මුහුදු යක්ෂයා පලවා හැරීමේ නර්තනය විෂුගේත් රෂිනිගේත් ජීවන වෘත්තිය බවටද පත්ව තිබිණ.
රෂිනි එවර ද මුහුදු කාන්තාවගේ වේශයෙන් සැරැසුණාය. මන බඳනා රුවකින් යුතු රෂිනි, එතෙක් අරිප්පු වෙරළේ මුහුදු කාන්තාවට රඟපෑ රූමත්ම යුවතිය වූයෙන් ඒරොප්පෙන් එන වෙළෙන්දෝ ද කොළඹ කොටුවෙන් එන ඉංග්‍රීසි මුලාදෑනියෝද මුතු නෙළන්නට එන කිමිදුම්කරුවෝද කම්කරුවෝද දෑස් විවර කරගෙන ඇගේ නර්තනයෙන් වශී වී සිටියහ.
තිස් දහසක් ජනයා ගැවසෙන තැනක එතරම්ම මන බඳනා තැනැත්තියකට එතෙක් නම් අතවරයක් සිදුව තිබුණේ නැත. තමන්ට මුහුදු යන්නට මුහුදු දියකඳ මෙල්ල කරදෙන මුහුදු කාන්තාවට කිමිදුම්කරුවන් සහ කුලීකරුවන් ආදරය කළා සේම ඔවුහු ඇගේ ගෞරවයද ආරක්ෂා කළහ. අනෙක් අතට කොළඹ කොටුවේ ඉංගිරිසි ආණ්ඩුකාරයාගේ තදබල පාලනයට නතු අරිප්පු මුතු ඉවුරේ පාලකයා වන ‘‘පර්ල් සුපිරින්ටැන්ඩන්ට්” වරයා එවැනි අතවරයකට ලෙහෙසියෙන් සමාවක් නොදුන්නේය.
සොරකම සහ ස්ත්‍රී දූෂණයට, මිනීමැරීමට තරම්ම දරුණු දඬුවම් ඔහු ලබාදී තිබිණ. වසර ගණනාවකට පෙර ස්ත්‍රී දූෂකයකු හසුවී අරිප්පු බළකොටුවේ පොළොව යට උමං මාර්ගයේ සිරකුටියකට දැමූ පසු එවන් අපරාධයක් වාර්තා වී තිබුණේ නැත.
එහෙත් මෙවර එම සාමකාමී බව අරිප්පු වෙරළෙන් ඉවත්ව ගියේය. මුහුදු කාන්තාවටත් අත තියන්නට හැකි පූසාරියකු යාපනයෙන් පැමිණ සිටි අතර කිමිදුම්කරුවෝද කුලී කරුවෝද නර්තන ශාලාවල සිටි නිළියෝද බියට පත් කළ එම සිද්ධිය නම් බීමත්ව සිටි එම ප‍්‍රධාන පූජකයා නැටුම් ශිල්පිනිය සිප ගැනීමට තැත් කිරීමය.
ඇය වහාම නර්තනය පසෙකලා හඬා වැටෙමින් තම කූඩාරම වෙත දිව ගියාය. ඒ සමඟම මුහුදු යක්ෂයන් පළවා හරින නර්තනයද නතර විය. ඇගේ සොයුරා වන විසුගෙන් පූසාරිට ලැබුණේ ගුටි පූජාවකි. බීමත්ව සිටි ඔහු සහ සෙසු පූසාරිවරුන් එක් පසෙකටද විසු තවත් පසෙකටද වී රණ්ඩුවූයෙන් යාතිකාව නොකෙරුණේය.
එහි පැමිණි බ්‍රිතාන්‍ය නිලධාරීන්ට විසු කීවේ තම සොහොයුරියට වූ අප කිර්තියට පූසාරිට එරෙහිව දඬුවම් අවශ්‍ය බවය. එහෙත් ඒ සඳහා නිලධාරින් පැකිළුණේ කිමිදුම්කරුවන් තරහකර ගැනීමට ඔවුන් අකමැති වූ නිසාය.
එහෙත් එදින එම යාතිකාව නොකෙරුණේය. කිමිදුම්කාරයෝ මුහුදු නොගියහ. එම වසරේ මුතු බිමේ සිදුවූ ප‍්‍රථම වැඩ වර්ජනය ලෙස මෙය සටහන්ව තිබේ.
ඉන්දියාවේ ඩොල්පූර් නුවර පාලකයා වූ “රාණා” කුමාරයා සුවිශාල මුතු සංචිතයක අයිතිකරුවා වූයේය. තමාට ඩොලර් මිලියන හත හමාරක මුතු අයිති බවත් ඒවා තම මුතුන් මිත්තන් විසින් දශක කිහිපයක් තිස්සේ එකතු කර ගන්නට ඇති බවත් රාණා කුමාරයා කී බව ඊස්ට් ඔෆ් සුවස් කෘතියේ රචකයා වූ ෆෙඩ්රික් කෝට්ලන්ඩ් ෆෙන්ෆීල්ඩ් සඳහන් කරයි. ඔහුගේ කෘතිය ලංකාව, ඉන්දියාව, චීනය හා ජපානය ගැන ලියැවුණු චාරිකා විස්තරයකි. මෙය 1907 දි නිව්යෝර්ක් නුවරදී පළවූ පොතකි.
