නොයෙකුත් අනවින, කොඩිවින හා හදිහූනියම් ගැන අප සමාජයේ ඇතැමුන් තුළ තිබෙන්නේ විශාල බියකි. එවැනි කොඩිවින, අනවින නිසා නිවෙස් පාළු වූ අවස්ථා, මිනිසුන් රෝගී වූ අවස්ථා, රැකී රක්ෂා අහිමි වූ අවස්ථා, දියුණුව නැති වී මහපාරට වැටුණු අවස්ථා ගැන විවිධ පුද්ගලයෝ විවිධ මත දරති.
මෙය සිදුවූයේ අම්බලන්ගොඩ ප්‍රදේශයට යාබදව ජීවත් වූ එක්තරා පවුලකටය. දරුවන් හතර දෙනෙකුත් සමඟ මංගලිකාත් ඇයගේ සැමියා වන සුනන්දත් දෙමාපිය උරුමෙන් ලැබුණු නිවසක ජීවත් වූහ. සුනන්දගේ පියා විසින් සෑදූ මෙම නිවස මේ වනවිට පැරණි නිවසකි. එකල මෙම පිහිටි ඉඩම අක්කරයක් පමණ වූ අතර, මොවුනට නිවස සමඟ ලැබුණේ අක්කර තුන්කාලක් පමණි. ඉතිරි අක්කර කාලක ප්‍රමාණය සුනන්දගේ අයියාට දෙමාපියන් විසින් පවරා දුන් අතර, අවිවාහකව සිටි සුනන්දගේ අයියා විසින් තමාට අයත් එම ඉඩම් කට්ටිය විකුණා දමා වෙනත් ප්‍රදේශයක රැකියාවක් කරගෙන කුලී කාමරයක ජීවත් විය.
සුනන්ද වෘත්තියෙන් පෙදරේරුවෙකු වූ අතර, ඊට අමතරව ඉඩමේ තිබූ පොල් ගස් කීපයෙන් ලැබුණු ආදායමත් ඊට අමතරව ඉඩමේ තැනින් තැන වගා කරමින් ඒවායින් ද මුදලක් උපයමින් ජීවත් විය. තම දරුවන්ව පාසල් යවමින් විශාල ආර්ථික ශක්තියක් නොමැති වුවද සාමාන්‍යයෙන් කා බී තම යුතුකම් ඉටු කරගෙන ජීවත් වන්නට තරම් ආර්ථිකයක් මොවුන් සතු විය. සුනන්දගේ පියා සහ මවත් දෙදෙනාම මේ වනවිට ජීවතුන් අතර නැත. මංගලිකා රැකියාවක් නොකළද ධෛර්යයෙන් යුතුව වගා කටයුතුවලට සම්බන්ධ වී දරුවන් ද රැකබලාගෙන ජීවත් වූවාය. මොවුන් කොතරම් උත්සාහ දැරුවද දරුවන් අධ්‍යාපනයට එතරම් උනන්දුවක් දැක්වූයේ නැත.
ඒ අතර සුනන්දගේත් මංගලිකාගේත් ලොකු දුව ගමේම රස්තියාදුකාර තරුණයකු සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන තිබූ අතර, ඇයගේ වයස තවමත් අවුරුදු දහසයකි. මෙම සම්බන්ධය නතර කිරීම සඳහා සුනන්දත් මංගලිකාත් නොගත් වෙහෙසක් නැති තරම්ය. එන්න එන්නම ලොකු දුව දෙමාපියන්ට අකීකරු ෙවන්නට වූවාය.
“කවුරු මොනවා කීවත් මම මේක නවත්තන්නේ නැහැ” කියමින් දැඩි මතයක ඇය පසුවූවා. සුනන්ද තමන්ගේ ලොකු දුව සමඟ ප්‍රේම සම්බන්ධය ඇති කරගත් තරුණයා හමුවී ඔහුගේත් තම දුවගේත් අතර තිබෙන සම්බන්ධය නවතන ලෙස බොහොම හොඳින් ඉල්ලා සිටියේය. නමුත් ඔවුන් කවුරුත් නොදැනුවත්වම සම්බන්ධය පවත්වා ලොකු දුවත් තරුණයාත් ගෙදරට හොර රහසේම ලියුමක් ලියා තබා පිටව යන්නේ වයස අවුරුදු දහහත වන්නටත් පෙරය.
