මෙම ලිපිය තුළ අමනුෂ්‍ය යන වචනයෙන් දැක්වෙන්නේ යක්ෂ, ප්‍රේත, භූත, පිශාච ආදී නම්වලින් හඳුන්වනු ලබන සත්ත්ව කොට්ඨාසයයි.
බුදු සමයට අනුව මේ සත්ත්වයින් අයිති වන්නේ ප්‍රේත අපායටය. අප සමගම සිටින එහෙත් අපට නොපෙනෙන අපාය මෙයයි. බුදුවරුනට විශේෂ වශයෙන් ද සිත දියුණු කළ වෙනත් අයටද මේ සතුන් දැක ගැනීමේ හැකියාව ඇත. එසේම ප්‍රේත අපාගත සමහර සතුනට තමාට අවශ්‍ය නම් සාමාන්‍ය මිනිසුනට පෙනෙන සේ සිටීමේ හැකියාව ඇත.
මේ අතරින් ඇතැම් ප්‍රේතයිනට මිනිසුන්ට යම් යම් බලපෑම් කිරීමේ හැකියාව තිබේ. පෙනී සිටීමට කතා කිරීමට විකාරරූපීව පෙනී සිටීමට අවශ්‍ය සද්ද බද්ද ඇති කිරීමට මරණයට පෙර සිටි රූපයෙන්ම පෙනී සිටීමට ඇතැම් අමනුෂ්‍යයිනට හැකිය. අවශ්‍ය පරිදි යම් යම් දුගඳ ඇති කිරීමට ද ප්‍රේතයෝ සමති. තිරිසන් සතුන් අතරින් ප්‍රේතයින් දැකීමේ විශේෂ හැකියාවක් බල්ලාට තිබේ. ඒ බල්ලාගේ ඇසේ නිර්මාණයට අනුව සිදුවන දෙයක් ද නැතිනම් ප්‍රේතයින් වුවමනාවෙන්ම බල්ලනට පෙනෙන ලෙස හැසිරෙන නිසාවෙන් සිදුවන දෙයක් දැයි කීමට නොදනිමි. ඉතා හොඳින් අවධාරණය කරගත යුතු කරුණ වන්නේ ප්‍රේතයිනට කිසිසේත්ම කිසිවෙකුගේ ශරීරයට රිංගා ගැනීමට නොහැකි බවයි. කව්රු කෙසේ කීවත් රිංගා ගැනීම් නම් හුදු ප්‍රබන්ධයක්ම පමණක් බවයි.
ප්‍රේතයින් යනු සැබවින්ම මිනිසුනට වඩා ඉතා පහත් සත්ත්ව විශේෂයකි. තදබල පාප කර්ම අකුසල් පලදීමට උපත ලබන යෝනියකි. මේ අමනුෂ්‍යයින්ට බියවීම මත අනවශ්‍ය කරදර මිනිසුන්ට අැතිවන බව පැහැදිලිවම පෙනෙන සත්‍යයකි.
ලෝකය පුරාම විශේෂයෙන් ග්‍රෝත්‍රික සමාජ තුළ යකුන් වැහෙන මිනිසුන්ද විවිධ ක්‍රම මගීන් යකුන් පන්නා දමන ඇදුරන්ද රූපවාහිනී මාධ්‍ය තුළින් හා අන්තර්ජාලය මගින් අද ඔබට දැක ගැනීමට හැකිය. යකා (අමුනුෂ්‍යයා) වැහීමත් ඔහු පන්නා දැමීමත් යන දෙකම මනෝ මූලික ක්‍රියාදාමයන් බව ඉතාමත්ම පැහැදිලිය.
අාවේශවීම, පරලවීම, මායම්වීම, ආරූඪවීම ආදී නම්වලින් හඳුන්වනු ලබන ක්‍රියාව මුළුමනින්ම පාහේ ස්වයං මෝහනය මත හෝ රඟපෑමක් ලෙස හෝ සිදුවන දෙයකි.
