පුරාණ ලංකාවේ විහාර චිත්‍ර ඇන්ද යකැදුරෝ


 

ඓතිහාසික වශයෙන් මෙරට ශේෂව ඇති වැඩිම සිතුවම් ප්‍රමාණයට උරුමකම් කියනුයේ මහනුවර සම්ප්‍රදායේ සිතුවම්ය. එම සිතුවම් සම්ප්‍රදාය මහනුවර යුගයේදී කන්ද උඩරට මූලික කරගෙන ඇරඹුණ අතර ඉන්පසුව පහතරට ප්‍රදේශවලටද ව්‍යාප්ත වූ බව පෙනේ. මෙම අවධියේදී උඩරට හෝ පහතරට විහාර දේවාල බිතුසිතුවම් කලාවේදී එම කාර්යයේ නියුක්ත වූයේ බිතුසිතුවම් කලාව පමණක් ප්‍රගුණ කළ ශිල්පීන් පමණක්ද යන්න සොයා බැලීම වැදගත් වන අතර, එහි දී පෙනී යන කරුණවන්නේ චිත්‍ර කලාව ප්‍රගුණ කළ විහාර සිත්තරුන්ගෙන් පරිබාහිර වෙනත් කලා ක්ෂේත්‍රවල පිරිසකගේ සහායද මෙම නිර්මාණ කෙරෙහි ලැබී ඇති බවයි. විශේෂයෙන්ම පහතරට විහාර සිතුවම් අධ්‍යයනයේදී පැහැදිලි වන්නේ බලි ඇදුරන්ගේ නිර්මාණාත්මක සහායද ඒ කෙරෙහි බලපා ඇති ආකාරයකි.   


බලි ඇඹීම, ඇදීම, යන්ත්‍ර මන්ත්‍ර වැඩ, වෙස් මුහුණු තැනීම මේ සමයෙහිදී චිත්‍ර කලාව සමග සම්බන්ධ වී පැවැති අනෙකුත් විෂයයන් කිහිපයක් ලෙස හඳුනාගත හැකි වේ. ගම් මඩුවක් හෝ කංකාරියක් වැනි ශාන්ති කර්මයක් පවත්වන අවස්ථාවක් ගැන අවධානය යොමු කළවිට මේ කාර්යය සඳහා ශිල්පීන් පළඳින වෙස්මුහුණු සැකසීමටද ග්‍රහ රාක්ෂ සහ දේවතාවන් ඇතුළත්වන බලි රූප ඇඳීමට හෝ ඒවා ඇඹීමටද චිත්‍ර ශිල්පීන්ගේ සහයෝගය අවශ්‍ය බව වටහා ගත හැකිය. මේ නිසා ඇතැම්විට විහාර චිත්‍රාකරණයෙහි නිරත වී සිටි ශිල්පියෙකුට වෙනත් තැනකදී බලි රූප අඳින හා අඹන ශිල්පියෙකු ද විය හැකිය.   


 ප්‍රවීණ චිත්‍ර උපදේශක එස්.පී. චාර්ල්ස් මහතා මෙවන් අදහසක් දක්වා තිබේ. අතීතයේ දී තොවිලයට බලිය අඹන ලද්දේත් සිත්තරුවන් වන අතර දිවා කාලයේදී විහාරයේ නිර්මාණ කටයුතු කළ සිත්තරා රාත්‍රියේදී තොවිල්වල වැඩ කටයුතු කර තිබේ. එසේම කුඹුරු වැඩ කාලෙට විහාර වැඩ නවත්වා ගමේ යන අතර එහිදී විහාරයේ වැඩ කටයුතු ඇන හිටී. මෙසේ වෙනත් කාර්යයන් සඳහා සිත්තරු ගමට ගොස් නෑවිත් කල්ගත වූ අවස්ථාවක මිහිරිපැන්නේ ධර්මරතන හිමියන් සිත්තරෙකුට ලිපියක් යවන ලදී. එය මෙසේය.   


