණ භීතියෙන් ඇලළී ගියේය. සමයංගේ ඝාතනයත් සමඟ මේ ගැටුම් තවත් උත්සන්න විය. එහෙත් දැන් ඒ ගැටුම් පරාජය කරමින් ඉහළට එසවී සිටීමට මධූෂ්ට හැකියාව ලැබී තිබේ. අද රටේ සිදුවන පාතාල ක‍්‍රියාකාරකම් හා ඝාතනයන් බොහොමයක් පිටුපස සිටින්නේ කඹුරුපිටියේ මධූෂ් බව පොලිස් වාර්තා මගින් කියැවේ.
පොලිසියට ද තර්ජන එල්ල කරන තරමටම තර වී සිටින කඹුරුපිිටියේ මධූෂ් හෙවත් සමරසිංහ ආරච්චිගේ මධූෂ් ලක්ෂිත උපතින් පාතාලයෙක් නොවන බව කවුරුත් දන්නා ඇත්තය. එසේ නම් ඔහු පාතාල නායකයකු වුණේ කොහොම ද? ඩැනී හිත්තැටිය ඝාතනයේ සිට කොස් මල්ලී ඝාතනය දක්වා මධූෂ්ගේ ගමන කුමක් ද? ඔහුට පාතාලයකු සේ හැදී වැඩෙන්නට කිරි පෙව්වේ කවුද? මේ ඇත්ත තිත්ත වුණත් අපට එය කතා කිරීමට සිදුව තිබේ. ඒ යළිත් වතාවක් රට පාතාලයන්ට යන්නට ඉඩ හැර තිබේ ද? යන ගැටලුවක් දැන් දැන් මතුවෙමින් පවතින නිසාය.
මධූෂ් උපන්නේ මාතර කඹුරුපිිටියේය. ඔහු සිය මව, පියා හා එකම සහෝදරයා සමඟ අගහිඟකම් පිරී ගියත් සතුට රැඳී තිබුණ තම පුංචි කැදැල්ලේ සුරතල්ව හැදී වැඩුණේය. පාසල් යාමට පටන් ගත් තැන් පටන් හොඳින් අධ්‍යාපනය හැදෑරූ ඔහු ඉඳහිට දඟකාරකම් ද නොකළා නොවේ. මේ පුංචි කැදැල්ලට කණ කොකා හැඬුවේ 88-89 භීෂණ සමයත් සමඟය.
මධූෂ්ගේ මව එකල තහනම් දේශපාලන කාර්යයක නියැළී සිටිතැයි ආරක්ෂක අංශවලට ඔත්තු ලැබිණ. සැබැවින්ම ඇය එවැනි දේශපාලනයක නිරත වූ බවට තොරතුරක් නැතත් ආණ්ඩුවට එරෙහිව දේශප්‍රේමී සංවිධානය විසින් සංවිධානය කළ රැස්වීමකට ගමේ අය ද සමඟ ඇයට ද සහභාගී වන්නට සිදුවිය. එයට සහභාගී වී ආපසු එමින් සිටියදී රජයට එරෙහිව ගියැයි රජයේ ආරක්ෂක අංශ විසින් තැබූ වෙඩි ප‍්‍රහාරයකින් මධූෂ්ගේ මව ඝාතනයට ලක්වන්නේ අට හැවිරිදි මධූෂ්ට හා තවමත් අවුරුදු හයක්වත් නොවූ ඔහුගේ මල්ලීට ද මවකගේ රැකවරණය ආදරය අවශ්‍යම මොහොතකය.
එතැන් සිට මධූෂ් හා මල්ලි ගැන සොයා බැලුවේ පියා හා ලොකු අම්මාය. පියා නිශ්චිත රැකියාවක් නොකළ අතර කුලී වැඩ කරමින් ඉපයූ සොච්චම් මුදලින් ඔහු දරුවන් රැක බලාගත්තේය. මවගේ මරණින් වසර කීපයකට පසු පියා වෙනත් විවාහයක් කරගත් පසු මධූෂ්ලාගේ සම්පූර්ණ වගකීම ලොකු අම්මා මත පැටවිණ.