ඉතාමත්ම කලාතුරකින් තැනකදී බලගතු අමුනුෂ්‍යයකුගේ (කිසිසේත්ම දෙවියෙකුගේ නොවේ) භාහිර බලපෑමක්. (ශරීරයට රිංගාගැනීමක් නොවේ) මත යම් වෙව්ලීමක්ද දෙඩවීමක් නිවැරදි තොරතුරු කීමක් දක්නට ලැබේ. මෙය ඉතාමත්ම විරල සිදුවීමකි. ආරූඪයෙන් සාස්තර කියන්නන් ගොඩනැගී ඇත්තේ මෙම විරල සිදුවීම දඩමීමා කරගෙනය. මොවුන්ගෙන් 100ක්ම බොරු කාරයෝය.
එබැවින් මේ ලිපිය කියවන ඔබ මෙම ඡේදයේ මුල් වැකිය පමණක් සිතට ගෙන සාස්තර කාරයින් පසු පස යාම නොකළයුතු බව අවධාරණය කරයි. මොවුන්ගෙන් සාස්තර ඇසීමෙන් සිදුවන්නේ පවුල් කඩාකප්පල්වීම, සිතේ සතුට නැතිව යාම, වෛරක්කාරයන් ඇතිවීම හා ධනය සහ කාලය විනාශ වී යාමය.
අප සමාජයේ අමනුෂ්‍ය බලපෑම මත රෝගී වන අයගෙන් 99 ක්ම කාන්තාවන්ය. එයද වයස අවුරුදු 15-50 අතර වීම විශේෂ වේ. මේ තත්ත්වය මුළුමනින්ම ගොඩනැගී ඇත්තේ කාන්තාවන්ගේ මාසික ඔසප් චක්‍රය නිසා අැය අපිරිසිදුවීමත් රුධිරයට අමනුෂ්‍යයින් ආශක්ත වන බව ඇදහීමත් යන කරුණු මතය. මෙය කල්පකාලාන්තරයක් තිස්සේ අප මනසට කාවද්දා ඇති ආකල්පයකි.
එසේම කාන්තාව ස්වභාවයෙන්ම පිරිමියෙකුට වඩා කායික වශයෙන් දුර්වල වන බැවින් වහා බියපත්වන ගතිය ඇති කෙනෙකි. මේ සියලු කරුණු එකට එකතුකරගෙන කාන්තාව අමනුෂ්‍යයාගේ පහසු ගොදුරක් බවට සමාජය විසින්ම හංවඩු ගසා වෙන් කර තිබේ. එසේම කාන්තාවන්ට පමණක් බැල්ම හෙළන කළුකුමාරයා වැනි යකුන් ද ආදි කාලීන මිනිසුන් විසින් තනා දී තිබේ.
අප සමාජය තුළ පිරිමියා බාල කාලයේ පටන්ම වැඩෙන්නේ පවුලේ ගමේ රටේ ආරක්ෂකයා ලෙසය. යකුනට ප්‍රේතයිනට බිය වීම පිරිමියාට ලැජ්ජාවට කරුණකි. එසේම අමනුෂ්‍යයින් පස්සෙන් ඒමට ඔහු අපිරිසිදු (කාන්තාව මෙන්) කෙනෙකුද නොව්. මේ ආකල්ප තුළ යකාට පිරිමියාගේ සිතේ ඉඩ නැත.
අමනුෂ්‍යයින් වැහී රෝගී වන පිරිමින්ද දමාජය තුළ ඉඳහිට හමුවේ. ඔවුන් පෞරුෂයක් නැති නිවට චරිත බව මනාව විමසා බලන කල පෙනේ.
යකුන් ප්‍රේතයින් වැහීම යනු මුළුමනින්ම මානසික විකෘතියකි. මෙය වහා ප්‍රතිකාර කළ යුතු මානසික රෝගයක මූලික ලක්ෂණයක් ලෙසද ඇති වීමට ඉඩ තිබේ.
අමනුෂ්‍ය උවදුරු ගැන සලකා බැලීමේදී වැදගත්ම කරුණ වන්නේ ඔවුන්ගේ යථාර්ථය සත්‍ය තත්ත්වය සමාජ ගතකිරීමය. ඒ මගින් යකුන් ප්‍රේතයන් වැහීම දෙවියන් ආරූඪවීම යන මනස්ගාත සමාජයෙන් ඉවත් කිරීමය.