“පසුගිය දවසේ ඇවිදින් කළා වූ විහාරේ   
වැඩ අතපසු වී ගොස් මේ ලෙසින් දැන් තිබෙද්දී   
එම වැඩ කරදීලා එන්ට ඕනෑයි කියාලා   
හිත මතකට ගත්තේ නැත්තෙ මන්දැයි කියලා   

මකුළු දැල් බැඳිලා බැන්ද මැස්සත් දිරාලා   
ගුලු කුඩු වැහිරිලා ගොස් තිබෙන්නැයි පිරිලා   
ගෙට යන වෙලාවේදී මැස්සේ හැපීලා   
ඔළුගෙඩියා පැලිලා යන්ට වෙයි ලේ හැලිලා   

එම කොහොම නමුත් මේ මෝසමේදිවත් ඇවිල්ලා   
වැඩ ටික කරදීලා යන්ට කොයි අන්දමින් වත්   
අප වෙනුවට ඇත්නම් දයාවක් සැදෑවක්   
අද හෙට නොමුලා වී එන්ට ඕනෑ පිටත් වී” 


චාර්ල්ස් මහතාගේ පැහැදිලි කිරීමෙන්ද අපට පැහැදිලි වන්නේ එකල සිත්තරා බලි තොවිල් කලාවේද නිරත වී සිටි බවය. සිත්තරුන් බලි තොවිල් නිර්මාණ කළේ ද නැතහොත් බලි තොවිල් යකැදුරන්ගේ සහාය විහාර සිත්තරුන් ලබාගත්තේද යන්න පැහැදිලිව හඳුනාගැනීමට නොහැකි වී ඇත්තේ බලි තොටිල් ඇදුරු පරපුරක් වෙනමම පැවතීමය. දකුණේ සිතුවම්වල විශේෂත්වය ඇති වීමට බලි තොවිල් කලාවේ බලපෑමද හේතු වන්නට ඇතැයි අනුමාන කරනු ලැබේ.   


බලි මූර්ති නිර්මාණ අතර වන සන්නි යකා, මහසෝනා වැනි යක්ෂයින්ගේ රූප ඇඹීමේදී ඔවුන්ගේ උදර හා මුහුණ ඉස්සී මතුවන ලෙස දැක්වීමට විශේෂ වෙහෙසක් ගනු ලැබේ. දකුණු පළාතේ විහාර සිත්තරුන්ද සෙවණ යෙදීමේ උපාය මගින් ත්‍රිමාණාකාරව රූපවල යම් අග පසඟ පෙන්වීමට බලි ඇඹුම් කලාවෙන් ආහාසය ලබාගන්නට ඇතැයි සිරිනිමල් ලක්දුසිංහ මහතා අනුමාන කරයි.   


මාතර කොටිකාගොඩ පුරාණ විහාරය, දෙනිපිටියේ වැලිහිඳ සුදර්ශනාරාමය, කඹුරුගමුවේ සමුද්‍රාසන්න විහාරය අහංගම එළුකැටියේ විහාරය, මිහිරිපැන්නේ විහාරය, කුරුඹුරේ විහාරය මෙන්ම කතළුව පූර්වාරාමය විහාරය වැනි දකුණේ විහාරස්ථාන ගණනාවකම විහාර චිත්‍ර කලාවට බලි ආභාසය ලැබී ඇති බව පෙනේ. මෙම විහාර බොහොමයක චිත්‍ර ​ශෛලිය මෙන්ම චිත්‍රවලට විෂය වී ඇති ඇතැම් කරුණු ද බලි කලාවේ ආභාසය පෙන්වයි. කැලණි රජමහා විහාරය, කොටිකාගොඩ විහාරය, එළුකැටියේ විහාරය, දොඩන්දූවේ ශෛල බිම්බාරාමය, සපුගස්කන්ද විහාරය මෙන්ම උඩරට පිහිටි හඟුරන්කෙත විහාරයේද වියන්හි ඇඳ ඇති ග්‍රහයන් නවදෙනා, රාශි දොළහ, නැකැත් විසිහත ආදී විෂයන් බෞද්ධ විහාර සම්ප්‍රදාය තුළට පිවිසියේ බලි චිත්‍රවල බලපෑමෙන් බව කිව හැකිය.   