මධූෂ් ඉගෙන ගැනීමට ද අදක්ෂ දරුවෙක් නොවීය. එසේම ඔහු අහිංසක තැන්පත් දරුවකු ද නොවීය. නිතරම අනෙකුත් දරුවන් සමඟ රණ්ඩු කරගත්තේය. ඒ නිකම්ම නොවේ. තමන්ට සිදුවන අසාධාරණයන්ට එරෙහිවය. තමන්ට කරන හතුරුකම්වලට එරෙහිවය. පියාගේත් මවගේත් රැකවරණය අහිමි වූ ඔහු ටිකෙන් ටික හිතුවක්කාර දරුවකු වන්නට පටන් ගත්තේය. එහෙත් ලොකු අම්මා ඔහුව පාසල් යැවීම නැවැත්වූයේ නැත. ඔහු ද ඉගෙනීම අත්හලේ නැත.
එහෙත් ලොකු අම්මාට ඇගේ පවුලේ ප‍්‍රශ්නත් තිබියදී තමන් හා මල්ලි වෙනුවෙන් වැය කිරීම අපහසු බව මධූෂ්ට වැටහිණ. ඒ නිසා සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත් මධූෂ් පසුව කුලී වැඩ කර ජීවිකාව ගැටගසා ගන්නට වෑයම් කළේය. පාසල් දිවිය හමාර කළ ඔහු ලී මඬුවක කුලියට වැඩ කරන්න පටන් ගත්තේය. කලක් මෙසේ කුලී වැඩ කළ මධූෂ් පසුව ලී ඉරන කුඩා මැෂිමක් අත් කරත්තයක පටවාගෙන තැනින් තැනට ගොස් ලී ඉරන්නට විය. ඔහු ජංගම ලී ඉරන පට්ටලය ලෙස කා අතරත් ප‍්‍රසිද්ධ වූයේ මේ නිසාය.
ගම්වල එදිනෙදා කටයුතුවලට පොඩි ගසක් කපා ගන්නා අයෙක් ඒ ලී ටික ඉරාගන්න නගරයේ මෝලට අරන් යනවාට වඩා මධූෂ්ගේ ජංගම පට්ටලයෙන් ලී ඉරා ගැනීමට පුරුදු විය. එය නගරයට යනවාට වඩා ඔවුන්ට ආර්ථික වශයෙන් ලාභයක් ගෙන දෙන්නක් වගේම කාලය ද ඉතිරි කරන්නක් විය. මේ වැඩේට මධූෂ්ට ලී මෝල් හිමියන්ගෙන් තර්ජන ගර්ජන ද එල්ල නොවූවා නොවේ. එසේම ඔහුට උදව් කළ මෝල් හිමියෝ ද වූහ. මධූෂ් තර්ජන ගර්ජනවලට මුහුණ දෙන්නට තරම් ශක්තිමත් විය.
පාසල් වයසේදී ද එතරම්ම අහිංසකයෙක් නොවූ මධූෂ් මේ අභියෝගවලට මුහුණ දෙන්නට ද සැරසුණේය. ඒ තමන්ට චණ්ඩි පාට් දාන අයට බය නැතිව පෙරළා චණ්ඩි පාට් දැමීමෙනි. එසේම තමන්ට උදව් කළ අයට ද ඔහු දෙවියන්ට මෙන් සැලකුවේය. එදා මධූෂ්ට අවශ්‍ය වුණේ තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගැනීමට පමණි.
