ප්ලූටෝ ආයෙත් ග්‍රහලොවක් කරන්න


 සය හැවිරිදි දැරියක් නාසාට ලියයි

 


අයර්ලන්තයේ 6 හැවිරිදි කාරා ලුසී ඕ කොනර්ට ප‍්‍රශ්නයක් ඇත. ඇයට ප‍්‍රශ්නයක් වී ඇත්තේ ප්ලූටෝ ය. කලක්, ප්ලූටෝ අප සෞරග‍්‍රහ මණ්ඩලයේ නව වැනි ග‍්‍රහලොව ලෙස හැඳින්විණි. කෙසේ නමුත් අද වනවිට ප්ලූටෝ ග‍්‍රහයෙක් ලෙස සැලකෙන්නේ නැත. ප්ලූටෝ සැලකෙන්නේ කුරු ග‍්‍රහයෙක් ලෙසය. ‘ඒක අසාධාරණයි’ කියමින්, ප්ලූටෝ යළි ග‍්‍රහලෝකයක් ලෙස නම් කරන්නැයි ඉල්ලමින් මේ පුංචි දැරිය ඇමෙරිකාවේ නාසා ආයතනයට ලිපියක් යවා ඇත. ඒ, ඇගේ විද්‍යා ගුරුවරියගේ ද උදව් ඇතිවයි. 
  
‘ප්ලූටෝ හිරු වටා යන ගමන්මඟ සෙසු ග‍්‍රහයන්ගේ ගමන් මඟට වඩා වෙනස්. එය එක් හේතුවක් ප්ලූටෝ ග‍්‍රහකයක් නොවෙයි කියා හඳුන්වන්න. ඒක මම දන්නවා. මට ඒක තේරෙනවා. ඒත් ප්ලූටෝ ග‍්‍රහයෙක් නොවෙයි කියා තීරණය කළ දා පටන් ප්ලූටෝට අසාධාරණකම් රැසක් සිද්ධ වෙනවා. අන්තර්ජාලයේ පළ වන කාටූන් සිතුවම්වලින් දකින්න පෙනෙනවා ප්ලූටෝ දුකෙන් ඉන්නවා වගේ. තවත් කාටූන් චිත‍්‍රවල තියෙනවා ප්ලූටෝ කුණු කූඩයට විසි කර දාලා. ඒක හරි නැහැ. ප්ලූටෝ ආයෙත් ග‍්‍රහලෝකයක් කරන්න. මගේ මේ ප‍්‍රශ්නයට විසඳුමක් දෙන්න’ යැයි කාරා ලුසී ඕ කොනර්ගේ ලිපියෙහි සඳහන් වී තිබේ.   


නාසා ආයතනයේ ග‍්‍රහලෝක විද්‍යා අංශයේ ප‍්‍රධානී ආචාර්ය ජේම්ස් ගී‍්‍රන්ට පුංචි කාරා එවූ ලිපිය ලැබුණි. ඔහු එය හොඳින් කියවා බලා පිළිතුරු ලිපියක් පෙරළා එවීමට ද පියවර ගත්තේය.   


‘මම දන්නවා ප්ලූටෝට ලොකු අසාධාරණයක් සිද්ධ වෙලා. ඒක පැහැදිලියි. ප්ලූටෝ කියන්නේ ඇත්තටම හරි අපූරු ලෝකයක්. එහි ස්වභාවය තවමත් අපට අබිරහසක්. ග‍්‍රහලොවක් වුණත් නැතත්, කුරු ග‍්‍රහයෙක් වුණත් නැතත් මම විශ්වාස කරන විදියට ප්ලූටෝ තමයි අප සෞරග‍්‍රහ මණ්ඩලයේ අපූරුතම සාමාජිකයා. ග‍්‍රහලෝක ගැනත් අභ්‍යවකාශ කටයුතු ගැනත් පුංචි ඔයාට හොඳ අවබෝධයක් තිබෙන බව මට පෙනෙනවා. හොඳට ඉගෙන ගන්න. ලොකු වුණාම නාසා ආයතනයට එක් වෙන්න අවස්ථාවක් ලැබේවි’ යැයි පිළිතුරු ලිපියෙහි සඳහන් විය.   