“මේ ගෙදරට මොකක්ද වුණේ. කාටවත් කරදරයක් නැතිව හිටිය අපිට මොන හෙනගෙඩියක් ද පහත් වුණේ” සුනන්දත් සතියට දවසක් දෙකක් ගෙදරට එන්නේ බීමත්වය. සුනන්දත් මංගලිකාත් අතරද වෙනදාට වඩා රණ්ඩු සරුවල් ඇතිවිය. සුනන්ද උනන්දුවෙන් කළ වගාව පවා දැන් සිදුකරන්නේ කළ යුතු නිසා පමණක් කරනවා ලෙසිනි. නිවසේ සියලු දෙනාගේම සතුට බිඳ වැටුණි. සුනන්ද හරිහැටි රැකියාවට නොයෑමත් තමන් කළ වගාවත් හරිහැටි නොකිරීමත් හේතුවෙන් නිවසේ ආර්ථිකයද ටිකෙන් ටික පිරිහෙන්නට ගත්තේය.
මාතලේ පැත්තේ ගමක දුවත් තරුණයාත් ජීවත් වන බවට ආරංචියක් ලැබුණේ අහළ පහළ අයෙක් ඔවුන් දැක තිබීමෙනි. නමුත් දුව කොහේ සිටිනවාද යන්න සොයාගත නොහැකි ප්‍රශ්නයකි. ඒ වනවිට වයස අවුරුදු හතළිස් දෙකක් පමණ වන මංගලිකා වේගයෙන් වයසට යන බවක් පෙනෙන්නට විය. වයස හතළිස් දෙකක් වුවද අවුරුදු පනහක හැටක ගැහැනියකගේ පෙනුම ඇය කෙරෙන් දිස්වන්නට විය. බාල දරුවන් දෙදෙනාද පාසල් යැවුවද, පංති යැවුවද ඔවුහුද හරිහැටි අධ්‍යාපන කටයුතු සිදු නොකරගෙන අධ්‍යාපනයෙන් දුර්වලම තත්ත්වයකට පත්වූහ. මොවුන් ජීවත් වූ නිවසද කිසිදු අලුත්වැඩියාවක් නොකළ හෙයින් එන්න එන්නම ගරා වැටෙන තත්ත්වයකට පත්වුණි. ජීවත් වීමට පවා බැරි තත්ත්වයකට ආර්ථිකය ඇද වැටුණි.
“කොහොම හරි ළමයින් ජීවත් කරවන්න ඕනෑ. මොකක් හරි ක්‍රමයකට යන්නට ඕනෑ” යැයි සිතූ සුනන්දගේ අදහස වූයේ ඉඩමේ ඔප්පුව ඇපයට තබා ණයක් හරි ලබාගැනීමටයි. ඒ බව මංගලිකාට නොදන්වා ගමේ සිටින පොලී මුදලාලි කෙනෙකුට ඔප්පුව තබා ලක්‍ෂයක පමණ මුදලක් ලබාගෙන නිවසේ අඩුපාඩු ටිකක් සාදන්නට පටන් ගත්තේය. ඉන් මුදලක් ඉතිරි කරගෙන නැවත වගා කටයුතු හෝ බ්ලොක් ගල් ව්‍යාපාරයක් පටන් ගන්නවා යැයි බලාපොරොත්තු තබාගෙන එම රුපියල් ලක්‍ෂය ගත්තද නිවසේ අඩුපාඩු ටික සාදා අවසන් ෙවනවිට සහ එදිනෙදා නිවසේ වියහියදම් නිසාවෙන් අතට ඉතිරි වූයේ බොහොම පොඩි ගණනකි. මුදල් කොහෙන්දැයි මංගලිකා ඇසූ විට ගෙයක් හදන තැනක මහත්තයෙක්ගෙන් ඉල්ලා ගත්තේ යැයි සුනන්ද ඇයට පැවසුවේය. ඉතිරි වූ පොඩි මුදල ව්‍යාපාරයක් පටන් ගැනීමට ප්‍රමාණවත් නොවූ අතර, නොදැනුවත්වම එදිනෙදා වියහියදම් සඳහා එයද වියදම් විය. නිවසේ යම් තරමක් අඩුපාඩු සාදා ගත්තද ජීවත් වන මාර්ගයක් තවම මොවුන්ට නැත. ඒ මදිවට දැන් ලක්‍ෂයක