මෙවැනි කටයුතුවල නිරත වීම පහසු කටයුත්තක් නොවේ. විශේෂයෙන්ම තරුණ වයසේදීම මෙතරම් භාරදූර කාර්යයක නියැළීම තුළින් ඔහුව අත්දැකීම්වලින් පෝෂණය වන්නට ඇත. ඒ අත්දැකීම්වලින් තෙම්පරාදු වන ඔහුට තව තවත් සමාජයට මුහුණ දෙන්නට ශක්තිය ලැබෙන්නට ඇත. එසේම මෙවැනි වෘත්තියක නියැළෙන තරුණයකු ලෙස ඔහුට සමාජයේ විවිධ තරාතිරමේ අය ආශ‍්‍රය කරන්නට සිදුවන්නට ද ඇත.
මධූෂ් විවාහකයකු නොවන බවටත් ඔහු වැඩියෙන්ම කැමැති අනියම් සබඳතාවලට බවටත් බොහෝ දෙනා අතර මතයක් පවතී. එහෙත් ඇත්තටම මධූෂ් අවිවාහකයකු නොවේ. ජංගම ලී මෝලක හිමිකරුවකු වූ මේ කඩවසම් තරුණයාගේ ආදරය දිනා ගන්නට සමත් වූ තරුණියක් ද ගමේ සිටියාය. කඩවසම් තරුණයකු වූ මධූෂ්ට අකැමැති වීමට හේතුවක් ඇයට නොවිණ.
එසේම ඒ වනවිටම ගමේ කාගෙත් මඟුලකට මරණයකට සම්බන්ධ වූ කාගෙත් දුකට සැපට ළඟින් සිටි මධූෂ්ගේ අත ගන්නට ඇතැම් කෙල්ලෝ පොරකන අවස්ථාවක ඇය කුමකට පස්සට යන්න ද? එකල පාසල් යන වයසේ පසු වූ ඇය උසස් පෙළ විභාගයට පෙනී සිටීමෙන් අනතුරුව රජයේ රැකියාවක් ලබාගන්නට සමත් වූවාය. අනතුරුව ඇය මාතර මහරෝහලේ සාත්තු සේවිකාවක වූවාය. මධූෂ් හා ඇය විවාහ වූයේ ඉන් අනතුරුවය. ඒ ජීවිතය ද හොඳින් ගත විය.
තම රැකියාවේදී ඇතැමුන් සමඟ ගැටුම් ඇති කරගන්නට සිදුවුව ද ඒවා ඔහු පුංචි කැදැල්ලට ප‍්‍රශ්නයක් වන්නට ඉඩ තැබුවේ නැත. ආදරයෙන් පිරි කැදැල්ල ඔහුට සැනසුම ගෙන දුන්නේය. ඔවුන්ගේ සතුට දෙගුණ තෙගුණ කරමින් කැදැල්ලට පුංචි කුරුලු පැටියෙක් ද එක් විය. කැදැල්ල සතුටින් පිරී ගියේය.
මධූෂ්ට යාළුවන්ගෙන් ද අඩුවක් නොවිණ. විවිධ තරාතිරමේ යහළුවන් ඒ අතර විය. ඇතැමෙක් මත්ද්‍රව්‍ය ජාවාරම් සමඟ සම්බන්ධ වී සිටියහ. ඇතැමෙක් චණ්ඩීන් වූහ. ඒ අතර සමහරෙක් බස්රථවලින් කප්පම් ගැනීමට පුරුදුව සිටියහ. මේ ඇසුරේ කෙළවර වූයේ මධූෂ් ද බස්රථවලින් කප්පම් ගන්නා කල්ලියක සාමාජිකයකු වීමෙනි. මෙලෙස කප්පම් කල්ලියක සාමාජිකයකු බවට පත්වීමත් සමඟ මධූෂ්ගේ ජීවිතය වෙනස්ම පැත්තකට ගලායන්නට විය.
මධූෂ් සතුව වූ ආක‍්‍රමනශීලී හැකියාව නිසාම කෙටි කලකින් ඔහු තමන්ගේම කප්පම් කණ්ඩායමක් මෙහෙයවන නායකයකු බවට ද පත් විය.
