මැතිවරණයෙන් පසු රටේ ඉදිරිය කුමක්වේද ?


එදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බලවත්ව සිටින කාලයේ මැතිවරණයක් පේන්නවත් නොතිබූ මොහොතක ​දේශපාලනය උඩු යටිකුරු වෙන බවත් එතුමා පරාජයට පත්වෙන බවත් ලංකාදීප පුවත්පත මගින් කල් තියා පැවසුවේ ලංකාවේ එකම කෙනා මාය. දේශපාලනඥයන් සිරගෙට යන බවත් රටේ ආර්ථික ස්වභාවික හා දේශපාලන පිල් මාරුවීම් පිළිබඳව නිවැරදිව අනාවැකි පළ කළෙමි. 

මේ වන විට ලංකා කේන්ද්‍රයේ 11 වැන්නා මෙන්ම පාලකයා ගැන කියවෙන 10 වැන්නෙන් 2 වැන්න සෙනසුරු ධනු රාශියේ ගෝචර ගමනේ යෙදෙන අතර මේ වන විට කුජ සමඟ යෝග වී ඇත. එමෙන්ම ඥාානයට අධිපති බුධ නීච වී ලංකා කේන්ද්‍රයෙන් 2 වැන්නේ සිකුරු සමඟ පිහිටා ඇති අතර පාලකයා ගැන කියැවෙන 10 වැන්නෙන්, 12 වැන්න මෙන්ම ලංකා කේන්ද්‍රයෙන් 9 වැන්නා වන තුලා රාශියෙන් ගුරු සතුරුව පිහිටා ඇති හෙයින් පවතින පාලනයේ ඉදිරියටත් අවුල් වියවුල් ඇති කරවන අතර ශක්තිමත් ආණ්ඩුවක් කරගෙන යාමට බාධා ඇතිවනු ඇත. එමෙන්ම රටේ ආර්ථිකය මෙහෙයවීම ජනපතිතුමා විසින් ක්‍රියාත්මක කෙරුවද පවතින ග්‍රහචාරය අනුව දූරදර්ශී ආර්ථික වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමට නොහැකිය. එමෙන්ම ඉදිරියේදී ජනතාවට අත්‍යවශ්‍ය ආහාර පාන වල හිඟතාවක් දක්නට ලැබෙන අතර පසුගිය කාලයේ තිබූ ආර්ථික න්‍යායන් වල ඇති දුර්වලකම් නිසා බඩු මිල ඉහල යාම, ආර්ථික අපහසුකම් මෙන්ම දැඩි මූල්‍ය අර්බුදයන් වලට මුහුණ දීමට මේ වසරේ මැද භාගය වන විට රටක් ලෙස ආණ්ඩුවකටත් ජනතාවටත් මුහුණ දීමට සිදුවනු ඇත. එම නිසා වක්‍ර හා සෘජු බදු ක්‍රියාත්මක කරවීම නිසා ජනතාවට අපහසුකම් ඇතිවන අතර දේශපාලනික වශයෙන් අවුල් වියවුල් මතගැටුම් වාද විවාද ඇතිවනු ඇත. ලංකා කේන්ද්‍රයෙන් පාලකයා ගැන කියැවෙන දහවැන්නෙන් දෙවැන්නෙත් වත්මන් පාලකයගේ චින්තනය ගැන කියැවෙන ස්ථානයේ කුජ ශනි යෝගය පිහිටීම තවදුරටත් පවතින ආණ්ඩුවට ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවන අතර ආණ්ඩු විරෝධීන්, විපක්ෂ ක්‍රියාකාරකයින් මෙන්ම වෘත්තීය සමිති උද්ඝෝෂණ වැඩවර්ජන දැඩි මුහුණුවරකින් ක්‍රියාත්මක කරවන අතර ආණ්ඩුව සමඟ ගැටෙනු ඇත. එහිදී ප්‍රවාහන, ඛනිජ තෙල්, ගුරු සංගම්, වෛද්‍ය සහ තැපැල් ක්ෂේත්‍ර මෙන්ම ශිෂ්‍යය සංගම් අරගල ඇතිවෙන අතර විශේෂයෙන් විදුලි වැඩ වර්ජන සහ අරගල දැඩිව ක්‍රියාත්මක වනු ඇත. එම නිසා ඉදිරිය රටේ ප්‍රශ්නකාරී තත්ත්වයකට පත්වනු ඇත. මෙම තත්ත්වය මත ඉදිරි කාලය තුළ යහපාලනය තුළ තිබූ ඉවසීම වෙනුවට ආණ්ඩු බලවේගයන් සහ දේශපාලන ක්‍රියාකරුවන් හට ඉතා දැඩි ක්‍රියාමාර්ග ගන්නා අතර ඔවුන්ට විරුද්ධව මර්ධනකාරී ක්‍රමවේදයක් වත්මන් පාලනය තුළ ක්‍රියාත්මක කරනු ඇත. එමෙන්ම නීතිමය ක්‍රියාදාමයන් දැඩි කිරීම, පොලිස් බලය යෙදවීම, බන්ධනාගාර, උසාවි පිළිබඳව දැඩි කතාබහකට ලක්වනු ඇත. 