(බලන්න 2017.04.30 ඉරිදා ලංකාදීප 05 පිටුව)
අමනුෂ්‍යයෝ සිටිති. එසේ නැතැයි කියා ඔප්පු කිරීමට මෙලොව කිසිවෙකුටත් නොහැකිය. තම ඥාතියෙකුගේ නිවසකදී මියගොස් එහිදීම අවසන් කටයුතු කළ ඉන් තෙමසකට පසුව තම නිවසට පැමිණි මුල් දින (රාත්‍රී 9 ට පමණ) වටපිටාවේ ගහකොළ ඇසුරෙන් මහත් ශබ්ද ඇති කරමින් අරක්කු සිගරට් දුගඳ පතුරුවමින් තමාගේ පැමිණීම දැන්වූ ප්‍රේතයෙකු ගැන මම දනිමි.
ඔහු ජීවත්ව සිටි කාලයේ ඔහුගේ ප්‍රධාන ආහාරය වූයේ සිගරට් සහ අරක්කුය. ඉන් පසු එම ප්‍රේතයා එම (තම) නිවසට පැමිණ සෑම විටකම සිගරට් ගඳ ඇති කරයි. නිවැසියන්ට දැනෙන්නේ තමා අසලින් සිට කෙනෙකු සිගරට් උරන කල දැනෙන ගඳය.
තවත් එක් ප්‍රේතයෙකු කළේ තම ඥාති නිවාස කරා ගොස් එම නිවාසයන්හි සිටි ගෘහණියන් ගේ ශරීර සීරීමය. කටු ඉපලකට සීරුණාක් මෙන් එකම තැන තුන් ඉරක් සීරී සිඟිති ලේ බිඳු නගී. උල් නිය ඇති ඇඟිලි තුනකින් සූරා ඇති බව පැහැදිලි වේ. එසේ කාන්තාවන් පමණක් සීරීමට ලක් කළ මේ සත්ත්වයා වරක් එම නිවසක ගෘහපතියාවද එක සැණෙන් තුන් පලක් (සීරීම් නමයක්) සූරාගති. කෝපයට පත් එම ගෘහපතියා කළේ අඩි පොළොවේ හප්පා පරුෂ වචනයෙන් බැණ වැදී තවත් මෙසේ කළොත් දඬුවම් කරන බවට තර්ජනය කිරීමය. පුදුමය නම් එම ප්‍රේතයා ඉන් පසු එම තැනැත්තාව නොසීරිමය. මෙයින් පැහැදිලි වන්නේ අමනුෂ්‍යයාට බිය නොවීම ඔහුගේ බලය බිඳ දැමීමට හේතු වන බවය.
අකල් මරණයකට ගොදුරුවූ දරු පවුල්කාරයෙක් අමනුෂ්‍යයෙකු වී තම මව සොයා ආවේය. එම මහලු මව තල්ලුකර දැමීම ඇඳෙන් ඇද බිමට දැමීම ආදිය කර ඇගේ අත පය කඩා දැමීමය මූ කළේ. මව ඥාති නිවසක නතර වුවහොත් මේ සත්වයා එතැනටද යයි. මේ කුමන වෛරයක්දැයි කීමට කිසිවෙකු දැන සිටියේ නැත. මව සිටින නිවසේ දොර රෙදි එහා මෙහා වන ආකාරෙයන් ප්‍රේතයා පැමිණ සිටින බව දැන ගැනීමට හැකි විය.
ඉහත අවස්ථා තුනම මා කනින් ඇසූ ඇසින් දුටු සත්‍ය සිදුවීම්ය.
මා අසා ඇති තවත් සිදුවීම් දෙකක් මෙසේය. ඉන් එකක් ප්‍රසිද්ධ පුවත්පත්හි පළව තිබූ එකකි. සැකෙවින් මෙසේය.