වැලිහිඳ සුදර්ශනාරාමයේ ‘‘“සිව වටුක රූපය” හා ”අඝෝර රූපය” ඇඳ ඇත්තේ බලි ඇඹුම් කවිවල සඳහන් ලක්ෂණ උපයෝගී කරගෙනය. එසේම බදුල්ල දිස්ත්‍රික්කයේ තිබෙන දෝව පුරාණ විහාරයේ සිතුවම් කෙරෙහිද බලි සිතුවම් කලාව බලපා ඇති බව ශ්‍රී ලංකා බිතුසිතුවම්හි දෝව විහාර කලාපයේ දැක්වේ. මෙහිදී එහි නැගෙනහිර දොරටුව සමීපයේ ඇති ශිව - වටුක රූපය මෙම ලක්ෂණ හොඳින් පෙන්වන බව සඳහන් කර තිබේ. පී. උල්ලුවිස්හේවා මහතාද පෙන්වා දෙන පරිදි මෙම යුගයේ චිත්‍ර ශිල්පිඥානය ජ්‍යොතිෂය හා බැඳි පවතී. චන්ද්‍ර ගමන විදහාපාන චිත්‍ර ලෙස හඟුරන්කොත මහදේවාල විහාරයේ නිරූපිත දොළොස්වක, සොළොස්වක හා හා පසළොස්වක චිත්‍ර අග්‍රස්ථානයෙහි ලා සලකන එම මහතා සඳහන් කරන්නේ එය බොහෝ විහාරවල පවත්නා විරල අවස්ථාවක් බවයි.   


ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු විසින් කරවන ලද රජ මහා විහාරයක් කුණ්ඩසාලය පෙදෙසේ පිහිටා ඇති අතර, රජතුමා සිය මාලිගය ඉදිකිරීමට කැඳවූ ශිල්පීන් අතර බලි ඇදුරන් පිරිසක්ද වූ බව ඉතිහාසයේ සඳහන් වේ. මෙම පිරිස් විසින් විහාර මන්දිරයද ඉදිකර ඇත. සතුන් හත්දෙනෙකු උපයෝගී කරගෙන බෞද්ධ සිද්ධස්ථානවල ද්වාරවල මකර තොරණ ඉදිකිරීමේ සම්ප්‍රදායට අනුව එම බලි ඇදුරන් විහාරස්ථානයේ මකර තොරණ සඳහා යොදා ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ කිසිම විහාරයක දක්නට නොලැබෙන දිය කිඳුරියකගේ රුවකි. විහාර මන්දිරයේ ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කර ඇත්තේ මැටි භාවිතයෙන් වන අතර බලි ඇදුරන් බලි ඇඹීමට යොදාගන්නේද මැටි බැවින් මෙම ප්‍රතිමාව නිර්මාණය කළ බලි ඇදුරන් එය මැටියෙන් අඹා පැරැණි කොහොල්ලෑ, දොරණ තෙල්, තෙල් එඩරු හා කෑල කොළ විශේෂයකින් ගත් යුෂ සහිත මිශ්‍රණයකින් ප්‍රතිමාව ආවරණය කර එම කෑල කොළ, මල් යුෂ ආදියෙන් සකසාගත් ආලේපයකින් ප්‍රතිමාව අලංකාර කොට ඇත.   

 

ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු විසින් කරවන ලද රජ මහා විහාරයක් කුණ්ඩසාලය පෙදෙසේ පිහිටා ඇති අතර, රජතුමා සිය මාලිගය ඉදිකිරීමට කැඳවූ ශිල්පීන් අතර බලි ඇදුරන් පිරිසක්ද වූ බව ඉතිහාසයේ සඳහන් වේ. මෙම පිරිස් විසින් විහාර මන්දිරයද ඉදිකර ඇත. සතුන් හත්දෙනෙකු උපයෝගී කරගෙන බෞද්ධ සිද්ධස්ථානවල ද්වාරවල මකර තොරණ ඉදිකිරීමේ සම්ප්‍රදායට අනුව එම බලි ඇදුරන් විහාරස්ථානයේ මකර තොරණ සඳහා යොදා ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ කිසිම විහාරයක දක්නට නොලැබෙන දිය කිඳුරියකගේ රුවකි. විහාර මන්දිරයේ ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කර ඇත්තේ මැටි භාවිතයෙන් වන අතර බලි ඇදුරන් බලි ඇඹීමට යොදාගන්නේද මැටි බැවින් මෙම ප්‍රතිමාව නිර්මාණය කළ බලි ඇදුරන් එය මැටියෙන් අඹා පැරැණි කොහොල්ලෑ, දොරණ තෙල්, තෙල් එඩරු හා කෑල කොළ විශේෂයකින් ගත් යුෂ සහිත මිශ්‍රණයකින් ප්‍රතිමාව ආවරණය කර එම කෑල කොළ, මල් යුෂ ආදියෙන් සකසාගත් ආලේපයකින් ප්‍රතිමාව අලංකාර කොට ඇත.   


