යළි ඉපදී හෙළිකළ පෙරභවයේ ලෙඩරෝග


පෙර භවයේ ප්‍රබල සාක්කි

 

මිනිස් සිරුරේ ඇතැම් ලෙඩ රෝග ඇතිවීමට හේතුව සහ රෝග නිධාන සොයා ගැනීමට වෛද්‍ය අංශ මගින් විවිධ ​ෙ​වෙද්‍ය පරීක්‍ෂණ සිදු කරනු ලැබේ. එහෙත් ඇතැම් ලෙඩ රෝග පිළිබඳව නිශ්චිත තීරණ ඉදිරිපත් කිරීමට වෛද්‍යවරුන්ට අපහසු වන අවස්ථා ද ඇත. ‘‘දොස්තර මහත්තයටත් ලෙඩේ සොයාගන්න බැරිවුණා’’ යැයි රෝගීන්ගෙන් ඇතැම් විට අසන්නට ලැබේ. කුඩා දරුවන් තුළින් උපතින් ඇතිවන ඇතැම් ලෙඩ රෝග ද මේ අතර ප්‍රධාන තැනක් ගනී.  

පෙරභවය හෙළි කළ දරුවන් රැසකගෙන් හෙළි වූ පුනර්භව සිදුවීම් අතර උපතින් ඇති වූ ඇතැම් රෝග තත්ත්වයන් පෙරභවයට ද සම්බන්ධ බවට සාධක ලැබී තිබේ. පෙරභවයේ පැවති එවැනි ලෙඩ රෝග අතර හදවත් රෝග (Heart Disease) වකුගඩු ආබාධ (Kidney Disease) සිරුර ඉදිමීම (Swollen body) හිසරදය (Headaches) රුධිර වමනය (Blood vomiting) සහ සෙම්ගෙඩි (Tonsils) වැනි රෝග පෙර භවය හෙළිකළ දරුවන්ට උපතින් ඇති වූ රෝගාබාධ ලෙස පර්යේෂණවල දී අනාවරණය වී තිබේ.  


දේශීය මෙන්ම විදේශීය පර්යේෂණ අතරද එවැනි සිදුවීම් අනාවරණය වේ. ශ්‍රී ලංකාවේ පෙරභවය හෙළිකළ දරුවකු මගින් එවැනි රෝග තත්ත්වයක් මුල් වරට හෙළි වූයේ පන්නල ප්‍රදේශයේදී උපත ලද දැරියක මගිනි.  


එම දැරියට වැළදී තිබූ රෝගය වූයේ සෙම්ගෙඩි ඇති වීමය. ඇගෙන් එම රෝගී තත්ත්වය මතුවන විට එම දැරිය දෙහැවරිදි වියේ පසුවූවාය. ඉතා අඩු වයසක දී එවැනි රෝගී තත්ත්වයක් ඇතිවීම ගැන ඇගේ දෙමාපියෝ දැඩි කම්පාවට ද පත්ව සිටියහ. එම දැරියට නිතර නිතර සෙම්ගෙඩි ඇතිවීම නිසා ඇය රෝහල් ගත කිරීමට ද දෙමාපියන්ට සිදුවිය. වයස අවුරුදු තුනක් පමණ වන විට ඇයට එම රෝගී තත්ත්වය උත්සන්න වන්නට විය. මේ අතර ඇය පෙරභවය පිළිබඳව තොරතුරු අනාවරණය කළාය.  


පෙර භවයේදී ඇය තරුණියක ලෙස ජීවත්ව සිටි බැව් ඇගේ මතකයේ තිබිණි. පෙරභවයේ දෙමාපියන් පිළිබඳවත් නිවස පිහිටි ප්‍රදේශයත් ඇය නිවැරදිව අනාවරණය කළාය. ඇගේ තොරතුරු අනුව පෙරභවයේ දෙමාපියන් සහ ඥාතීන් සොයා ගැනීමටද ඇයට අවස්ථාව ලැබිණි.  