කෞතුකාගාරයේ (හිටපු) ඉහළ නිලධාරිනියක් ක්ෂේත්‍ර චාරිකාවකදී වරක් අභයභූමියක තිබෙන බංගලාවක නවාතැන් ගත්තාය. එහි රාත්‍රී නිදාගත් කළ ඇගේ සිරුර මතට සතෙකු පැන ඇගේ බෙල්ල මිරිකා බිමට පැන්නේය. ඇය විදුලි පන්දම අල්ලා බැලූ කල වලස් පැටියෙකු රතු ඇස්වලින් තමා දෙස බලා සිටින අයුරු දුටුවාය.
අැය අනෙක් අයටද කතා කර සතා සෙවූ නමුත් හමු නොවීය. පසු දින උදේ ඇය බංගලා පාලක තැනට මෙය දැන්වූ කල ඔහු පවසා සිටියේ එම කාමරයේ කලකට ඉහත කෙනෙකු රාත්‍රී කාලයේ ගෙල වැළලාගෙන මියගිය බවත් ඉන් පසු දිනපතාම රාත්‍රියේ එම වේලාවට එම ආත්මය එතැනට එන බවත් එනිසා එම කාමරය කිසිවෙකුටත් රාත්‍රී නවාතැන් සඳහා නොදෙන බවත් අලුත් සේවකයෙකු ඒ බව නොදැන ලබාදී ඇති බවත්ය.
මේ තොරතුරු එළිවීමට පෙර හෝ ඉන් පසුව හෝ අදාළ තැනැත්තියට කිසිදු කරදරයක් සිදු නොවීම මෙහි ඇති විශේෂම තත්ත්වයයි.
අනෙක් සිදුවීම මෙසේය.
අගනුවර වැඩ කළ කම්කරු තරුණයෙක් එදින ගමට ආවේය. ගාලු පාරේ සිට කිලෝ මීටරයක් පමණ දුරක ඔහුගේ නිවස තිබිණි. එම අතුරු පාරේ විදුලිය නොතිබූ එකල කළුවරේ තනිව ආවේයයි මව පුතාට දොස් කීවාය.
තනිව නොව වැල්ලෙන් මාළුවෙකු ගෙන එන මාර්ටින් මාමා තමාට බසයෙන් බැසගත් තැන් පටන් හමුවී ඔහු සමග කතා කරමින් පැමිණි බව පුතා කීවේය.
බොරු නොකියන ලෙස පුතාට අවවාද කළ මව මාර්ටින් මියගිය බවත් තවම එම සොහොනේ මල් වඩම්වත් වියලී නැතිව ඇති බවත් හෙට උදේ ගොස් දැක ගන්නා ලෙසත් කීවාය. නොබෝ වේලාවකින්ම තරුණයාට උණ ලැනිණි. පසුදාට පහන් වීමට පෙර ඔහු රෝහලේදී මිය ගියේය. අධික බිය නිසා ඇතිවූ හෝමෝන විකෘතියෙන් හටගත් උණ පාලනය කිරීමට ඖෂධවලට නොහැකි විය.
මේ සිදුවූයේ කුමක්ද? පාරේ ගිය යකාට යකා බව දැන ගත් පසු බිය වීමය. මොහු පෞරුෂය නොවැඩුණු තරුණයෙකු වීමය.
මෙහි මුල් සිදුවීමේදී ඇඟට පැන බෙල්ල මිරිකූ යකාටත් බිය නොවීම නිසාම කිසිදු අතුරු අන්තරාවක් ඇයට නොවීමත් දෙවැනි සිදුවීමේදී පාරේ ගිය යකාට පසුව බියවීම නිසා මරණය සිදුවීමත් අමනුෂ්‍යයින් පිළිබඳව ඇති තතු මනාව පෙන්වන අවස්ථා දෙකය. එනම් බියවීම අමනුෂ්‍ය අනතුරුවල ඇති එකම හේතුව බවය.