වත්මන් දේශපාලන​යේ අර්බුදයක් තවත් වැඩි කරමින් ඉදිරියේදී නව ව්‍යවස්ථාව පිළිබඳව හා අණපනත් සම්මත කිරීම පිළිබඳව ප්‍රශ්න, ගැටුම් එළිපිට සහ පාර්ලිමේන්තු මැතිසබය තුළද දක්නට ලැබේ. 
මෙරට මෙන්ම විදේශීය වශයෙන් වත්මන් පාලනය හා ආර්ථික ක්‍රමවේදයන් පිළිබඳව ඇතැම් විදේශ සංවිධාන හා ආයතනවලින් විවේචන සහ අපකීර්තිය ඇති කරවන මුත් ඇතැම් ප්‍රබල රටවල් වලින් පවතින ආණ්ඩුව දිගටම පවත්වා ගෙන යාම සඳහා ආධාර උපකාර කරමින් සහයෝගය දක්වමින් වෙනත් පාලනයක් ඇති නොවීමට එම බලවේග මෙරට පාලකයන්ට සහයෝගය දෙමින් ක්‍රියාත්මක කරනු ඇත. 


 වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කාලය ඉතා නරක බැවින් දූරදර්ශීව කටයුතු කළ යුතු අතර ඉදිරියටද ඔහු ළඟ ඉන්නා වූ සහයෝගය දෙන ඇතැම් ඇමැතිවරු ඔහුට විරුද්ධව ක්‍රියාත්මක කරමින් ආණ්ඩුවෙන් ඉවත්ව යනු ඇත. එතුමා විසින් සම්මුති ආණ්ඩුව ක්‍රියාත්මක කරවමින් තම දුර කාලය අභියෝග මැදින් ගෙවා දමන අතර තමන් අකමැති බලවේග සමඟ අකමැත්තෙන් වුවද ක්‍රියාකිරීමට සිදුවන අතර ඉදිරි කාලයේ කලකිරීමෙන් කටයුතු කිරීමට එතුමන්ට සිදුවනු ඇත. කෙසේ නමුත් එතුමා එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග නොගන්නා අතර ඔහුගේ දැඩි මත ප්‍රකාශ කිරීම් දේශපාලන උපාය මාර්ගයක් පමණක් වනු ඇත. එමෙන්ම එතුමන් හිටපු ජනාධිපති පාර්ශ්වය සමඟ කිසිසේත් ශක්තිමත් සබඳතාවයක් නොපවත්වන අතර ඔහුගේ පාර්ශ්වයන්ගෙන් නියෝජනය වෙන කිසිම කෙනෙකු අගමැති කරවීමක් සිදුනොකරනු ඇත. 
 මේ අතර එක්සත් ජාතික පක්ෂය තුළ මේ වසර මැද භාගය වන විට නායකත්වයට ගැටලු ඇති කරවන අතර අභ්‍යන්තර මත ගැටුම් උග්‍ර වනු ඇත. එනමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති තනතුර තුළ මේ වසර තුළද, අගමැතිධුරයේ කටයුතු කරන අතර වරින් වර එතුමාගේ අගමැති ධුරයේ විරෝධතා මෙන්ම ගැටලු මතු වේ. එනමුත් ඉදිරියේදී සජිත් ප්‍රේමදාස, රුවන් විජේවර්ධන, නවින් දිසානායක යන තරුණ නායකයින් හට එම පක්ෂය තුළ ඉදිරියට මතු වෙමින් කටයුතු කිරීමට අවස්ථාව ලබා දෙන්නේ නම් ඔවුන් ශක්තිමත් සටනකට යොමු වෙමින් පක්ෂය ඉහළ තැනකට ඔසවා තැබීමට කටයුතු කරනු ඇත. එමෙන්ම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලය 2018 ජනවාරි මාසයෙන් පසු ඉතා යහපත් බැවින් ඉදිරියේදී එතුමාගේ ජයග්‍රහණ තවත් ශක්තිමත් මාවතකට පැමිණෙන අතර ඇතැම් වෘත්තීය සමිති හා මැති ඇමැතිවරුන්ද පිල් මාරු කොට එතුමා අවශ්‍ය බවට හඬ නගමින් ගුණ ගායනා කරනු ඇත. 


 වත්මන් ග්‍රහචාරය අනුව රටේ දේශපාලනය, ආර්ථිකය ව්‍යාකූල කරමින් ඉදිරියටත් ජනතාවට ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවන අතර ඇතැම් පළාත්වල තරුණයන්ගේ ආවේගශීලි ක්‍රියා දේපල හානි, ලේ වැගිරීම්, ගිනි ගැනීම් ඇති වෙමින් ප්‍රශ්න මතුවිය හැකි බැවින් වත්මන් පාලකයන් දූරදර්ශීව ඉතා පරෙස්සමෙන් තීරණ ක්‍රියාවට නැංවිය යුතුය. එසේ නොමැති වුවහොත් අඳුරු රටක් අනාගත දරුවන්ට උදාවීම කිසිවෙකුට වැළැක්විය නොහැකි වනු ඇත. 

 

 

 


​ෙජ්‍යාතීර්වේදී සුජිත් නිශාන්ත යෝගීතුමා, 
 10/1. චන්ද්‍රා මහ උල්පත මාවත, 
 ජලාශය පාර, මහනුවර. 
0812205758, 071 5426000