යකැදුරන් විහාර චිත්‍ර කර්මාන්තයට දායක වූයේද නැතහොත් විහාර සිත්තරු බලි කලාවේද නිරත වූයේද යන්න නිශ්චිතව වෙන් කරගත නොහැකි වුවද මෙම කලාවන් දෙක එකට ගමන් කළ බව විහාර සිතුවම් හා බලි සිතුවම් එකට සැසඳීමෙන් අපට පෙනීයයි. සපුගස්කන්ද විහාරයේ නවග්‍රහ සිතුවම්, මිරිස්ස සමුද්‍රගිරි විහාරයේ රාශි දොළහ සහ නැකැත්, ශෛලබිම්බාරාමයේ වියන් සිතුවම් මෙම බලි කලා​වේ බලපෑම හොඳින් පෙන්වයි​. මෙම කලාවන් දෙකේ මිශ්‍රණය මහාචාර්ය චන්ද්‍රා වික්‍රමගමගේ මහතාගේ “ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රතිමා කලාව” නම් ග්‍රන්ථයේදී මනාව පෙන්නුම් කර තිබේ.   


අතීත බලියාගාචාර්යවරු මෙයට පැරැණි වෙහෙර විහාර ආශ්‍රිත බිතුසිතුවම් හා ප්‍රතිමා නෙලීමේ කටයුතුවල නිරතවූවන් යැයි හඳුනාගැනීමට තවත් සාධක හමුවේ. ඓතිහාසික වෙහෙර විහාරවල නෂ්ටාවශේෂ කලාකෘති දෙස බැලීමේදී ඒ බව ගම්‍ය වේ. පොල්ගම්පොල විහාරය, ඇම්බැක්කේ විහාරය ආදී තැන්වල ඇති චිත්‍රවල හා මූර්තිවලද බලි කලා ලක්ෂණ දක්නට ලැබේ. දැනට කොළඹ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙන ක්‍රි.ව. පළමුවන සියවසට අයත් යැයි සැලකෙන අනුරාධපුර අභයගිරියෙන් සොයාගන්නා ලද විශාල ගල් තහඩුවේ ආයත චතුරශ්‍රකාර තලය වටේ “රාශි දොළස” කැටයමට නගා තිබීමද මෙහිදී වැදගත් සාධකයකි.   
නැකැත් සහ රාශි පිළිබඳ නක්ෂත්‍ර රූපවල අංගලක්ෂණ සඳහන් කවි රාශියක් යාග සාහිත්‍ය තුළ ද අන්තර්ගත වේ. පහතරට මුහුදුබඩ ප්‍රදේශ ආශ්‍රිතව බිහි වී වර්ධනය වූ වෙස් මුහුණු කලාවේ කේන්ද්‍රස්ථානය ලෙස අම්බලන්ගොඩ තෙල්වත්ත ආදි ප්‍රදේශ හැඳින්විය හැකි අතර මේවා නිපදවූ කලාකරුවන් විහාරස්ථාන සමග තිබූ සමීප සම්බන්ධතාව හේතු කොටගෙන ඔවුන්ගේ සමකාලීන වෙස් මුහුණු නිර්මාණයට එම විහාර සිතුවම්හි බලපෑමක් තිබෙන්නට ඇති බව පෙනේ.   