අමනුෂ්‍ය උවදුරුවලින් බේරීම සඳහා පළමුව කළ යුත්තේ තම පරිසරය පිරිසිදුව තබා ගැනීමය. නිවස සමීපයේ මල මුත්‍රා කැහි හොටු මාළු පිලී ආදිය නොදැමීමටත් සුවඳ හමන මල් පිපෙන ගස් වර්ග වවා ගැනීමටත් කටයුතු කිරීමය. නිවස පවුලේ සාමාජිකයන් ගණනට සෑහෙන එකක් විය යුතුය. භාවිත නොකරන අඳුරු කාමර ලට්ට ලොට්ට දැමූ කාමර නිවසක නොතිබිය යුතුය. වැඩිපුර කාමර තිබේ නම් ඒවා දොර ජනෙල් හැර පහන් දල්වා නඩත්තු කළ යුතුය. කුණු කසළ සහිත අඳුරු කාමර අමනුෂ්‍ය වාස භූමිවේ.
විශේෂයෙන් කේතු රාහු ශනි යන ග්‍රහයින්ගේ මහ දහා පාපකාරීව යෙදුණු කල අමනුෂ්‍ය බැල්ම අදාළ පුද්ගලයාට සහ ඔහු පදිංචි නිවසට එල්ල වන බව පෙනෙන්නට තිබේ. කෙසේ හෝ වේවා අමනුෂ්‍ය බැල්මක් ඔබට නිවසට තිබේයයි දැනේ නම් බිය නොවී පරීක්ෂාකාරීව සිට සත්‍ය තේරුම් ගතයුතුය. ඉන්පසුව පවුලේ සාමාජිකයන් පමණක් එකතු කරගෙන ඉතා නිහඬව සාංඝික දානයක් දී මළගිය අයගේ නම් කියා ඔවුනටද සංසාරගත මළගිය ඥතීන්ටද පින් අනුමෝදන් කරවිය යුතුය. මහා සෙනඟක් කැඳවමින් මහත් සද්දබද්ද ඇති කරමින් සාංඝික දාන නොදිය යුතුය.
ඝෝෂාකාරී පරිසරයේ අමනුෂ්‍යයින් රැඳී සිටින්නේ නැත. කෝලාහලයක් බඳු පින්කම්වලදී අමනුෂ්‍යයින් නිවසින් ඈත්ව සිට දින කිහිපයකට පසුව නිවස නිහඬ වූ කල යළි පැමිණේ. එවිට ඔවුනට පින් ලැබෙන්නේ නැත. පින් ගැනීමට නම් අදාළ අමනුෂ්‍යයින් පින්කමට සහභාගී විය යුතුමය.
මෙසේ සාංඝික දානයක් දෙන අවස්ථාවේදී ප්‍රේතයින්ට කෑම පිඟානක් (ප්‍රේත ගොටුව) තැබීම අනිවාර්ය වේ. දානයට සකස් කරන ලද සියලුම ආහාර පාන සහිතව එය බිමකින් තැබිය යුතුය.
ප්‍රේත ගොටුව තැබීම පිළිබඳව විවිධ මත සමාජයේ ඇත. ප්‍රේත ගොටුව දීම අපේ පැරණියන් කළේ ධර්මධර විනයධර භික්ෂූන්වහන්සේගේ අවවාද සහ තම අත්දැකීම ද පාදක කරගෙනය. නුදුරු අතීතයේ පටන් පහළට සිටින අතිපණ්‍ඩිතයින්ගෙන් කොටසක් මරණින් මතු උපතක් නැතැයි පවසන අතර තවත් කණ්ඩායමක් පවසන්නේ තම නෑයා මියගිය විගස ප්‍රේතයෙකුව ඇති බව සිතා කටයුතු කිරීම මියගිය අයටත් තමන්ටත් කරගන්නා නින්දාවක් බවය. තවත් අයෙකු අසන්නේ මියගිය අය කොහේ ගියේදැයි දන්නේ කව්දැයි කියාය.
ප්‍රේත ගොටුව තැබිය යුතු වන්නේ ද මියගිය අය කොහේ ගියේදැයි නොදන්නා නිසාමය. එසේම සංසාර ගත ඥාති ප්‍රේතයන්ද සිටිය හැකි නිසාය.