ණය සඳහා මසකට රුපියල් හත්දහස ගණනේ පොලියක්ද ගෙවීමට සිදුවී ඇත. වාර කීපයක් පොලී ගෙවාගෙන ගියද දැන් දැන් පොලී ගෙවීම පවා ප්‍රමාදය. සුනන්ද පොලී මුදලාලි මඟහැර සිටීම නිසා ඔහු සුනන්දගේ නිවස සොයාගෙන ආවේය. ඒ වනවිට නිවසේ සිටියේ මංගලිකාත් දෙවැනි දුවත් පමණි. සුනන්ද ගැන විමසූ මුදලාලි ඔහුගෙන් සුනන්ද ණය ලබාගත් බවත් දැන් මඟහරින බවත් පවසා චෝදනා කළේය. සුනන්ද මෙලෙස නිවසේ ඔප්පුව තබා ණය ලබාගත් බව මංගලිකා දැනගත්තේ එවිටය. මේ වනවිට ඉඩම බේරාගැනීමට නම් ණයට ගත් රුපියල් ලක්‍ෂයත් හිඟ පොලී මුදල් රුපියල් තිස්පන්දහසකුත් ගෙවිය යුතු බව මුදලාලි දැන්වීය.
සුනන්ද නිවසට පැමිණි පසු විස්තර අසා දැනගත් පසු දෙදෙනා අතර මතගැටුම්ද උග්‍ර විය. “දරු පවුල ජීවත් කරවන්න මොනවා හරි කරන්න ඕනෑ නිසා මං ඒක කළා. ගේත් කඩාගෙන වැටුණා නම් ඉන්න හිටින්නවත් තැනක් නැතිව යනවා. නමුත් මම හිතුවෙ ගේ අඩුපාඩු හදන්න ඔච්චර වියදමක් යන එකක් නැහැ කියලා. ඒත් හිතුවට වඩා ලොකු ගානක් ඒකට ගියා” යනුවෙන් සුනන්ද අදහස් පළ කළේය.
“කොහොම හරි ටිකෙන් ටික මුදල් ගෙවමු” කියා මුදලාලිට මංගලිකා ද කථාබහ කොට හැකි ඉක්මනින් මුදල් ගෙවන පොරොන්දුව මත එයට කල් ඉල්ලා ගත්තාය. නමුත් එයද එතරම් සාර්ථක නොවීය. පොරොන්දු වූ පරිදි මුදලාලිට මුදල් ගෙවීමට මොවුහු අපොහොසත් වූහ. “අපේ ගෙදරට මේ මොකක්ද වෙලා තියෙන්නෙ. මේක නම් අනිවාර්ෙයන්ම කවුරු හරි කරපු දෙයක්” යනුවෙන් සිතූ මොවුන් පේනයක් බලන්නට ගියේ එහිදීවත් සහනයක් ලබා ගන්නා අදහසිනි. එහිදී පේනයෙන් කියවුණේද ඔවුන් සිතූ පරිදිම “නිවසට කරපු දෙයක් තියෙනවා” යන්නයි. එය කැපීමට නම් රුපියල් විසිපන්දහසක වියදමක් යන බව පේන කියූ මෑණියෝ කියා සිටියාය.
“ඒකවත් කර බලමු. මුදලාලිගේ සල්ලි දෙන්නත් ඕනෑ” යනුවෙන් සිතූ මොවුන් ගමේ සිටින පොලියට මුදල් දෙන වෙනත් අයෙකු සමඟ කතා කර ඔහු සමඟ ගොස් කලින් පොලී මුදලාලිට මේ වනවිට ගෙවිය යුතු මුළු මුදල වන එක්ලක්‍ෂ හැටපන්දහසක් ගෙවා තවත් රුපියල් තිස්පන්දහසක මුදලක් තමන්ගේ අතට දෙන ලෙස ඉල්ලා ගෙන ලක්‍ෂ දෙකක ණයක් ලෙස නව පොලී මුදලාලිට ඉඩමේ ඔප්පුව ලබාදුන්හ. අතට ලබාගත් මුදලින් ඉක්මනින්ම කළේ රුපියල් විසිපන්දහක් වියදම් කර පේන කියන මෑණියන් ගෙන්වා කොඩිවිනය කපා ඉවත් කිරීමයි.
