විවාහ පරික්ෂාව යනු ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ මානසික හා කායික ගැළපීම යයි වයෝවෘද්ධ ජ්‍යොතිර්වේදියකුගේ ප්‍රකට කියමනකි.
මෙහිදී මානසික ගැළපීමට මුල්වන්නේ සඳු ග්‍රහයාය. ඇතැම් අවස්ථාවල ලග්නාධිපති ග්‍රහයාගේ බලයට නෑකම් කියන්නේ ද මෙම සඳු ග්‍රහයාය. නැතහොත් ලග්නාධිපතිගේ බලයට ද වඩා වැදගත් බවක් ද පෙන්නුම් කෙරේ.
වෘෂභයේදී සඳු ග්‍රහයා උච්ච බලයෙනි. කටකයේදී ස්වක්ෂේත්‍ර වේ. මෙසේ සඳු ග්‍රහයා ස්වක්ෂේත්‍ර වන්නේ සඳුගේම නිවසක අධිපතීත්වය දරන නිසාය. එහෙයින් සඳු ග්‍රහයා ස්වක්ෂේත්‍ර හෝ මිත්‍ර තත්ත්වයක සිටින කෙනකු සමග ඇසුරු කිරීම අපහසු නැත. තවත් අයෙකුගේ හැකියාව, අපහසුව තේරුම් ගැනීම ඔහුට හෝ ඇයට හැකියාවක් ඇත. සඳු උච්ච බලයෙන් පිහිටා තිබෙන කෙනෙකු සමග වැඩකටයුතු කිරීම අපහසු යයි ඇතැමෙක් පවසති. සඳු ග්‍රහයා උච්ච වන්නේ වෘෂභ රාශියේදීය. වෘෂභය තිර රාශියක් වන බැවින්, එම පුද්ගලයාගේ සිතුවිලි/ තීරණ වෙනස් කිරීමට කැමැත්තක් නොදක්වයි. එවැනි අවස්ථාවක ඔහු කටයුතු කරන්නේ ආත්මාර්ථකාමී ස්වරූපයෙනි.
මට පුළුවන් ඒ වැඩේ කරන්න, ඔබටත් ඒ විදියටම කරන්න අපහසුවක් වෙන්න විදියක් නැහැ. ඒ නිසා මම කියන වෙලාවටම ඒ වැඩේ නිවැරදිව කරදීමට ඔබ බැඳී සිටිනවා යයි එක් අයකු අනෙකාට විධානයක් කරනු අප කොතෙකුත් අසා ඇත.
සඳු ග්‍රහයා කේන්දරයේ දුබල (නීච) තත්ත්වයේ සිටී නම් ඔහු හෝ ඇයගේ වැඩකටයුතුවල ක්‍රමානුකූල බවක් දක්නට නැත. වෙලාවක් කලාවක් ද නැත. පමා වූයේ ඇයිදැයි විමසූ විට කෝපයට පත්වන්නේ ද ඒ නිසාය.
ලග්නය කටකය නම් එහි අධිපතියා ද වන සඳු ග්‍රහයා කේන්දරයේ දුබල (නීච) තත්ත්වයේ දක්නට ලැබේ නම් ඉහත කී දුර්වලතාවයේ සීමාවක් නැත. කාර්යාලයේදී විවිධ ප්‍රශ්නවලින් හෙම්බත් වූ සහකරු තම නිවසට පා තමන විට මුහුණදීමට සිදුවන්නේ තවත් අමිහිරි වාතාවරණයකටය.
‘අද හරි මහන්සියි. ඒ මදිවාට දුම්රියේ බස්රියේ ගමනට පැය ගණනක් රස්තියාදු වෙන්න සිදුවුණා. මම ඇඳුම් මාරු කරගෙන එන්නම්...ඔයා මට තේ එකක් හදලා තියන්න....’ සැමියා දුබල හඬින් පවසයි. බිරිඳගේ කේන්දරයේ සඳු ග්‍රහයා දුබල නම් නැතහොත් පාපී ග්‍රහයන් දෙදෙනෙකුට මැදිව (පාප කර්නරී යෝගයක) පිහිටා තිබේ නම් ලැබෙන පිළිතුර අමිහිරි තත්ත්වයේ විය හැකිය.
