රටක් වසඟ කළ හඬක්


අඬන්නට ඔන්න මෙන්න වූ ආකාසේ අඳුරු වැහි වලාකුළින් වසාගෙන හමාරය. සුරාජ් සෝපාවෙන් නැගිට විත් ජනෙල් කිහිපයක් විවෘත කළේය. ගත සිත ප්‍රබෝධමත් කරමින් වේගවත් සුළං දහරාවක් නිවස තුළට හමා ආවේය. ජනේල ආසන්නයේ තිබූ පියානෝව වසා තිබූ තිර රෙදි කඩ සුළඟින් ගසාගෙන ගොස් නිවසේ අඳුරු මුල්ලක නතර විය. පියානෝවේ යතුරු පුවරුව මත එහෙ මෙහේ අත ඇඟිලි ගමන් කරන හඬක් සහ මියුරු පියානෝ වාදනයක් එකවර ඔහු​ෙග් සවනත වැකිණි.   

පියානෝ බංකුවේ කාන්තාවක් හිඳගෙන ගීතයක් වාදනය කරයි. සුරාජ් ගැස්සී සෝපාවෙන් නැගිට්ටේය. පියානෝව අසල කිසිවකු පෙනෙන්නට නැත. ශවනි ආවාදැයි සිතූ සුරාජ් කාමරයෙන් කාමරයට යමින් නිවසේ අස්සක් මුල්ලක් නෑර පරීක්ෂා කර බැලුවේ කිසිවෙකු නිවස තුළ සිටී දැයි සෙවීමටයි. නිවස තුළ කිසිවකු පෙනෙන්නට නැත. ඔහු දැක තිබුණේ සිහිනයකි. මහත් හුදකලා බවක් දැනුණු හෙයින් සුරාජ් රූපවාහිනිය පණ ගැන්වීය.   
දින ගණනක් තිස්සේ කුසට හරිහමන් අහරක් නොලැබුණු නිසා දැඩි කුස ගින්නකින් සුරාජ් පෙළෙන්නට විය. කන්නට සූද‌ානම් වුවත් අාප්ප කෑල්ලක් වත් කුසගින්නට කන්නට නොහැකිවිය. රූපවාහිනියේ ජනප්‍රිය හින්දි චිත්‍රපට ගීයක් විකාශනය වේ. ශවනි නිතර පියානෝව වාදනය කරමින් එම ගීතය ගායනා කරන අයුරු සුරාජ්ට මැවී පෙනිණි. සුරාජ්ට ශවනි සමග දිවි ගෙවූ අතීතය මතකයට නැගිණි.   


සුරාජ්ට ශවනි හමු වූ සමයේ ඇය ආධුනික ගායිකාවක වූවාය. කිසිදු ලාභ ප්‍රයෝජනයක් නොතකා සුරාජ් උදව් ලබාදුන් සහයෝගයෙන් ශවනිට ප්‍රසිද්ධ දක්ෂ ගායිකාවක බවට රටේ කිරුලු පැළඳවීමට හැකියාව ලැබුණි. වසර ගණනක හිතවත්කම ආදරයකට පෙරළී ශවනි සාමාන්‍ය පුද්ගලයකු වන සුරාජ්ව විවාහ කරගත්තේ ව්‍යාපාරිකයන්, කලාකරුවන්, දේශපාලඥයන් බොහෝ දෙනෙකුගේ විවාහ යෝජනා ඉවත දමමිනි.   


ඔවුන්ගේ සංගීත දිවියට කොළඹ අවටින් නිවසක් තිබීම අත්‍යවශ්‍ය කරුණක් වූ බැවින් අගනුවරට ආසන්නව ගංගාවක් සමීපව පිහිටි මනරම් පරිසරයක තනා තිබූ අලංකාර නිවසක් සුරාජ් සහ ශවනි මිලදී ගත්තේ කුලී නිවාස ජීවිතයට සමුදෙමිනි.   


නිවසේ පදිංචි වී ටික කලකින් කිසිදු හේතුවක් නොමැතිව දෙදෙනා අතර නිතර අඩ දබර මතුවුණි. ශවනිගේ ජනප්‍රියතාව දවසින් දවස අඩු විය. එළිදැක්වූ ගීත ඇල්බමද ජනප්‍රිය නොවීය. මූල්‍ය ගැටලු බහුල වුණි. ගැටුම් උත්සන්න වී ශවනි සුරාජ් හැරද‌ා මහගෙදර පදිංචියට ගියාය. සුරාජ් නිවසේ තනිවුණි. සාර්ථකත්වයේ සිටි යුවලක් අසාර්ථකත්වයට පත්ව පවුල් ජීවිතය සුනු විසුනු වන තත්ත්වයකට ඇදවැටීම නිවසේ වාස්තු පරීක්ෂා කිරීමට හේතු වුණි. නිවසේ ඉඩමේ පැවති වාස්තු දෝෂ සහ දෝෂ ඉවත් කිරීමට මා උපදෙස් ලබා දුන්නේ මෙසේය.   