ලංකාවේ මුතු ගැන එහි මෙසේ සඳහන් වේ.
කිමිදුම්කරුවෝ හැඩි දැඩි පිරිසකි. ඔවුන්ට සුනම්‍ය අඟ පසඟ සමග පුළුල් වූ පපු පෙදෙසක් විය. ඔවුන් නිතරම සිටියේ හිසෙහි බැඳගත් තලප්පාවකින් යුතුවය. මෙය ඉන්දීය සහ යාපනයේ ජනතාවට උරුම තලප්පාවකි. ඉන්දියාවේ තූත්තුකුඩියෙන් ආ පිරිස පරවා කුලයටද “පම්බන්” වෙරළෙන් ආ පිරිස මුවර් (මුස්ලිම්) පිරිසටද අයත් වූහ.
යාපනයෙන් ආ කිමිදුම්කරුවන්ගේ මුතුන් මිත්තන් වසර හැටකට පමණ පෙර අරාබියෙන් පැමිණ මුතු කිමිදීමේ යෙදී යාපනයේ නැවතුණු පිරිසකි. තවත් පිරිසක් ආවේ අරාබියේ ඒඩන් හෝ පර්සියස් ගලෆ් ප‍්‍රදේශවලිනි.
මේ පිරිස කොළොම්තොට සිට කුඩා දුම් බෝට්ටුවල නැගී මන්නාරමට පැමිණ එතැනින් ගවයන් බැඳි කුඩා කරත්තවල නැඟී මරිච්චිකට්ටියේ “මුතු නගරයට” ආහ. එය අතිශය බිහිසුණු ගමනකි.
“මුතු නගරයේ පරිපාලන නිලධාරින් නිතරම බියෙන් සිටියේ ආගන්තුක මේ පිරිස ස්වදේශිකයන් සහ පොලිස් භටයන් සමග ගැටුම් ඇතිකර ගනීද කියාය. මොහොමඩ් නම්වලින් යුත් සමහරුන් සිංහලයන් සමග ගැටුම් ඇතිකර ගැනීමේ බියක්ද පැතිර තිබුණි.
ඉන්දියාවෙන් එන සමහරු සුදු පැහැති දිග ඇඳුම් ඇඳ දුම් බෝට්ටුවෙන් පැමිණ වෙරළට පා තබන්නේ කරවටක් ජලයේ එරීමෙනි. එය හාස්‍ය ජනකවන්නේ ඔවුන්ගේ ඇඳුම් නිසාය. දුම් බෝට්ටුව වෙරළට ළඟා කළ නොහැකි නිසා අතරමගදී දියට බැසීමට සිදුවේ. වෙරළට එන්නේ තෙත බරිත වූ මිනිසෙකි.
මෙසේ එන සමහරු වෙරළට පා තබන්නේ බනිමිනි. එය හාස්‍ය ජනක කරුණක් වන්නේ අතිගරු ආණ්ඩුකාරතුමා පවා තම ගරුත්වය පසෙක තබා දුම් බෝට්ටුවේ පැමිණ දියට බැස පා ගමනින් වෙරළට එන නිසාය. එයට හේතුව මෙම තාවකාලික නගර ප‍්‍රදේශයේ වරායක් හෝ ජැටියක් නොවීමයි.
ඔහු පැමිණි වසරට පෙර වසරේ ඉන්දියාවෙන් පැමිණි යාත‍්‍රා ගණන තුන්සිය විසිපහක් බව ෆෙඩ්රික් කෝ්ට්ලන්ඩ් ෆෙන්ෆීල්ඩ් සඳහන් කරයි. විශාලම බෝට්ටුව පැමිණියේ ඉන්දියාවේ තූත්තුකුඩියෙනි. කුඩාම යාත‍්‍රාවක කිමිදුම්කරුවෝ හත් දෙනෙක් වෙති.
වරින් වර මුහුදට බැසීමට සූදානමින් සිටින මේ හැඩි දැඩි පුද්ගලයන් සමහර වසරවල මෙරටෙහිම නවතින බවද ඔහු සඳහන් කරයි. කිමිදුම්කරුවන්ට අමතරව බෝට්ටුවට එකතුවන ජලය ඉවතට විසි කිරීමට සේවකයෙක්ද නාවිකයන් තුන් දෙනෙක්ද ආහාර සපයන්නෙක්ද එහි වේ.