‘මම මේ දවස තිස්සෙම ගෙදර වැඩ කරලා මහන්සිය නිවාගන්න පොඩ්ඩක් ඉඳගත්ත විතරයි. ඔයාටත් තියෙන්නෙ අත් දෙකක්, ඉතින් තේ එකක් හදාගන්න බැරි මොකද?’
මෙම මත ගැටුම් තත්ත්වය නිසා තේ පානය එපාවෙයි. කලකිරීම් තත්ත්වයක් මතුවී දෙදෙනාම මතගැටුම්වලට යොමු වෙති. රවි ග්‍රහයා හත් වැන්නේ පිහිටි කේන්දර හිමිකාරියගේ වැඩකටයුතු ද බොෙහ් විට ඊට සමාන වේ. එය උසාවියේ නීතිය ද ඉක්මවා යන පිළිවෙතක් විය හැකිය.
විවාහයකට කේන්දර ගැලපීමේදී අපගේ හිතවතෙකුගේ තවත් උපක්‍රමයක් මෙහිදී ඔබට පෙන්වා දෙනු කැමැත්තෙමි. එක් කේන්දරයක සඳහන් ලග්නයෙන් සත් වැනි ලග්නය අනෙකාට අයත් නම් ස්ත්‍රී පුරුෂ දෙදෙනා ඔවුනොවුන්ට ප්‍රියමනාපවේ. ආකර්ෂණය වැඩිවීම ඊට හේතුව ලෙස සැලකේ. එසේම එක් ලග්නයකින් පස්වැන්න හෝ නවවැන්නට අයත් ලග්නයක් හෝ දෙදෙනාම එකම ලග්නයක පිහිටීම යහපත් ලෙස සැලකේ. නැතහොත් ලග්නයෙන් සිව්වැන්න හෝ දස වැන්න හිමි ලග්නයක සම්බන්ධතාවක් පැවතීමද දෙදෙනාගේ සිතුම් පැතුම් සමාන වීමට හේතු වේ.
විශ්ව කේන්දරයේ (මේෂ) සතර වැන්න (කටක) මව නියෝජනය කරන රාශිය වේ. එසේම හදවතට අයත් රාශිය වේ. භාග්‍ය ස්ථානය පුණ්‍ය ස්ථානය හෙවත් නව වැන්න අධිපතියා වන බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහයාය. ඉහත කී ග්‍රහයන් දෙදෙනාගේ සම්බන්ධතාවක් තිබේ නම් නැතහොත් නව වැන්න අධිපති ගුරු ග්‍රහයා සිව්වැන්නේ බලවත් (උච්ච) වීමද කෙනෙකුගේ යහපත් ගතිපැවතුම් පිහිටීමට හේතුවේ.
යම්කිසි කේන්දරයක ගුරු ග්‍රහයා සිව් වැන්නේ දක්නට ලැබේ නම් එවැන්නෙකුට වගා කටයුතු වලින් පල ලබාගත හැකි වේ. එසේම එවැනි පුද්ගලයකුට ආහාරපාන වලින් කිසි දිනක හිඟ පාඩුවක් සිදුනොවන බව අපගේ වැඩිහිටියෝ එකල දැන සිටියහ. ඒ නිසා එවැනි යහපත් සිතුවිලි තිබෙන පුද්ගලයකු කැඳවා ඔහු ලවා නිවසක හෝ උත්සවයක ආරම්භය සිදු කිරීමට යොමුවීමද විශේෂ ලක්ෂණයකි.
සත්වැන්නේ රාහු ග්‍රහයා පිහිටි ඇතැම් කේන්දරයක, සත් වැන්න අධිපති ග්‍රහයා දුබල නම් ගෘහ ජීවිතය පවත්වා ගෙන යාම අසීරු වේ. දෙවැනි කේන්දරයේ සත් වැන්න අධිපති ග්‍රහයා බලවත් වීම හෝ බලවත් ගුරු ග්‍රහයාගෙන් විවාහ ස්ථානයට (සත් වැන්නට) සුබ දැක්මක් තිබේ නම් තරමක හෝ රැකවරණයක් ලැබේ.