වෙස් මුහුණවල යොදා ඇති කැටයම් බොහෝවිට විහාර බිතුසිතුවම් හි දක්නට ලැබෙන මෝස්තර හා සම්‍යයක් පෙන්වයි. බිතුසිතුවම්වල දැක්වෙන කපු, කඩුපුල් නෙළුම්, කිඩාරම් ආදි මෝස්තර අතරින් නෙළුම් හා කිඩාරම් මල් බහුල ලෙස වෙස් මුහුණුවල ප්‍රකාශනාංග ලෙස යොදාගෙන ඇත. නිදසුනක් ලෙස මහසම්මත බිසවගේ මුහුණේ ඇති නෙළුම් මල විහාර බිතුසිතුවම්හි නෙළුම් මල්වලට සමාන වෙයි. තෙල්වත්ත විහාරයෙහි වියන් චිත්‍රයක තිබෙන පඤ්චනාරී ඝටය පසුකලෙක දී කෝලම් වෙස් මුහුණුවල රූපාකාරය සඳහා ද යොදාගෙන තිබේ. මේ අනුව විහාර සිත්තම් කලාවට බලි කලාවේ ආභාසය පමණක් නොව බලි, වෙස්මුහුණු කලාවටද සිතුවම් කලාවේ ආභාසයට ලැබී ඇති බව පෙනේ.   


බලි චිත්‍ර කලාවේ යෙදුණු යකැදුරන් පන්සල් ආශ්‍රිත සිතුවම්කරණයට නතුවීමත් සමග ඔවුන්ගේ චිත්‍ර මූර්ති කලාව පිළිබඳ පරිචය අතිශය පුළුල් ක්ෂේත්‍රයකට පැතිර ගොස් තිබේ. වි​ශේෂයෙන් පහතරට ප්‍රදේශවල බලියාගාචාර්යවරු විහාර චිත්‍රකරණය තුළින් පෝෂණය වී තිබෙන බව ඔවුන්ගේ බලි ඇඹීම් හා චිත්‍රකරණ දෙස බැලීමේදී පැහැදිලි වන බව විද්වතුන්ගේ මතය වේ. ඒවායේ වර්ණ ගැන්වීම, පසුබිම් වර්ණ හා ග්‍රහරූප සිතුවම්කරණයෙහි පවතින නිමාව දෙස බැලීමේදී ඒ බැව් තහවුරු වේ.   


මහනුවර සමයේදී පහතරට විසූ කඩොල්ගල්ලේ ඌරුපිටියේ ගණිතයා ප්‍රමුඛ පරපුරද, වැලිතර සිත්තර පරම්පරාවලට අයත් හිමප්පු ගරුන්නාන්සේ හෙවත් බබා ගුරුන්නාන්සේ එකල ප්‍රමුඛපෙළේ සිත්තර පරම්පරාවලට අයත් ප්‍රධානීහු වූහ. බලිරූප නිර්මාණය නිවැරදිව දැන කළ යුත්තක් බැව් ඇදුරන්ගේ සම්මත නීතියකි. එම නීති බලි ඇදුරන් අතර පවතිනුයේ පරම්පරාවේ ආවේණික ශිල්ප ක්‍රමයක් ලෙසටය. ඒ කරුණු නියමිත ක්‍රමයට උගන්වනු ලැබුවේ ඒ ඒ ප්‍රවේනි ඌරුමක්කාර ගෝල බාලයින්ට පමණකි. පරපුර හා කුලය යන්න උඩරට රාජධානි සමයේදී ප්‍රබල ලෙස ඉස්මතු වී තිබුණු නිසා විහාර සිත්තර කලාවේදී මෙන්ම බලි කලාවේදී ද එය බලපා තිබෙන බව පෙනේ.   


සබරගමු සම්ප්‍රදායේ බලියාගාචාර්යවරු අතර ‘‘“රත්මැටියලාගේ මද්දිලි” හෙවත් “ගල්ලෙපිට රාජකීය පනික්කි ගුරු” බලි චිත්‍ර කලාවට මෙන්ම පන්සල් චිත්‍ර හා විවිධ සිත්තම් කාර්යයන්හි දක්ෂයෙක් බව ප්‍රදේශවාසීන්ගේ පිළිගැනීම වේ. පැල්මඩුල්ල අාසන්න ඊරියන් දලුව විහාරයේ සහ ඕපනායක කන්දේ විහාරයේද, ඉඩංගොඩ විහාරයේ සුවිසි විචරණය සත්සතිය මාර පරාජය සහ විවිධ ජාතක කතා ඔහුගේ සිත්තම් බව ඒවායේ සනිටුහන් වී තිබේ.   


“මාරපන රතු ගණිතයා ගුරුන්නාන්සේ” විහාර චිත්‍ර කලාවට නැඹුරු වූ තවත් බලි ශිල්පියෙකි. රත්නපුර නිවිතිගල, කලවාන යන ප්‍රදේශ තදාසන්න විහාර සිතුවම් අතර මොහුගේ චිත්‍ර දැකගත හැකිය.   