දැන්වත් හොඳ කාලයක් උදා වේයැයි සිතා මොවුන් ධෛර්යයෙන් වැඩ කළ අතර, නව පොලී මුදලාලිට ලක්ෂ දෙක වෙනුවෙන් රුපියල් දසදහසක මුදලක් ගෙවීමට සිදුවුණි. හම්බ කරන සියල්ලම පොලී ගෙවනවා විතරයි. එන්න එන්නම මොවුන් ණය බරින් තව තවත් වැඩි විය. මෙයට විකල්ප සෙවූ සුනන්ද සිතුවේ ඉඩමෙන් කොටසක් හරි විකුණලවත් මුදල් ටිකක් සොයා ගැනීමටයි. මංගලිකා එයට එතරම් කැමැත්තක් නොදැක්වුවද වෙන කළ හැකි දෙයක් නොතිබූ නිසාවෙන් එයට කැමති වූවාය. ඉන්පසු ඉඩමෙන් අක්කර කාලක් විකුණා ණය තුරුස්වලින් නිදහස් විය. කෙසේ හෝ මුදලාලිගේ ණය ගෙවුවද එම ඉඩමේ වටිනාකම එතරම් වැඩි ගණනක් නොවූ හෙයින් ඔවුන්ට අතට ඉතිරි වූයේ රුපියල් හැත්තෑපන්දහසක පමණ මුදලකි. නිවසේ කොඩිවිනය හරිහැටි කැපී නොමැති බව සිතූ මොවුන් ඉතිරි මුදලින් පළමුව හරියටම මේක කරන කෙනෙක් සොයා කොඩිවිනය කපා අවසන් කළ යුතු බව තීරණය කරගත්හ. එසේ සොයන විට කීපදෙනෙක් ගැනම ආරංචි ලැබුණු අතර, කොඩිවිනය තමන් ඉදිරියේම අරන් දෙන අනුරාධපුරේ කපු මහතා ගැන දැනගන්නට ලැබුණි.
වහාම ගොස් එම කපු මහතා හමුවී තම නිවසේ හා භූමියේ කොඩි විනය ස්ථිරවම අයින් කරන්න පුළුවන්දැයි විමසීය. එම කපු මහතාගේ පිළිතුර වූයේ “අනිවාර්ෙයන්ම ඒක වළලපු තැනින්ම අරගෙන පෙන්නනවා. වැඩි කලක් නෙමෙයි ඕක අවුරුදු තුන හතරක කාලයක් ඇතුළත කරපු එකක්” යන්න කපු මහතාගේ මතය විය. ඒ සඳහා රුපියල් ලක්‍ෂයක මුදලක් ගන්නා බවත් ඔහු ප්‍රකාශ කළේය. සුනන්දගේ සහ මංගලිකාගේ දුක අසා පනස් දහසක මුදලකින් එය කරදීමට කපුමහතා තීරණය කළේය. වැඩේ හරිගිය පසු ඉතිරි පනස්දහස ණයට හරි අරන් දෙන බවට පොරොන්දු විය. එම දිනය උදා විය.
