රංගනය ජීවිතය කරගත් දසුන්


මේ දවස්වල මාව මතකද නාට්‍යයේ වැඩත් එක්ක තමයි දිගටම ඉන්නෙ. ළඟදීම තවත් අලුත් නිර්මාණයක වැඩ පටන් ගන්නත් නියමිතයි. ඒත් එක්කම මාරියා ෆිල්ම් එක ළඟදීම රිලීස් වෙන්න තියෙනවා. ඒකේ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් දායක වෙන්නත් තියෙනවා. ඒ විදිහට තමයි මේ දිනවල මගේ වැඩ කටයුතු සිදුවෙන්නෙ.

දසුන් පතිරණ තුරුණු රංග ශිල්පියාගේ අද දවසේ කලා  කටයුතු ගැන සඳහන් කරන්නෙ ඒ විදිහටයි. රංගනය ජීවිතය කරගත් මේ දක්ෂයා රංගනයේදී ඕනෑම චරිත රංගනයකට දක්ෂ වග අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. කෙසේ වෙතත් ඔහු රංගනය වෘත්තීය කර නොගත්තේ නම්, කුමක් කරාවිද යන්න ඇසූ විට ඔහු කියා සිටියේ,

එහෙම නම් මම බීච් එකක් අයිනේ රෙස්ටෝරන්ට් එකක් කරගෙන සිටීවි. යනුවෙනි. රංගන වෘත්තීය ගැන තෘප්තිමත්ද? යන්න ඇසූ විට ඔහු ඊට උත්තර දුන්නේ මේ විදිහටයි.

ඇත්තටම මම තෘප්තිමත්, ලංකාව වගේ රටක ඉඳලා මේ වගේ ගේමක් ගහගෙන, මේ වගේ වැඩ කරගෙන ඉන්න පුළුවන් වීම ගැන මම සතුටු වෙනවා. අසතුටු වෙන්න දේ තිබෙන බවත් ඇත්ත. ඒක ලංකාවේ හැමෝටම පොදු දෙයක්නෙ. ඒක නිසා මගෙන් ඇහුවොත්, මම කියන්නෙ මේක මගේ ජීවිතය, මේක මගේ රස්සාව ඒ නිසා මට අවුලක් නැහැ කියලයි. මම තවමත් ආදරය කරන්නේ මේ රස්සාවට.

ප්‍ර දසුන්ට ‘මාව මතක’ද නාට්‍යය දැනෙන්නෙ කොහොමද?

මාව මතකද නාට්‍යය ලව් ස්ටෝරි එකක් වගේම ඉමෝෂනල් තාත්තා කෙනෙක්ගේ, ආදරවන්තයෙක්ගෙ, හොඳම යාළුවෙකුගේ චරිතයක් තියෙනවා. තාත්තා කෙනෙකුගේ චරිතයක් කරන  දෙවැනි අවස්ථාව. මීට ඉස්සෙල්ලා මම තාත්තාගේ චරිතයක් කළේ, ලලිත් රත්නායක අය්යා නිර්මාණය කළ තාත්තා නාට්‍යයේ, ඒ නාට්‍යයේ රඟපාද්දී මම ළමයෙක් හදන්න හිතලවත් තිබුණෙ  නැහැ. හැබැයි මේ නාට්‍යයේ රඟපාද්දී මම සැබෑ ජිවිතයේ තාත්තා කෙනෙක්. ඒ නිසා දරුවන්ගේ හැඟීම් එක්ක මට මේ නාට්‍යයේ රඟපාන්න පුළුවන් වුණා. මම ළමයි දෙන්නෙක්ගෙ තාත්තා කෙනෙක්. මට දැනිච්ච ඒ ෆීලින් එක මේ චරිතයට මුසු කරන්න පුළුවන් වුණා.  තාත්තා කෙනෙකුගේ භූමිකාවත් හොඳට කරන වග මට දැනෙනවා. ආදරවන්තයාගේ  භූමිකාවත් හොඳටම තියෙනවා. මම ආස කතා තේමාවක්, මම ආස විදිහක්. මෙහි රඟපාන පිරිස මට බොහොම සමීපයි. ඒ වගේම දිනේෂ් හග්ගල්ල සහාය අධ්‍යක්ෂවරයකු ලෙස සෑහෙන කාලයක් අපි එක්ක වැඩ කරලා හොඳ අවබෝධයක් තිබුණෙ. එයාගේ පළවැනි වැඩේ ලෙස මේ නාට්‍යය මේ විදිහට පත්තු වීම අපට සතුටක්.

ප්‍ර ගෙදර ජීවිතයේදී තාත්තා කෙනෙක් විදිහට දසුන් මොන වගේ කෙනෙක්ද?

මම හිතන්නෙ, මම හොඳ ස්වාමීපුරුෂයකු නොවුණට, හොඳ  තාත්තා කෙනෙක්. මම මාරම ස්වාමි පුරුෂයකු කියලා කියන්න බැහැ. මම ගෙදර එන වෙලාව මම වත් දන්නෙ නැහැ. මේ කලා කටයුතු එක්ක අපි කරන්නෙ උදේ අටට ගිහින් හවස පහට එන ජොබ් එකක් නෙවෙයිනෙ. ඒ කොහොම වුණත් බිරිඳගෙන් ලැබෙන සහයෝගය නොවන්නට මේ විදිහට නිදහසේ රංඟනය කරගෙන යන්න පුළුවන් වෙලා තියෙනවා. මම කැමතිම ජීවිතේ මැරෙනකම්ම ඇය එක්ක ජීවත් වෙන්නයි. මම ඇයට ඇත්තටම හරිම ආදරෙයි. ඇය මට දුන්න සහයෝගය හරිම ඉහළයි.

සඳුන් ගමගේ