“ගල්ලෙපිට මද්දිලි ගුරුන්නාන්සේගේ ගෝලයකු වූ “ හුණුවල ජී.ජී. හරමානිස් ගුරුන්නාන්සේ” බලි චිත්‍ර මුර්ති කලාවට අමතරව විහාර චිත්‍ර හා ප්‍රතිමා නෙලීමට දක්ෂයකු විය ඉඩංගොඩ විහාරයේ පැරණි පිළිමය නෙලීම සහ ඕපනායක සහ ගල්හිර ගොඩකවෙල යනාදී විහාරයන්හි ප්‍රතිමා නෙළීම ඔහුගේ අතින් සිදුවී ඇත. විවිධ භාරකාර ඔප්පු කරන්නන්ට දේවාල තිර දේවරූප හා මිනිස් රූප රෙදි තිරමත ඇඳ දීම ඔහුගේ ජීවනෝපාය වී ඇත.   
බලිරූප සහ විහාර චිත්‍ර ඇඳීමේ කටයුතුවලදී ඒවා අතර එකිනෙකට පරස්පර වූ ශිල්පක්‍රම අනුගමනය කරන බව හෙ​ෙතම පවසන අතර ප්‍රතිමා නෙළීම සඳහා “සාරිපුත්ත්‍රය” නමැති පුස්කොළ අත්පිටපතේ සඳහන් ආකාරයට කටයුතු කරන බවත් එසේම ගාන්ධර්වය, පාඨලීපුත්‍රය බිම්බානය වැනි පුස්කොළ (අත් පිටපත්) ග්‍රන්ථ අනුගමනය කරන බවත් පෙන්වා දෙයි. එයින් බැහැර වූ සාම්ප්‍රදායික ගුරුකුල ආශ්‍රයෙන් ඉගෙන ගත් බලි චිත්‍ර ඇදීමේ කලාව සහ ඇඹීමේ කලාව අනුගමනය කරමින් බලි සැරසිලිකරණයේ යෙදීම තමාගේ කාර්ය බව ඔහු පවසා ඇත.   


ඔහුගේ ආභාෂය ලත් “ඕපනායක මාත්තරගේ තේමිස්” හෙවත් “​ෙලාකු ළමයා ගුරුන්නාන්සේ” ද බලි ඇඳීමට හා ඇඹීමට දක්ෂයෙකි. නමුත් මොහු විහාර සිතුවම් කලාවට යොමු වී නොමැත. අතීතයේ විසූ “කේ. පබිලා” හෙවත් “බලන්ගොඩ පබිලා ගුරුන්නාන්සේ” බලි චිත්‍ර මූර්ති කලාවට මෙන්ම විහාර චිත්‍ර හා ප්‍රතිමා නෙලීමේදී දක්ෂයකු විය. ගොඩකවෙල විහාරයේ සූවිසි විවරණය මොහුගේ සිත්කමක් ලෙස පිළිගැනේ.   


නළු​ෙවල විහාරයේ සහ බලංගොඩ විහාරයේ සියලු පිළිම අඹන ලද්දේ ඔහු විසින් බැව් එහි සඳහන් වේ. සූවිසි විවරණය සත්සතිය හා බෝධිසත්ව ජාතක කතා ඔහුගේ නිර්මාණ ලෙස පිළිගැනේ. “නුගවෙල යද්දෙස්සලාගේ ඩිංගිරි ගණිතගුරු” ද බලි ඇඹීමට හා ඇඳීමට දක්ෂයෙකි. ඔහුගේ ඇසුරින් බලි චිත්‍ර මුර්ති කලාව ඉගෙන ගත් අයෙක් ලෙස “ඉනියාදෙනිය මනත්තලාගේ සාදිරිස්” ගුරුන්නාන්සේ හැඳින්විය හැකිය. ඔහු ඇසුරින් බලි චිත්‍ර කලාව ඉගෙනගත් කහවත්ත පනාපිටියේ නේපාල ගුරුතුමා වෙහෙර විහාර සිත්තරකු ලෙස හඳුන්වා දිය හැකිය.   