කපුමහතාත් තවත් තුන්දෙනෙකුත් මොවුන්ගේ නිවස කරා පැමිණියහ. රාත්‍රී එකොළහට පමණ යාගය ආරම්භ කෙරිණි. පුදපූජා පවත්වා ඇඟට වරම ගෙන කපු මහතා වැටි වැටී ගේ වටේ ඇවිදින්නට විය. එක් තැනක නතර වී ගෙයි ඉදිරිපස දොර ඉදිරියේ තැනක් පෙන්වමින් අමුතු භාෂාවකින් කුමක්දෝ කියමින් එම ස්ථානයටද තමන්ගේ හිස තුන් පාරක් තැබීය. ඔහුගේ සහායකයින් කපු මහතා ඉවත් වූ පසු එම ස්ථානය යකඩ ඉන්නක් ගෙන හාරන්නට විය. ඒ වනවිට නිවසේ සියලු විදුලි පහන් නිවා දමන ලෙසත් පන්දම් පත්තු කරගෙන එයට දුම්මල කීරි ගසමින් එම පන්දම් එළිවලින්ම එම ස්ථානයේ අඩි එකක පමණ දිගකින් සහ පළලකින් යුත් වළක් හාරන්නට විය. අඩියක් පමණ හෑරුවේය. කපු මහතා එතැනට පැමිණ එම වළට අත දමා නැවත එම වළට තමන්ගේ හිස තුන් පාරක් නමමින් තවත් හාරන්නට යැයි පැවසීය. මංගලිකාත් සුනන්දත් අහල පහළ සිටි කීප දෙනෙකුත් ඇසිපිය නොහෙළා එදෙස බලා සිටියෝය. දැන් එම වළ අඩි එකහමාරක් පමණ හාරා අවසන් විය. කුමක්දෝ භාෂාවකින් මොනවදෝ කියමින් එතැනට පැමිණි කපු මහතා වළ හාරන සහායකයින් නවතා තමන්ම වළට අත දමා පස් ඉවත් කරන්නට විය. නැවත පන්දමක් ගෙන හිස කරකවා පන්දමට දුම්මල ගසා නැවත වළේ ඇති පස් ඉවත් කර බලා සිටියවුන් මවිත කරමින් වළෙන් අත්භූත යමක් ඉවතට ගැනුණි. මඩ ගෑවුණු රවුම් ගලක් වැනි යමක් ඔහු වළේ තිබී එළියට ගත්තේය. ඔහු අමුතු භාෂාවෙන්ම පැමිණ සිටි පිරිසට කථා කළේය. එම පණිවිඩය කුමක්ද යන්න ඔහුගේ සහායකයින් ගෙදර අයට දැන්වූහ.
“ඔය කට්ටියට ළඟට එන්න කියල කියන්නේ. කොඩිවිනය හම්බවුණා” කියමින් සහායකයින් නිවසේ අයට ඒ අසලට කථා කළේය.
ගෝලාකාර මඩ තැවරුණු ගල ගෙන එය කහ වතුරෙන් සේදීය. මහා පුදුමයකි! සියල්ලන්ටම දැක ගන්නට ලැබුණේ මඩ තැවරුණු ගලක් නොව, තැනින් තැන අඳුරු පැහැ ගැන්වී තිබූ බිත්තරයක් බවයි. කපු මහතා විසින් පිරිසිදු ගහල කොළයක් ගෙන එය කහ දියරෙන් සෝදා එය පසෙකින් තබා ඒ මත බිත්තරය ද තබා කුඩා කඩුවක් වැනි ආයුධයක් ගෙන මෙම බිත්තරය දෙපලු කළේය. කුණු ගඳ ගසමින් බිත්තරයේ ස්‍රාවයන් සමඟ බිත්තරය ඇතුළේ කම්බියකින් එතූ තඹ කොළයක් මතුවිය. බලා සිටියවුන්ට අදහාගත නොහැකි විය. එම තඹ කොළය ඉවතට ගෙන කපු මහතා අමුතු භාෂාවෙන් කථා කොට සහායකයාට මේ තඹ කොළය ලබාදුණි. තඹ කොළයේ මිනිස් රූප හයකුත් ඇඳ තිබූ අතර, ඒවාට හිල් වන ලෙස යමකින් ඇන තිබුණි. මෙය පැමිණ සිටි අයටද අල්ලන්නට නොදී බලන ලෙස සහායකයා පැවසීය. කපු මහතා ඔළුව කරකවා ආරූඪයෙන් ඉවත් විය. “දැන් ඔක්කොම හරි නේද? අදින් පස්සේ කිසිම ප්‍රශ්නයක් වෙන්නෑ. මේ වළ වහලා දාන්න” කියමින් රුපියල් පනස්දහසකුත් රැගෙන ඉතිරි මුදල් හැකි ඉක්මනින් ගෙවන ලෙස පවසා පසුදා ඉර පෑයීමට ප්‍රථම මොවුන් නික්ම ගියහ.