මේ ගැන මා අසා ඇති සත්‍ය කතාවක් මෙසේය. කලකට ඉහත පවුලක වයස අවු. 12 පමණ පිරිමි දරුවෙකු රෝගී විය. බටහිර වෙදකම් කළ වෛද්‍යවරයා පැවැසුවේ තමා කියනතුරු ළමයාට ආහාර නොදිය යුතු බවය. මව එය අකුරටම ඉටු කළේ තම දරුවා ජීවත්කර ගැනීම සඳහාය. අම්මේ බත් දියන්, අම්මේ බත් දියන් යයි දරුවා නොකඩවාම ඉල්ලුවේය. එහෙත් බත් නොලැබිණ. දරුවා මළේය. හත් දවසේ දානය දුන්නත් ප්‍රේත ගොටුව නොතැබිණි.
සති කිහිපයකට පසු වැහි පොද සහිත දිනයක රාත්‍රී කාලයේ අදාළ මව සහ තවත් දරුවෙකු පමණක් නිවසේ සිටි මොහොතේ අම්මේ බත් දියන් යයි කියමින් කෙනෙකු ගේ වටා ඇවිදින්නට විය. රාත්‍රියට පිස තිබූ බත් මාළුපිනි ලොකු පිඟානකට බෙදූ මව කුස්සියේ පැදුරක් එළා බත් පිඟාන එහි තබා කුස්සියේ දොර හැරියාය. බිම බලාගෙන පැමිණි කෙනෙකු බත් පිඟාන අසල වාඩි විය. මව සමග නිවසේ සිටි දරුවා මවගේ ඇඟේ එල්ලී ගෙනම සිටියේය. මව මොහොතකට අන් තැනකට ගොස් ආවාය. ඉඳුල් පවා නැති හිස් පිඟාන පැදුර මත විය. පැමිණි අයගේ කිසිදු සලකුණක් නොවීය.
මව සමග සිටි දරුවා මවගෙන් විමසුවේ අම්මේ බාලයිය (මැරුණු ළමයා) නේද ආවේ කියාය. මව කිසිත් නොකීවාය. මෙහිදී මේ මවගේ බිය නැති කමත් මව් සෙනෙහසත් අදාළ සත්වයාගේ කුසගින්න නිවීමට සමත්වී ඇත.
නිවසේ දෙනු ලබන දානයකදී ප්‍රේත ගොටුව තැබිය යුත්තේ එබඳු අවස්ථාද තිබෙන බැවිනි. මේ ලෝකයේ අප දන්නා දෙයට වඩා නොදන්නා දේ බොහෝය. මේ අනුව කුසගින්නේ මිය යන සෑම දෙනාම බත් ඉල්ලාගෙන ගෙදරට එ්යයි සිතීම මුලාවකි. මරණයෙන් පසු උපත සිදුවන තැන අනුවය කටයුතු සිදු වෙන්නේ!.
සාංඝික දානයෙන් පසුව ඒ මොහොතේදී මළගිය අයට පින් අනුමෝදන් කිරීම විනා පිරිත් කීම දෙවියන්ට පින් දීම නොකළ යුතුය.
දානයේ කටයුතු නිම කළ පසුව තවත් අවශ්‍ය තරම් නෑ මිතුරන් ද කැඳවාගෙන සියලුම මාංශ කරවල ආදී පිළි නිවසින් බැහැරකොට ගේ දොර පිරිසිදු කළ යුතු වේ. ඉන් පසුව එදින රාත්‍රී පැයක පමණ පිරිතක් ස්වාමීන්වහන්සේ ලවා කියවා දෙවියන්ට පින් අනුමෝදන් කිරීම කළ යුතුය. පිරිතෙන් පසුව කිසිදු අමනුෂ්‍යයෙකු එම නිවසේ හෝ වටපිටාවේ නොසිටින බව අපි අත්දැකීමෙන්ම දනිමු.
තොවිලයක් යනු යල් පැන ගිය මානසික ප්‍රතිකාර විධියකි. අමනුෂ්‍යයින් පලවා හරින ප්‍රාථමික ක්‍රමයකි. තවත් ලෙසකින් බිලි පූජාවේ ලේ ගොටු කුකුළු බිලි ආදිය ගැන සිතා බලන්න. නෂ්ටාවශේෂයකි.