එකල කප්පම් කල්ලි අතර ගැටුම්වලට ද මධූෂ් මැදිහත් විය. ක‍්‍රමයෙන් මධූෂ් ප‍්‍රදේශයේ නම ගිය චණ්ඩියකු බවට පත් විය. මුදල් ලැබෙන්න ලැබෙන්න තව තවත් ඒ කෙරෙහි ලොබ බැඳගත් මධූෂ් සිය කණ්ඩායම් මෙහෙයවා වෙළෙඳ ව්‍යාපාරිකයන්ගෙන් ද කප්පම් ගන්නට පටන් ගත්තේය. එපමණකින් නොනැවතී අවි ආයුධ පෙන්වා මිනිසුන් බිය ගන්වා කොල්ලකෑමේ ද නිරත විය.
මේ හැසිරීම් නිසා මධූෂ්ට නිතර නිතර අත්අඩංගුවට පත් වන්නට සිදු විය. එකල මධූෂ්ගේ නමින් අධිකරණවල නඩු නොපැවරූ පොලිසියක් නොමැති තරම්ය. රක්ෂිත බන්ධනාගාරගත වන මධූෂ් යළි එළියට එන්නේ තමන්ගේ කාර්යය කරගෙන යා හැකි තවත් චණ්ඩියකු දෙන්නකු හඳුනා ගනිමිනි. ඉන්පසු ඔවුන්ගේ ද සහාය තම කණ්ඩායමට එක්කර ගැනීමට මධූෂ් සමත් විය. මධූෂ් අතින් සිදුවූ පළමු ඝාතනය ගැන චෝදනාව නැගෙන්නේ මෙලෙස සිය කප්පම් කල්ලිය වැඩිදියුණු කරගනිමින් එය යහමින් පෝෂණය කරගනිමින් යද්දීය.
මධූෂ් අතින් මිය ගිය පළමු පුද්ගලයා කවුද? ඒ දක්ෂිණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති ඩැනී හිත්තැටිය මහතා යැයි සිතෙන්නට පුළුවන. ඒ මධූෂ්ගේ නමට තිබෙන ප‍්‍රසිද්ධම පළමු ඝාතන චෝදනාව එය වන නිසාය. එහෙත් ඔහුගේ පළමු ඝාතනය එය නොවේ. එලෙස ඝාතනයට ලක්ව තිබෙන්නේ කප්පම් ඉල්ලා සිටියදී ඒවා ලබාදීමට මැළි වූ ව්‍යාපාරිකයන් දෙදෙනෙක් බවය පොලිස් වාර්තා පෙන්වා දෙන්නේ. ඒ සම්බන්ධයෙන් ද මධූෂ් අත්අඩංගුවට පත්විය. එහෙත් ඔහු ඒ සියලු චෝදනාවලින් නිදහස් විය. ඒ ඇසින් දුටු සාක්ෂි නොමැති වීමෙනි.
ඒ වනවිට මධූෂ්ට දේශපාලන සම්බන්ධතා ද ගොඩනැගී තිබිණ. ඒ දේශපාලන සබඳතා ද ඔහුගේ සහායට සිටියා වන්නට ඉඩ ඇත. අදත් දේශපාලනයේ නියැළෙන දකුණේ ප‍්‍රබල දේශපාලනඥයෝ කීපදෙනෙක්ම මධූෂ් සමඟ සබඳතා පවත්වන බව කඹුරුපිටියට පමණක් නොව දකුණටම ප‍්‍රසිද්ධ රහසකි.
මධූෂ් ඇයි ඩැනී හිත්තැටිය මහතා ඝාතනය කළේ? ඒ පිළිබඳව අප ලබන කලාපයෙන් කතා කරමු.
මුදිතා දයානන්ද