සත් වැන්න හා මාරක ස්ථානයක් වන අටවැන්න අධිපතියන් දෙදෙනා යෝගවී, කේන්දරයේ කුමන හෝ භාවයක දක්නට ලැබේ නම් යුවතිපති දෙදෙනාට වැඩිකලක් එක හැළියේ බත් කෑමට නොහැකිය. නව දිවියට පත්ව ඇත්තේ ජ්‍යොතිර්වේදියකු ලවා කේන්දර පරික්ෂා කර ගැනීමෙන් පසුව බව ඔවුන් පවසන නමුදු ගෘහ ජීවිතය දෙදරා යාමට හේතු වූයේ ඉහත සඳහන් දුර්වල ග්‍රහ පිහිටීම කෙරෙහි අවධානය යොමු නොකිරීම නිසාය. පොරොන්දම් වැඩි ප්‍රමාණයක් සුබ තත්ත්වයේ දක්නට ලැබුණ ද ඉහත කී අවාසනාවට වැට බැඳීමට පරිගණකයෙන් පොරොන්දම් බලන ජ්‍යොතිෂකරුවන්ට නොහැකිවීම පුදුමයක් නොවේ.
සත්වැන්න අධිපති ග්‍රහයා හය අට දොළහ දුෂ්ට රාශියක පිහිටීම හෝ විවාහ කාරක සිකුරු ග්‍රහයා පාප ග්‍රහයන්ට මැදිවීම හෝ පාප ග්‍රහයකුගේ නැකතක පිහිටා තිබීමද, අඹු සැමියන් අතර නිතර අඬදබර හට ගැනීමට හේතුවේ. කේන්දර ගැලපීමේදී පොරොන්දම් බැලීමට පළමු ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේම ජන්ම පත්වල ග්‍රහ පිහිටීම්වල තත්ත්වය වෙන් වෙන් වශයෙන් පරීක්ෂා කිරීමෙන් ඉහත කී දෝෂ හඳුනාගත හැකිය.
ඉහත දැක්වූයේ සහකරුගේ හෝ සහකාරියගේ ගති පැවතුම් හා ජීවිත රටාවන් පිළිබඳ කෙටි විස්තරයකි. විවාහයෙන් පසු කාන්තාවට තමන්ගේ මව සහ පියාට මෙන්ම සහකරුගේ මවට හා පියාට (නැන්දම්මා හා මාමණ්ඩියට) සැලකීමටත්, ඔවුන්ගේ අදහස්වලට ගරු කිරීමටත් සිදුවේ. ස්ත්‍රී කේන්දරයක හත් වැන්නෙන් සතර වැන්න (දස වැනි රාශිය) නියෝජනය කරන්නේ නැන්දම්මාය. සත්වැන්නෙන් දසවැන්න (ඇයගේ කේන්දරයේ සතරවැන්න) සහකරුගේ පියා (මාමණ්ඩිය) ගේ ගතිපැවතුම් පැහැදිලි කරන භාවය වේ. ඉහත කී රාශි දෙක, පාප ග්‍රහයන් නියෝජනය කරන්නේ නම් හෝ පාප ග්‍රහයන්ට මැදිවී තිබෙන්නේ නම් මහගෙදර වාසය නුවණට හුරු නැත. යුවතිපති යුවළ අලුත් ස්ථානයක පදිංචිවීමෙන් ගෘහ ජීවිතයේ ගැටුම් වළක්වා ගත හැකිය.
ඉහත කී භාව අධිපතියන් මෙන්ම නවාංශක කේන්දරයේ අදාළ අංශ සියුම්ව පරික්ෂා කර තීරණයකට එළැඹීම වඩාත් යෝග්‍ය වේ. නව යුවතිපති දෙපළ අධ්‍යාපන තත්ත්වයෙන් ඉහළ මට්ටමක සිටිනු ලැබුවද බුද්ධිය මෙහෙයවා සාමකාමී ඉදිරි ගමනක් සකස් කරගැනීම පිණිස ඔවුනට උපදෙස්දීම සැබෑ ජ්‍යොතිර්වේදියකුගේ යුතුකම වේ.
ජ්‍යොතීර්වේදී
මිල්ටන් හේවාපතිරණ
330/සී/1/3,
සර්පන්ටයිම් මහල් නිවාස
කොළඹ 8