තොවිලයකදී කෙරෙන්නේ ගේ දොර පවිත්‍රවීම ඥාති මිත්‍රයින් රැස්වීම හා බෙර වයමින් නටමින් කවි මන්ත්‍ර ආදිය ගායනා කරමින් හූ කියමින් දුම්මල ගිනි අවුළවමින් ගෙය පුරා ද ගෙයින් පිටතද මහත් කලබලයක් අැති කිරීමය.
අමනුෂ්‍යයෝ ස්වභාවයෙන්ම අාලෝකයටත් සද්ද බද්දවලටත් බිය වෙති. එබැවින් තොවිලයකදී සිදුවන්නේ සැබෑවටම අමනුෂ්‍යයින් සිටියේ නම් උන් පලායාමත් තමාට වැහී සිටිතියි සිතා සිටි අමනුෂ්‍යයා ඉවත්ව ගිය බව ආතුරයා විසින් අදහනු ලැබීමත්ය. මෙහිදී පින් අපේක්ෂිත අමනුෂ්‍යයෝ සිටියෝ නම් කලකට පසු ඒ අය ආපසු එති.
අමනුෂ්‍ය උවදුරින් ආරක්ෂාවීමේ ක්‍රම ඒ ඒ ආගම් සතුව ඇත. යකුන් වැහී ඇතැයි කියා තොවිල් නටවන සැබෑ ක්‍රිස්තියානි හෝ ඉස්ලාම් බැතිමතෙකු ඔබ දැක තිබේද. අමනුෂ්‍යයෝ කොඩිවින හූනියම් තම ආගම තුළ සඳහන් නොවන නන්නත්තාර දෙවියන් සිටින තරමක් සිටින්නේ සිංහල බෞද්ධයන් සමගය.
බුදු සමය පරලොව සුගතියට පාර පෙන්වන දහමක් පමණක් නොව එලොව මෙලොව දෙකම සාර්ථක කර ගැනීමට මග පෙන්වන දහමකි. රහතන් වහන්සේ දහම් දෙසූ මුල් යුගයේ මේ තත්ත්වය මනාව ක්‍රියාත්මක විය.
තුන් වන සියවස වන විට ලංකා බුද්ධ ශාසනය තුළ ද අර්බුද හටගත් බව ඉතිහාසය කියයි. භික්ෂූන් පිරිසක් මහා විහාරය හැරගොස් අභයගිරි විහාරය තම මූලස්ථානය කරගත් බවත් මහායානය පිළිගත් ඔවුන් වෛතුල්‍යවාදීන් ලෙස තමන් හඳුන්වාගත් බවත් කියැවේ.
තවද මොවුන් බුදු සමය පැමිණීමට පෙර මෙහි තිබූ ඇදහිලි විශ්‍වාස ආදී සියල්ල යළි බුදු දහමට එකතු කරන ලද බවද කියැවේ. මෙය සත්‍යයක් බව පිළිගැනීමට හැකි වන්නේ සතුන් මරා ලේ ගොටු ගෙන සතුනට වදදෙමින් තොවිලයේ කුකුළා ගැන සිතන්න. කරන ඊනියා ශාන්තිකර්ම සියල්ලේදීමත් තෙරුවන් වන්දනා තෙරුවන් ගුණ ආදිය ගායනා කරන බැවිනි. බුදු සමය සත්ත්ව ඝාතනය සහ හිංසනය මුළුමනින්ම ප්‍රතික්ෂේප කළ ආගමකි.
බෞද්ධයාට ඇතිවන අමනුෂ්‍ය බලපෑමකදී වෙනත් අභිචාර විදියක පිහිට පැතීම මගින් සිදුවන්නේ බුදු සමය හෑල්ලුවට ලක්වීම පමණි.