එහිදී අනාවරණය වූ අතිශය වැදගත් කරුණ වූයේ ඇගේ පෙරභවය ලෙස සනාථවූ තරුණිය මියයන තුරුම දරුණු ලෙස සෙම්ගෙඩි රෝගයෙන් පීඩා විදි තරුණියක වීමය. සෙම්ගෙඩි රෝගය නිසා ඇයට නිතර නිතර වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම ද සිදුව තිබිණි.   


පෙරභවයේදී ඇගේ මරණය සිදුවී තිබුණේ සර්පයකු දෂ්ඨ කිරීමෙනි. ඒ වන විටත් ඇය සෙම්ගෙඩි රෝගයෙන් පීඩා විඳිමින් සිටි බැව් ඒ පිළිබඳ සිදු කළ පර්යේෂණයේදී පෙරභවයේ දෙමාපියෝ පැවසූහ. මේ අයුරින් පෙර භවයේදී සෙම්ගෙඩි රෝගයෙන් පීඩා විඳිමින් සිටි එම තරුණියගේ ජීවන තොරතුරු හෙළි කළ දැරියටද ඉතා කුඩා වියේ සිට සෙම්ගෙඩි රෝගයෙන් පීඩා විඳිමට සිදුවී තිබූ බැව් මෙම පුනර්භව පර්යේෂණයේ දී සනාථ විය.  


මේ හා සමානවම පෙර භවයේ තිබූ රෝගී තත්ත්වය යළි උපන් දරුවාට ද උපතින්ම ඇතිවීමේ සිදුවීමක් හෙළිවූයේ බළපිටිය ප්‍රදේශයෙනි. සිදත් නම් එම දරුවා සති කීපයක් ගතවන විට ඔහු කිරි බීමෙන් පසු වමනය කිරීම සාමාන්‍ය සිරිත් ලෙස සිදුවන්නේ යැයි දෙමාපියෝ සිතුහ. එහෙත් මෙම දරුවාගේ වමනය කිරීම අති විශේෂ සිදුවීමක් හෙළිකළේය. එනම් ඔහු වමනය කරන විටදී ඒ සමගම රුධිරය ද වමනය කිරීමය. දෙමාපියෝ එම දරුවා වෛද්‍යවරුන් වෙත ​රැගෙන ගියහ. එහෙත් එයට හේතුවක් නිශ්චිතව ප්‍රකාශ කිරීම අපහසු විය. දරුවා බහ තෝරණ වියට පත්වන තුරුත් රුධිරය වමනය කිරීමට සතියකට වරක් හෝ දෙසතියකට වරක් හෝ සිදුවිය. මේ අතර ඔහු සිය පෙරභවය හෙළි කළේය.   


පෙරභවයේදී ඔහු වෙළෙඳ ව්‍යාපාරිකයකු බවත් නිවසට යෑම සඳහා වැටක් සහිත මාර්ගයකින් ගමන් කළ බවත් එම දරුවා ප්‍රකාශ කළේය. ඔහුට එක් දියණියක සිටි බවද හෙළි කළ එම දරුවා බිරිය සහ දියණිය නිවසේ සිටි බවද අනාවරණය කළේය. අනතුරුව ඔහු රෝහලකට ඇතුළත්වීමෙන් පසු මරණය සිදුවූ බැව්ද මෙම දරුවාට මතක තිබිණි. ඔහු හෙළි කළ තොරතුරු අනුව පෙර නිවස සොයා යෑමට එද‌ා මෙම දරුවාට හැකිවිය.  


එම දරුවා පිළිබඳව සිදු කළ පුනර්භව පර්යේෂණයේදී දරුවාගේ මව අප සමග ප්‍රකාශ කළේ ඔහු ඉපදී මාසයක් පමණ වයසේ සිට කිරිබීමෙන් පසුව රුධිරය වමනය කිරීමත් තම දරුවා තුළින් දක්නට ලැබුණු බවය. එය බරපතළ රෝගී තත්ත්වයක් ලෙස සිතා වෛද්‍යවරයකු වෙත ​රැගෙන ගිය නමුත් දරුවා පරීක්‍ෂා කළ වෛද්‍යවරයාට එයට හේතුව නිශ්චිතව ප්‍රකාශ කිරීමට නොහැකි වූ බවද ඇය පැවසුවාය.  