“දැන්නම් අපිට හොඳ කාලයක් ලැබෙයි. කවුද අපිට මේක කළේ” යන ප්‍රශ්නය ගෙදර අයට මතුවිය. “කමක් නෑ. කොහොම හරි ප්‍රශ්නෙ විසඳුණානේ” කියමින් මොවුන් පසුදිනයේ පටන්ම සුපුරුදු පරිදි වෙනදාටත් වඩා උද්‍යෝගයෙන් දවස පටන් ගත්තෝය.
මාස කීපයක් ගතවිය. කලින් වූ පොඩි පොඩි ණය නිසාත් කරදර නිසාත් වැඩකර යමක් ඉපයුවද කපුවාගේ ඉතිරි කොටස ගෙවීමට හැකියාවක් ලැබුණේ නැත. කපු මහතා විසින් වරින් වර දුරකථන ඇමතුම් ලබාදී ඉතිරි මුදල් ගෙවන ලෙස දැන්වුවද මොවුනට ගෙවා ගැනීමට හැකියාවක් නැත. නැවතත් යළි යළිත් මොවුන්ගේ ගෙදර අසමගිය, අසතුට වැඩිවෙන්නට ගත්තේය. කපුවාගේ බලපෑම්ද එන්න එන්නම වැඩිවිය. ඉතිරි මුදල් නොගෙවන්නේ නම් ආපිට කොඩිවිනය නැවත ගෙන්වන බවට කපුවා මොවුන් බියගැන්වීය. මොවුන් තව තවත් අසරණ විය. මොවුන්ට අත්වී ඇති ඉරණම ගැන අසල්වාසීහුද දුක්වූහ. මංගලිකාද එන්න එන්නම ලෙඩ ගොඩකට භාජනය වූවාය. මොවුන් නැවතත් කපුවාගේ මුදල් ගෙවීම සඳහාත් ඉඩමේ කොටසක් විකිණීමට තීරණය කෙරිණි. ඒ බව දැනගත් ප්‍රදේශවාසීන් විසින් මොවුනට මේ සඳහා විසඳුමක් ලෙස ශ්‍රී ලංකා ස්වාපන විද්‍යාවේදීන්ගේ සංගමයේ වත්මන් සභාපති මනෝ චිකිත්සක වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා හමුවන ලෙස උපදෙස් දුණි. “වෛද්‍යවරුන්ට පුළුවන්ද අපේ ගැටලු විසඳන්න” මංගලිකාගේත් සුනන්දගේත් මතය විය. නමුත් ගමේ කීපදෙනෙකුගේම ඉල්ලීම එය වූ නිසා මෙම ගැටලුව වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා වෙත යොමු කෙරිණි.
සිදුවූ සියල්ල ගැන බොහෝ වේලාවක් කථා කරමින් සිටි විද්‍යාකුලපති මහතා විසින් ඔවුන්ගේ ගැටලුවට විසඳුම් ලබාදීමටත් නැවත කපුවාට ඔවුනට කිසිවක් කළ නොහැකි තත්ත්වයට පත් කරනවා යන පොරොන්දුව මත මෙහෙයුම භාර දෙමිණි.
මුලින්ම වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා විසින් නිවසේ අයට මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර ලබාදී ඔවුන් පත්ව තිබූ මානසික ආතති තත්ත්වය දුරලීය. ඉන්පසු වෛද්‍යවරයා ඉදිරියේම කපු මහතාට දුරකථන ඇමතුමක් ලබාගන්නා ලෙස දැනුම් දුනි. එවෙලේද කපුවා විසින් මොවුනට නැවත කොඩිවිනය ගෙන්නනවා යනුවෙන් බිය කෙරිණි. පසුව එම දුරකථනය ලබාගත් වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා විසින් මෙවැනි වංචාකාරී ක්‍රියාවලින් මිනිසුන් අසරණ නොකරන ලෙසත් ඔබ කළ මිත්‍යාව කුමක්ද යන්න අප විසින් සමාජයේ ප්‍රසිද්ධියට පත් කරන බවත් ප්‍රකාශ කළේය. තවදුරටත් මෙම කපුවාගෙන් ගැටලු මතු වුවහොත් නීති මාර්ගයට යන ලෙස වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා එම පිරිසට දන්වා ඔවුනට මිත්‍යා මත පසෙකලා තමන්ට තිබෙන ඉඩමේ හරිහැටි වගාව ආරම්භ කරන ලෙසත් දිනපතාම සුනන්දට වැඩට යන ලෙසත් අවවාද කෙරිණි. සිදු වූ සිද්ධිය පිළිබඳව වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා පැහැදිලි කරදීමට දින කිහිපයකින් පැමිණෙන ලෙස සුනන්දට හා මංගලිකාට පැවසීය.