අට පිරිකර ඇතුළු පිරිකර සමග භික්ෂූන්වහන්සේ පස්නමකට දානය පිරිනමා රාත්‍රියට පැයක පිරිත කියවීමට එකතුවන නෑ මිතුරන් 15 ට නොවැඩි විය යුතුය. වැය වන උපරිම මුදල මේ වන විට රු. 20,000 කි. තොවිලයක් සඳහා අද අවම මුදල රුපියල් ලක්ෂයද ඉක්මවයි.
අපට තිබෙන බලගතුම ප්‍රශ්නය බුදු දහම නිවැරදිව සමාජගත නොවීමය. පිළිගත් උගතුන් බුද්ධිමතුන් බුදු සමය අළලා ලියන ලද පත පොත සාමාන්‍ය ජනතාව නොකියවීමය. ඊනියා ජ්‍යෙතිෂ පුවත්පත් හා නන්නත්තාර විද්‍යුත් මාධ්‍ය මගින් අමූලික මිථ්‍යාවන් ඉතා ප්‍රබල අන්දමින් සමාජගත කිරීමය. මොවුන් මේවා කරනු ලබන්නේ තමන්ගේ පැවැත්ම සඳහාය.
ඒ සමගම මොවුන් සාමාන්‍ය ජනතාව ගොනාට අන්දවා බඩ වඩා ගැනීමට හොර තක්කඩියනට ද මග පාදා දී ඇත.
අමනුෂ්‍ය බලය යොදාගෙන කරන බව කියන කොඩිවින හූනියම් යක්ෂ බන්ධන ආදී දේවල් ද රාශියකි. නිතරම මේවා කරන්නේ හෝ කරවනු ලබන්නේ අල්ලපු ගෙදර එකාටය. නැතිනම් ගමේ සිටින ළඟම නෑයෙකි. කවදාවත් ගාල්ලේ පදිංචි කෙනෙකුට කොළඹ පදිංචි කෙනෙකු කොඩිවිනයක් කළ බවක් නම් අසන්නටවත් නැත.
කොඩිවින කර පවුල්පිටින් ගම පිටින් විනාශ කළ හැකි අය ගැන විනාශ කළ හැකි ක්‍රම ගැන තවමත් කතා ඇසේ. අනවින මගින් එතරම් දෙයක් කළ හැකි නම් එම කට්ටඩියන් අල්ලා පරසක්වළ ගැසිය යුතුමය. ඒ ප්‍රභාකරන්ට රට විනාශ කරන්නට ඉඩදී බලාසිටි නිසාය.
තර්ක ඥානයෙන් තොරවූ මානයේ යකුන් භූතයන් ප්‍රේතයන් අනවින හදිහූනියම් බාල් නටන බව කිව යුතුය.
වසර පහකටවත් වරක් සාංඝික දානයක් පිරිනමා මළගිය අයට පින් අනුමෝදන් කර එදින රාත්‍රියට පැයක පමණ පිරිතක් කියවා දෙවියනට පින් පැමිණවීමත් ඉඳහිට තම නිවසට විනෝදකාමී නෑ හිතමිතුරන් කීපදෙනෙකු කැඳවා මසින් හා මතින් තොර කුඩා සාදයක් පවත්වා නටා ගයා ප්‍රීතිවීමත් අමනුෂ්‍යයින් සහ තිබෙනවායැයි කියනු ලබන පිල්ලි හදි හූනියම් ආදිය ද තම නිවසට පැමිණීම වළක්වා ගැනීමට හැකි අත්දුටු ප්‍රත්‍යක්ෂ ක්‍රමයයි.
තවද යක්ෂ ප්‍රේත පිශාචාදීන් හා ඊනියා දෙවියන් සමග ජීවත්වන ග්‍රෝතික මානසිකත්වයෙන් යුතු මිනිසුන් ඇසුරු කිරීම සාස්තර ඇසීම අමනුෂ්‍යයිනට බියවීම මානසික රෝගී අවස්ථා අමනුෂ්‍ය උවදුරු ලෙස සිතා කටයුතු කිරීම ආදිය නොකළයුතු දේ ලෙස විශේෂයෙන් සඳහන් කළ යුතුව ඇත.
දේශීය වෛද්‍ය ජ්‍යෙතිර්වේදී
අනෝමා පී. ඈපා සෙනෙවිරත්න