ඔහු හෙළිකළ පෙරභවයේ නිවස සොයා යෑමෙන් පසු ඔහුගේ ඥාතීන් හමුවීමට අපටද අවස්ථාව සැලසිණ. මෙම පුනර්භව සාධකයේ පෙරභවයට සම්බන්ධ මියගිය අයගේ බිරිය හමුවීමට අපට අවස්ථාව ලැබිණි. එහිදී ඇයට ඉදිරිපත් කළ ප්‍රශ්නත් ඇය දුන් පිළිතුරුත් මෙසේය.  


ප්‍රශ්නය- ඔබේ සැමියාට ඇති වූ රෝගී තත්ත්වය කුමක්ද?  


පිළිතුර- පපුවේ අමාරුවක්. පපුව රිදෙන බැව් කීවා.

  
ප්‍රශ්නය- සිදු කළ ප්‍රතිකාර මොනවාද? 

 
පිළිතුර- රෝහලට ඇතුළත් කළා   


ප්‍රශ්නය- කුමන රෝහලකටද?  


පිළිතුර- පෞද්ගලික රෝහලකට  


ප්‍රශ්නය- එහිදී සිදුවුණේ කුමක්ද?  


පිළිතුර- රෝහලට ඇතුළු කළ දිනට පසුදින ඔහු මිය ගියා.  


ප්‍රශ්නය- ඔහුට තිබූ රෝගී තත්ත්වය කුමක්ද?

  
පිළිතුර- ලේ වමනය කිරීමක් සිදුවුණා.  


ප්‍රශ්නය- අවසානයේ ඇති වූ රෝගී තත්ත්වය කුමක්ද?  


පිළිතුර- හදවත් රෝගයක් සමග පෙනහලු දුර්වල වීමක් බව කීවා.  


පෙරභවය හෙළිකළ දරුවා ඉපදී සති දෙකක් ගතවීමත් සමග රුධිරය වමනය කිරීම ආරම්භ වී තිබිණි. මෙම දරුවා පිළිබඳ මහාචාර්ය ස්ටිවන්සන් විසින් කරන ලද පර්යේෂණය ඔහුගේ පර්යේෂණ ග්‍රන්ථයකට ද ඇතුළත් කර තිබේ. (Vomited blood one or twice a week at the same time complained of chest pain) යනුවෙන් එම දරුවාගේ රුධිරය වමනය කිරීමේ සිදුවීම සඳහන් කර ඇත.  


විදේශවලින් ලැබී ඇති එවැනි පුනර්භව සාධක බුරුමය සහ තුර්කියෙන්ද හමුවී තිබේ. (Subjects Having an illness corresponding to an illness in previous personality) යටතේ සිදුකළ පර්යේෂණ මගින් බුරුමයේ මන්ග්ටින් නම් දරුවෙක් ළදරු වියේ සිට දරුණු කැස්සක රෝගී බවකින් පීඩා විදි බැව් හෙළිවිය. ඔහු පරීක්‍ෂා කළ වෛද්‍යවරුන් ප්‍රකාශ කළේ උපතින්ම එම දරුවාට පෙනහලු සම්බන්ධ ක්‍ෂයරෝගී තත්ත්වයක් (Pulmonary tuberculosis) පවතින බවකි.   