දින කිහිපයකින් පැමිණි ඔවුනට සිදුවීම පිළිබඳව මෙසේ පැහැදිලි කරදුණි.
“යම් පුද්ගලයෙකුට ප්‍රශ්න පැමිණි විට ඔවුන් මානසිකව ඇද වැටේ. දිගින් දිගටම ප්‍රශ්න පැමිණියහොත් ඔවුන් “ක්ලමථය” නම් සුළු මානසික රෝගී තත්ත්වයට පත්විය හැකිය. මංගලිකාටද එසේය. දුක, කලකිරීම, එපාවීම, තරහායාම, නින්ද නොයාම, ආහාර අරුචිය, සතුට නොදැනීම, කිසිම දේකට හිත් නොදීම ආදී බොහෝ ක්ලමථ ලක්ෂණ පහළ වේ. බොහෝ දෙනා මෙය සුළු මානසික රෝගී තත්ත්වයක් බව නොදනිති. අප විසින් කළේ මංගලිකාගේත් සුනන්දගේත් ළමයින්ගෙත් මානසික තත්ත්වය ගොඩනැගීමයි. මෙතෙන්ට බලපෑ කොඩිවිනයක් නැත.
එසේ නම් ඉහත කපුවා පොළොව හාරලා ගත්තේ කුමක්ද? ඔබට මෙය ප්‍රශ්නයක් වනු ඇත. මම එයද කර පෙන්වන්නම්” යනුවෙන් පැවසූ විද්‍යාකුලපති මහතා විසින් පසෙක තිබූ බිත්තරයක් ගෙන එය අනෙක් අයටද අතට දී මෙහි පලුද්දක් තිබේද යන්න බලන ලෙස කීය. පැමිණ සිටියවුන්ගේ මතය වූයේ එහි කිසිදු පලුද්දක් නොමැති බවයි. ඉන්පසු වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා විසින් අසල භාජනයකට අල්ලා බිත්තරය දෙපලු කළේය. එහිදීද කුණු ගඳ ගසමින් බිත්තර ස්‍රාවයන් සමඟ කම්බි, තඹ කොළයක්, කටු ගෙන පෙන්වීය. “කොහොමද මේ බිත්තරය ඇතුළට තඹ කොළය, කටු ආවේ. මේක කළේ මා විසින් විද්‍යාත්මක ක්‍රමයකට. මා සතු කිසිම ගුප්ත බලයක් නෑ. අධිමානසික බලයක් නැහැ. මේක හරිහැටි ඉගෙන ගත්තොත් ඔබටත් කරන්න පුළුවන්. වෙනදා නම් මම මේක කළ හැටි කියනවා. නමුත් අද වනවිට ලංකාවේ ඇතැම් පුද්ගලයින් විසින් මා මේ කරන දේ ඉගෙන ගෙන එය නැවත නැවත කරමින් මිනිසුන් රවටනවා.
මීට පෙර 2006 වසරේදී පමණ අප සංගමය විසින් මෙය ඔප්පු කර පෙන්වා තිබෙනවා. එසේ තිබියදීත් ඇතැම් මිනිසුන් විසින් මේවායින් මිනිසුන් රවටනවා. අද සිට ඔබට කිසිම කොඩිවිනයක් නැහැ. සතුටින් අනුන්ට කරදරයක් නොකර යහපත්ව ජීවත් වෙන්න” විද්‍යාකුලපති මහතා පහදා දුනි.
(මෙහිදී රෝගීන්ගේ පුද්ගලිකත්වය ආරක්‍ෂා කිරීම උදෙසා නම් ගම් පමණක් වෙනස් කර ඇත. සියලු වාර්තා පරීක්‍ෂණ සංගමය සතුව ඇති ඇති අතර, සත්‍ය සිදුවීමකි.)
සටහන හා ඡායාරූප
හබරාදුව - නිමල් අල්ගෙවත්ත