01. ස්ථම්භ දෝෂය   


ස්ථම්භ යනු කණුවක් හඳුන්වනු ලබන සමාන වචනයකි. වාස්තු පුරුෂයාගේ හදවත නිවසේ හරි මැද වූ බ්‍රහ්ම පාදයයි. බ්‍රහ්ම පාදය සෙවීමට වැරෙන්ඩා, ඉස්තෝප්පු, විවෘත ගරාජ ආදිය ඉවත් කළ යුතුය. මෙම නිවසේ බ්‍රහ්ම පාදය පැවතියේ සාලය තුළ වූ කණුවක් තුළය. බ්‍රහ්ම පාදය මත ඉදිකිරීම් කිරීම ඉතා අසුබ වේ. බ්‍රහ්ම පාදය මත කණුවක් පැවතීම නිවසියන්ගේ හෘදය මත ඇණයක් ගැසීමට උපමා කළ හැක. නිවසක මෙලෙස පිහිටි විට පවුල් ජීවිත කඩාකප්පල් වීම සිදුවේ. හේතුවක් නොමැතිව අඩ දබර ඇති වේ. සුරාජ් සහ ශවනිට වූයේ එයයි. නිවසේ බර දරන කණුවක් ඉවත් කිරීම අපහසු බැවින් නිවසට නව කොටසක් එකතු කොට බ්‍රහ්ම පාදය සාලයේ නිදහස් තැනකට එන පරිදි සකස් කර දෝෂය ඉවත් කෙරිණි.   


02. නිවසේ පෝරණුව මරමස්ථාන රේඛාවකට කැපීම.   


මෙම නිවසේ පෝරණුව නිවසේ හරි මැදින් ගමන් කරන මරමස්ථාන රේඛාවකට කැපිණි. මෙලෙස පිහිටීමෙන් නිවසක උයාගත් බත් පත කන්නට නොහැකි වාතාවරණයක් උදා වේ. නිවසේ බිරිඳ නිරන්තරයෙන් පීඩාවට පත් වේ. නිතර අඩදබර ඇති වී පවුලේ සමගිය සමද‌ානය නැති වේ. දික්කසාද, පවුල් ජීවිතය සීසීකඩ යයි. මරමස්ථාන රේඛාවකට පෝරණුව නොකැපෙන පරිදි නිවසට කොටසක් එකතු කොට දෝසය ඉවත් කෙරිණි.   


03 ව්‍යාංජනාකාර භූමිය   


ව්‍යාංජනාකාර භූමිය යනු පොරොව හැඩයේ ඉඩමකි. සුරාජ්, ශවනිගේ නිවස පිහිටි ඉඩම පැවතියේ සෘජු කෝණාශ්‍රාකාර හැඩයකටය. නමුත් අසල් වාසීන්ගේ යාබද ඉඩම මිලදී ගැනීමත් සමග ඉඩම පොරොව හැඩයක් බවට පත්විය. ප්‍රතිඵලය නිවසියන්ගේ ජීවිත කෙසෙල් දල්ලක් වරින්වර කපා දමා දලු ලනවා සේ කැපි කැපී වැටීමයි. ජීවිත අසාර්ථක වී බංකොළොත් බවට පත්වේ. පවුල් ජීවිත සීසීකඩ වේ. ඉඩමේ හැඩය පෙර පැවති ලෙස මායිම් ගසා තාප්පයක් බැඳ වෙන්කොට සෘජුකෝණාශාකාර වන ලෙස සකසා දෝෂය ඉවත් කෙරිණ.   


සියලු දෝෂ ඉවත් කිරීමෙන් පසු සුරාජ් සහ ශවනි යළි සමාද‌ාන වී නිවසේ නැවත පදිංචියට පැමිණි අතර ශවනි නැවත ජනප්‍රිය වී සාර්ථකත්වයට පත්ව සුරාජ් සමග සතුටින් ජීවත් වන්නීය.   

 

 

 

 


අමාලි අගස්පතිරණ   
වාස්තුවිද්‍යා ජ්‍යොතීර්වේදී   
ඉංජිනේරු සැලසුම් ශිල්පී   
0710605798