 

පෙරභවයේදී ඇගේ මරණය සිදුවී තිබුණේ සර්පයකු දෂ්ඨ කිරීමෙනි. ඒ වන විටත් ඇය සෙම්ගෙඩි රෝගයෙන් පීඩා විඳිමින් සිටි බැව් ඒ පිළිබඳ සිදු කළ පර්යේෂණයේදී පෙරභවයේ දෙමාපියෝ පැවසූහ. මේ අයුරින් පෙර භවයේදී සෙම්ගෙඩි රෝගයෙන් පීඩා විඳිමින් සිටි එම තරුණියගේ ජීවන තොරතුරු හෙළි කළ දැරියටද ඉතා කුඩා වියේ සිට සෙම්ගෙඩි රෝගයෙන් පීඩා විඳිමට සිදුවී තිබූ බැව් මෙම පුනර්භව පර්යේෂණයේ දී සනාථ විය.  

 


පසුව එ් සඳහා සිදුකළ එක්ස් කිරණ පරීක්ෂණයෙන්ද ඒ බැව් තහවුරු කළේය. එම දරුවා විසින් හෙළි කළ පෙරභවයේ තැනැත්තා මරණයට පත්වීමට හේතුවූයේද පෙනහලු සම්බන්ධ ක්‍ෂය රෝගී තත්ත්වයක් (Pulmonary tuberculosis) නිසා බැව් දක්නට ලැබිණි. එම පුනර්භව පර්යේෂණයද පෙරභවයේ ලෙඩ රෝග යළි උපන් දරුවන් තුළින් දක්නට ලැබුණු බවට ප්‍රබල සාක්කියක් ලෙස පිළිගැනිණි.  


තුර්කියේ පෙරභවය හෙළි කළ දරුවකු මගින්ද එවැනි රෝගි තත්ත්වයක් අනාවරණය විය. ඩිල්කි නම් වූ එම දරුවා උපත ලබන විට ඔහුගේ පාදවල දක්නට ලැබුණේ අස්වභාවික පිහිටීමකි. එනම් උපතින්ම ඇගේ දෙපාවල ඉදිමීමක් සිදුවී තිබිණි. එම දරුවා බහතෝරණ වියට පත්වන විටත් දෙපාවල ඉදිමීම පැහැදිලිව දැකගත හැකිවිය.   


එම දැරිය හෙළි කළ පෙරභවය වූයේ දරුවෙකු ප්‍රසූත කිරීමේදී මියගිය කාන්තාවක් පිළිබඳවය. ඒ පිළිබඳව සිදු කළ පුනර්භව පර්යේෂණයේදී සනාථ වූයේ මියගිය කාන්තාව මරණයට පත් වන විට දෙපා මුළුමනින්ම ඉදිමී (Swollen legs) තිබූ බවය.  


පෙරභවයේ දෙපා ඉදිමී තිබූ ලෙසම යළි උපන් දරුවාගේ ද දක්නට ලැබීම එහි තිබූ විශේෂත්වය විය.  


තුර්කියෙන් අනාවරණය වූ තවත් පෙරභවය හෙළිකළ දැරියක් මගින් රෝගී තත්ත්වයක් දක්නට ලැබිණ. එම දැරිය දෙපයින් නැගිට ඇවිදීම ආරම්භ කරන විටදී ඉණට අත තබාගෙන ඇවිදින අයුරු දෙමාපියන්ට දක්නට ලැබිණ. සෙල්මා නම් ඇය උපත ලැබුවේ 1959 වසරේදීය. අවුරුදු තුනක් පමණ වන විට ඇය ඇවිද ගියේ මහත් වේදනාවක් පෙන්වමිනි. සිය දියණියගේ මෙම වේදනාකාරී තත්ත්වය දෙමාපියන්ට බලවත් ගැටලුවක් විය.  