ඇතැම් කිමිදුම්කරුවෙක් නෙළා ගන්නා මුතු අස්වැන්නෙන් එකක් හෝ කිහිපයක් යාත‍්‍රාව ගොඩබිමට ඒමට පෙර හංගාගනියි. ඉංග්‍රීසි නීතිය අනුව එය බරපතළ වරදකි. සමහර කිමිදුම්කරුවෙක් තම සගයා පාවා නොදෙන අතර සමහර කිමිදුම්කරුවෝ මේ බව බලධාරීන්ට කීමට ඉදිරිපත් වෙති.
සොරාගත් මුතු හංගන ප‍්‍රසිද්ධ ස්ථානයක් වී ඇත්තේ යාත‍්‍රාවේ නැංගුරම් කඩය සහ නැංගුරම සම්බන්ධ කරන ගැටයයි. මේ ගැටය තුළට මුතු ඇට රිංගවන්නේ දිය යටදීය. ගොඩබිමට පැමිණි පසු හීන්සීරුවේ පැමිණ නැංගුරම් කඩය තුළ සැඟවූ මුතු ඇට ලබා ගැනීම මුතු සොරුන්ගේ ජනප්‍රිය උපාය මාර්ගයක් වී තිබේ.
ඉඳහිට මේ පිළිබඳ ඔත්තුවක් ලැබුණු විට මුතු නගරයේ ආරක්ෂක ප‍්‍රධානීහු හදිසි උසාවියක් කැඳවති. පොලිස් නඩුකාරයා හා පොලිස් මුලාදෑනියකුගෙන් උසාවිය සමන්විතය. පැමිණිල්ල ඉදිරිපත් කරන්නේ පළාතේ ප‍්‍රභූවරයා වන මුදලියාර් විසිනි.
මුදලියාර් යනු කෝරාල යන මුලාදෑනියාාගේ දෙමළ අරුත හැඟවෙයි.
ෆෙඩ්රික් කෝට්ලන්ඩ්ද මුතු නගරය ගැන සටහනක් තබා ඇත. එහි මෙසේ සඳහන්වේ.
“නිවර්තන කලාපීය මෙම භූමිය රළුය. දැඩි උණුසුමකින් යුතුය. එවැනි තැනකට මිනිසුන් හතළිස් දහසක් එකවර ඒකරාශිවීම සුළු පටු දෙයක් නොවේ. ඔවුන් රැස්ව සිටින්නේ රෝගාබාධ රැසක අනතුරුද හිසින් ගෙනය. ප‍්‍රධාන අනතුර වන්නේ මැලේරියාවය. මා එහි සිටින සමයේ මිනිසුන්ට සෑදී තිබූ මැලේරියාව එම රෝගයේ මධ්‍යම මට්ටමේ එකක් විය.
මරිච්චිකට්ටි ප‍්‍රදේශයේ ෙසෟඛ්‍යය හොඳ වුවත් එය නිරතුරුවම මැලේරියාව හිස දරා සිටියි. එහි ඇති එළිමහන් බෙහෙත් ශාලාව කඩා වැටෙමින් තිබේ. ඒ වෙත ගිය රෝගීන් ගණන 75ක් විය. ඉන් විසි එක් දෙනෙක් මිය ගියහ. ඔවුන් මිය ගියේ මැලේරියාවෙනි. කිමිදුම්කරුවන්ට ඇතිවන රෝගයක් වන්නේ නිව්මෝනියාවය.
එහිදී ඔහු දුටු තවත් දෙයක් විස්තර කර තිබේ. එනම් මරණාසන්න රෝගියෙකි. “බඩවැල් එළියට ආ තුවාලයකින් යුත් මිනිසකු මම එම රෝහලේදී දුටුවෙමි. බෝට්ටු ගැටුමකින් ඔහු බරපතළ තුවාල ලබා ඇත.
තවත් මොහොතකින් ඔහු වෙනත් ලෝකයකට නික්ම ගියේය. ඔහු සමග පැමිණ සිටි ඔහුගේ සහෝදරයා එම ඇඳේ පසෙක වාඩිකර සිටියේ සොහොයුරාගේ මරණය සම්බන්ධ රෝහල් කටයුතු සඳහාය. නොසන්සුන් ඔහු මෙසේ කීවේය.
මට උදව් කරන්න. කරුණාකර මා මෙතනින් යවන්න. මට මෙතන ඉඳල වැඩක් නෑ. මා ඉන්න ඕනෑ මගේ බෝට්ටුවේ. මරිච්චිකට්ටියේ අනික් මිනිස්සු වගේ මගේ බෝට්ටුවේ මට දවසකට රුපියල් සීයක් පහසුවෙන්ම උපයා ගත හැකියි. මට යන්න දෙන්න.”
තම සොහොයුරා මියගොස් සිටියදී මුතු කඩන කිමිදුම්කරුවන් අතරට යාමට ඔහුට ඇති හදිසිය පුදුමාකාරය.
ප්‍රේමකීර්ති රණතුංග