රත්නපුර අමුවල වතු පල්ලේ “උක්කු ළමයා ගුරු දෙනුන්ගෙදර හීඩගුරු, අමුවල කිරිමැණිකේ ගුරු සහ පෑලියකඩ මනන්තලාගේ කිරි බබා ගුරු” බලි චිත්‍ර මූර්ති කලාවට දක්ෂයෝ වූහ. ඇලපාත වරකාගොඩවත්තේ ‘“විලියොංසිඤ්ඤෝ ගුරු” දක්ෂ බලි සිත්තරෙකි. කහවත්තේ මඩගලගම “පේදිරිස් සහ සියදෝරිස් මාරපණ රතු ගණිතයා ගුරු, කිරිබත්ගල බබා ගුරුන්නාන්සේ” ආදීහු දක්ෂ බලි ඇදුරෝ මෙන්ම චිත්‍ර ශිල්පීහු වෙති. හිදැල්ලෙන පනුකැරැපිටියේ සිල්පා ගුරුන්නාන්සේ වෙතින් බලි චිත්‍ර මූර්ති ශිල්පය ප්‍රගුණ කළ ගලුකාගම වයි.එන්. දානියල් ගුරුන්නාන්සේ  දැනට සිටින බලි සිත්තරකු වශයෙන් වැදගත් වේ.   


ඇලපාත “පී එම්. බබානිස් ගුරු” දවුල් වාදනයට මෙන්ම බලි මූර්ති කලාව පිළිබඳව නිපුණත්වයක් තිබෙන ශිල්පියකු වේ. ඔහු විහාර චිත්‍ර හා වෙනත් වාණිජමය චිත්‍ර මූර්ති ක්‍රමවලින් තොරවූ බලි රූප ඇදීම හා ඇඹීමට පමණක් සීමා වූවෙකි. ඔහුගේ අදහස වනුයේ බලි චිත්‍ර හා මූර්ති විහාර දේවාලවල ස්වරූපයෙන් නිර්මාණය ​නොකළ යුතු බවයි.   


දියුණු සම්ප්‍රදායෙන් බලි චිත්‍ර ඇඳීමේදී හෝ ඇඹීමේදී බලි රූපවල ආවේණික ලක්ෂණ ඉක්මවා යෑමක් සිදුවන බව ඔහුගේ අදහස වේ. අතීතයේ දී විහාර චිත්‍ර මුර්ති කලාවට නැඹුරුව සිටි බලි සිත්තරු එම වෙනස පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කර තිබේ. ඔවුන් බලි චිත්‍ර ඇඳීමේ දී සරල ක්‍රම අනුසාරයෙන් වඩාත් ක්ෂණික නිර්මාණ කරන බවත් විහාර චිත්‍ර මූර්ති කටයුතුවල නිරතවීමේදී ඊට ආවේණික චිත්‍ර ශිල්ප ක්‍රම අනුසාරයෙන් ඒ කාර්යයයේ නියැලෙන බවත් හෙතෙම පෙන්වාදෙයි.   


මේ අනුව විහාර සිත්තර පරම්පරා පිළිබඳව සොයා යන ගමනේ දී බලි සිත්තරුන් පිළිබඳව සඳහන් කිරීම ඉතා වැදගත් බව පෙනී යයි. මන්ද උඩරට මෙන්ම පහතරට (විශේෂයෙන්ම පහතරට)  ප්‍රදේශවල විහාර බිතුසිතුවම් කලාවට බලි කලාවේ බලපෑම ලැබී තිබීමය. මෙම තොරතුරුවලට අනුව බලි ඇදුරන් විහාර සිත්තර කලාවේ ද නිරත වී ඇති බවත් එසේම විහාර සිත්තරුන් බලි යාග හෝමවලටද දායකත්වයක් ලබාදී ඇති බවත් සනාථ වේ. එම නිසා මෙම එකිනෙකට වෙනස් කලා අංග දෙකක ගුරුකුලයන් යම්යම් අවස්ථාවලදී එකට එකතු වී විහාර සිත්තර කර්මාන්තයේ යෙදී ඇති බව අනුමාන කළ හැකිය.   

 

 

 


කේ. උදේනි අරුණසිරි   
සංවර්ධන නිලධාරී   
ප්‍රාදේශීය පුරාවිද්‍ය කාර්යාලය   
රත්නපුර