ඇයට වයස අවුරුදු දෙකහමාරක් පමණ විය. දිනක් මව සමග නිවසින් පිටව යන අවස්ථාවක දී අැයට වෙනත් මවක් සිටින බවත් ඇය හමුවීමට යා යුතු බවත් කියා සිටියාය. එහෙත් මව ඒ පිළිබඳව උනන්දුවක් නොදැක්වීය. ඇය සෙල්මා නිවසට රැගෙන ගියාය. එහෙත් එදින රාත්‍රියේ සෙල්මා මුළු රැයම පහන් කළේ දැඩි ලෙස හඩමිනි. ඇගේ එකම ඉල්ලීම වූයේ ඔවුන් පදිංචිව සිටින තට්ටු නිවස පිහිටි මාර්ගයේ ගොස් ඇගේ මව සොයාගත හැකි බවය.


පසුදින ඇගේ මිත්තනිය සමග ඇය පවසන මාර්ගයට යැවීමට මව කටයුතු කළාය. ඒ අනුව ගමන්ගත් ඇය පෙරභවයේ මව සොයා ගනු ලැබීය. සෙල්මා පැවසූ තොරතුරු අනුව පෙරභවයේ මවට දක්නට ලැබුණේ වකුගඩු රෝගයෙන් මියගිය තම දියණියගේ ජීවිත තොරතුරු ඇය හෙළි කරන බවය. ඇගේ දියණිය වූ සෙහෙරා මරණයට පත් වී ඇත්තේ වයස අවුරුදු 18දී විය.   


එහෙත් මියගිය එම දැරිය සිව්වන වියේ සිට සිරුර ඉදිමෙන රෝගී තත්ත්වයකින් පීඩා විඳිනු ලැබුවාය. ඒ සඳහා ඇයට වරින් වර ප්‍රතිකාර කැරිණි. එහෙත් ඇය තරුණවියට පත්වන විට රෝහල් ගත වී ප්‍රතිකාර ගැනීමට සිදුවිය. ඇය පරීක්‍ෂා කළ වෛද්‍යවරුන් ඇයට වැළදී ඇති රෝගය වකුගඩු ඉදිමීම (Nephritis) ලෙස හඳුනා ගැනිණි.  


ප්‍රතිකාර සඳහා රෝහලට නිතර ගිය ඇය අටවන වියට පත් වීමත් සමඟ රෝගී තත්ත්වය උත්සන්න විය. උදර ප්‍රදේශය තදබල වේදනාවක් පවතින බැව් ඇය ප්‍රකාශ කළාය. රෝහලේ සිට නිවසට පැමිණි ඇය දින කීපයක් ඇතුළත මරණයට පත්වූවාය.   


මෙම පුනර්භව සාධකයේදී සනාථ වූයේ පෙරභවය හෙළිකළ දැරියද හත්වන වියට පත්වීමේදී වකුගඩු රෝගයෙන් පීඩා විඳීමට සිදුවීමය. මහාචාර්ය ස්ටීවන්සන් විසින් මෙම දැරිය පිළිබඳව සිදු කළ පුනර්භව පර්යේෂණය (Internal Diseases Related to previous Lives) යනුවෙන් පර්යේෂණ වාර්තාවකටද ඇතුළත් කර ඇත.   


හිසරදය (Headaches) මගින් පෙරභවය හෙළි කළ දරුවෙක්ද මීට වසර කීපයකට උඩදී ඇල්පිටිය ප්‍රදේශයේ දී උපත ලැබීය. එම දරුවා වයස අවුරුදු හතරේ පමණ සිට හිස පැත්තකින් තද බල වේදනාවක් දැනෙන බැව් ප්‍රකාශ කළේය. දරුවාගේ දෙමාපියන් හිස පරීක්‍ෂා කිරීමේ දී දක්නට ලැබුණේ ඔහුගේ හිසේ කුඩා නෙරීමක් පිහිටා ඇති බවය. ඔහුගේ හිසරදයට වෛද්‍ය ප්‍රතිකාර සිදු කළ ද වරින් වර නිතර නිතර හිසරදය ඇතිවන බැව් දරුවා ප්‍රකාශ කළේය.  


වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහු සිය පෙරභව තොරතුරු අනාවරණය කළේය. ඔහු ප්‍රකාශ කළේ පෙරභවයේදී මැණික් ගලක් විකිණීම සඳහා බස්රථයකින් ගමන් කරමින් සිටිය දී වැටීමක් සිදුවූ බවකි. එහිදී හිස පිටුපස තුවාල වූ බැව්ද එදා තුවාල වූ ස්ථානය හිසේ නෙරීම ඇති ස්ථානය ලෙසත් ඔහු පෙන්වා දුන්නේය.   


මෙම දරුවා පිළිබඳව පරීක්‍ෂණයක් සඳහා මහාචාර්ය ස්ටීවන්සන්ද ශ්‍රී ලංකාවට පැමිණ එම දරුවාගේ හිස පරීක්‍ෂා කළේය. පෙර භවයේ ඇති වූ රෝගී තත්ත්වය යළි උපතක දී ඇති වූ බවට මෙම පුනර්භව සාධකය ද පර්යේෂණ අතරට එක්විය.  


හිසරදය ඇතිවීමෙන් පසු පෙරභවය හෙළි කළ තවත් දරුවෙකු පිළිබඳ මහාචාර්ය ස්ටීවන්සන්ගේ පර්යේෂණ අතරට එක්වී ඇත. එම දරුවා උපත ලබා ඇත්තේ තුර්කියේ දී 1952 වසරේදීය. සෙලාල් නම් වූ එම දරුවා උපතින් නළල ප්‍රදේශය ඉදිමීමක් තිබෙන අයුරු දක්නට ලැබිණි. බහතෝරණ වියට පත් වූ ඔහු සිය පෙරභව තොරතුරු අනාවරණය කළේය. ඔහු පැවසුවේ තදින් හිසරදයක් පවතින බැවින්. පෙරභවයේ සිටියදී නැවක සේවය කරමින් සිටි බවකි. හිසරදය ඇතිවීමත් සමග ඔහු පෙරභව තොරතුරු වරින් වර අනාවරණය කළේය.   


ඔහු පැවසුවේ පෙරභවයේදී නැවක සේවය කරමින් සිටිය දී මරණට පත් වූ බවත් මෙම දරුවා හෙළිකළ පෙරභව තොරතුරු විමර්ශනය කිරීමෙන් පසුව (Internal Diseases) යටතේම පර්යේෂණ වාර්තාවලට ඇතුළත් කර තිබේ.  


එම දරුවා හෙළිකළ පෙරභවයේ තැනැත්තා නැවක බඩු පැටවීම සහ බෑම සිදු කළ කම්කරුවකු විය. දිනක් ඔහු නිද‌ාසිටි අවස්ථාවකදී බඩු බෑමේ යෙදී සිටි අයෙකු විසින් පහතට බාන ලද බැරලයක් හිසමතට වැටීම නිසා ඔහුගේ මරණය සිදුවී තිබිණි. ඔහුගේ හිසට දරුණු ලෙස තුවාල සිදු වී තිබූ අතර එක් කනකින් රුධිරය ගැලීමක් ද සිදුවීය.  


පෙරභවයේ මරණයට තුඩුදුන් අනතුරත් පෙරභවය හෙළිකළ දරුවාගේ හිසරදයත් අතර පැවති සබඳතාව මෙම පුනර්භව සාධකයේ ද ප්‍රබල සාක්ෂියක් විය.  


මෙම පුනර්භව සිදුවීම පිළිබඳව දිගින් දිගටම පර්යේෂණ පැවැත්වූ මහාචාර්ය ස්ටීවන්සන්ට එම දරුවා තරුණවියේදී හමුවන විටත් ඔහුගේ හිසරදය වරින් වර සිදුවෙමින් තිබීම ද විශේෂත්වයකි.  
(He Still suffered greatly from headaches and on the day of our meeting him he had spent part of the day in bed suffering from severe headache) යනුවෙන් ඔහුගේ පර්යේෂණ වාර්තාවේද ඒ බැව් සඳහන් කර තිබේ.     

 

 

 

 

 

 

 


තිස්ස ජයවර්ධන