තමන් විශ්වයේ සැඟවුණු නව ග‍්‍රහ ලොවක් සොයා ගැනීමට උත්සාහ කරන බව ද කාරා නාසා ආයතනයට දන්වා ඇත. කාරා, ඇගේ පාසලේ ආධුනික තාරකා විද්‍යා සංගමයේ සාමාජිකාවකි. තමන් සොයා ගන්නා නව ග‍්‍රහ ලොව ‘යුනිකෝන්’ යනුවෙන් නම් කරනවා යැයි ද ඇය නාසා ආයතනයට යැවූ ලිපියෙහි සඳහන් වී ඇත.  


‘ග‍්‍රහලෝක, තරු ගැන අභ්‍යවකාශ කටයුතු ගැන ඇය හරිම උනන්දුයි. ඇයට ඒ දේවල් ගැන හොඳ දැනුමක් තියෙනවා. අලුත් දේවල් දැන ගන්න ඇය ආසයි. ඇය අහන ප‍්‍රශ්නවලට මටත් සමහර වෙලාවට බෑ පිළිතුරු දෙන්න’ යැයි කාරාගේ විද්‍යා ගුරුවරිය සේරා ඕ ඩොනවන් කියා සිටී. කාරා ඉගෙනුම ලබන්නේ අයර්ලන්තයේ කෝක් හි ග්ලැෂීන් පාසලේය.   


ග‍්‍රහලොවක් ලෙස සැලකුණු ප්ලූටෝ 2006 වසරේ සිට, ග‍්‍රහ ලෝකයක් නොවන බවත්, එය කුරු ග‍්‍රහයකු බවත් තීරණය කෙරුණි. එසේ තීරණය කළේ, ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමයයි. ප්ලූටෝ කුරු ග‍්‍රහයකු යැයි තීරණය කළේ, අපේ සෞරග‍්‍රහ මණ්ඩලයේ සෙසු ග‍්‍රහලෝක මෙන් නොව ප්ලූටෝ හිරු වටා යන්නේ ඊට ආවේණික වූ වෙනස් ගමන් මඟක වීම නිසාය. එය යළිත් වරක් ප්ලූටෝ සෞරග‍්‍රහ මණ්ඩලයේ ‘ග‍්‍රහලෝකයක්’ යැයි නම් කිරීමට කථිකාවතක් ආරම්භ වී ඇත. කාරා දැරිය නාසා ආයතනයට සිය ලිපිය යැවුවේ එසේ කතිකාවතක් ඇරැඹි අවස්ථාවකය.   


ප්ලූටෝ යළි ග‍්‍රහලොවක් ලෙස නම් කරනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් ඊට පක්ෂවත් විරුද්ධවත් අදහස් පළ වී තිබේ. ඒ සම්බන්ධයෙන් ලෝකයේ ප‍්‍රකට තාරකා විද්‍යාඥයන් රැසක් තම තමන්ගේ අදහස් ඉදිරිපත් කර ඇත. කෙසේ නමුත් තවමත් ස්ථිර නිගමනයකට පැමිණ නැති අතර, ප්ලූටෝ යළි ග‍්‍රහලොවක් ලෙස නම් කිරීමට ඉඩ ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ.   


ප්ලූටෝ ග‍්‍රහ ලෝකයක් ද නැද්ද යන්න විවාදයට ගැනෙන්නේ ඇමෙරිකාවේ මැසචුසෙට්හි කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ තාරකා භෞතික විද්‍යා පීඨයේ මැදිහත් වීමෙනි. ඊට සහභාගී වුණු විශේෂඥයන් ප්ලූටෝ ග‍්‍රහලෝකයක් ද නැද්ද යන්න ගැන ඔවුනොවුන්ගේ අදහස් ඉදිරිපත් කළ බව වාර්තා විය.   


කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ තාරකා භෞතික විද්‍යා පීඨයේ පැවැති එම දේශනයට ආධුනික තාරකා විද්‍යාඥයන් ද ඇතුළු බොහෝ දෙනෙක් සහභාගී වූහ. එහිදී ප්ලූටෝ ග‍්‍රහලෝකයක් ද නැද්ද යන්න සම්බන්ධයෙන් ඡන්ද විමසුමක් පැවැත් වුණු අතර, පැමිණි සිටි පිරිසට ද ඡන්දය ප‍්‍රකාශ කිරීමට අවස්ථාවක් ලැබුණි.   


ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමයට අනුව, ග‍්‍රහ ලෝකයක් වීමට නම් සුදුසුකම් තුනක් සපුරා තිබිය යුතුය. පළමු සුදුසුකම හිරු වටා භ‍්‍රමණය වීම සහ තවත් ග‍්‍රහලොවක චන්ද්‍රයකු නොවිය යුතුය යන්නය. දෙවැන්න තමන්ටම ක්‍රියා ගුරුත්වාකර්ෂණ බලයක් ඊට තිබිය යුතු අතර, එය ගෝලාකාර හැඩයක් ගත යුතුය. අවසන් සුදුසුකම සෞරග‍්‍රහ මණ්ඩලයක සෙසු ග‍්‍රහලෝක ගමන් කරන ආකාරයට හිරු වටා භ‍්‍රමණය විය යුතුයි. ප්ලූටෝ ට නැත්තේ මෙම සුදුසුකම පමණි. සෙසු ග‍්‍රහලෝක ඉලිප්සාකාර හැඩයකින් හිරු වටා භ‍්‍රමණය වන අතර ප්ලූටෝගේ ගමන් මඟ එසේ නොවේ. අසාමාන්‍ය ගමන් මඟ නිසා 1979 වසරේදීත්, 1999 වසරේදීත් ප්ලූටෝ ඊට පෙර ඇති නෙප්චූන් ග‍්‍රහ ලොවටත් වඩා හිරුට සමීප විය.  


එම වසරවලදී සෞරග‍්‍රහ මණ්ඩලයේ දුරින්ම පිහිටි ග‍්‍රහලෝකය වූයේ ප්ලූටෝ නොව නෙප්චූන්ය.   


ප්ලූටෝ හිරු වටා භ‍්‍රමණය වෙද්දී, අනෙක් ග‍්‍රහලෝක නොකරන දෙයක් කරයි. ඒ, සෞරග‍්‍රහ මණ්ඩලයෙන් එපිට පිහිටා ඇති කුයිපර් වළල්ල තෙක් ගමන් කරයි. එම කලාපයේ වෙනත් ග‍්‍රහ වස්තූන් ද පිහිටා ඇත. මේ කරුණු කාරණා සැලකිල්ලට ගනිමින්, ප්ලූටෝ ග‍්‍රහලෝකයක් නොව, කුරු ග‍්‍රහයකු යැයි 2006 වසරේ දී මුලින්ම ලොවට හෙළි කළේ තාරකා විද්‍යාඥ ආචාර්ය ගැරෙත් විලියම්ස්ය.   


මොහු කුරු ග‍්‍රහලෝක වෙනුවෙන් පිහිටුවා ඇති තාරකා විද්‍යා සංගමයේ සාමාජිකයෙකි. ඔහු ගෙන ආ තර්ක පිළිගැනීමෙන් පසු, ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමයේ විද්‍යාඥයන් තීරණය කළේ ප්ලූටෝ ග‍්‍රහලෝකයක් නොව, කුරු ග‍්‍රහයකු කියාය.   


පෘථිවියේ සිට දුරින්ම පිහිටා ඇත්තේ ප්ලූටෝ ය. අභ්‍යවකාශ යානයක නැගී ප්ලූටෝ තෙක් යෑමට හැකි නම් (එතරම් දුරකට මිනිසුන් රැගෙන යෑමට අභ්‍යවකාශ යානයක් මෙතෙක් නිර්මාණය වී නැත.) පැයට කිලෝ මීටර් 1,810 ක වේගයකින් පෘථිවියේ සිට ප්ලූටෝ වෙත යෑමට අවුරුදු 370ක් ගත වේවි. ප්ලූටෝට චන්ද්‍රයෙක් සිටී. ‘කැරොන්’ නමැති එය සොයා ගනු ලැබුවේ 1978 වසරේදීය. එය පිහිටා ඇත්තේ ප්ලූටෝගේ සිට කිලෝ මීටර් 20,000ක් තරම් ළඟිනි. එහි විෂ්කම්භය කිලෝ මීටර් 800 කි. ප්ලූටෝහි දරුවකු උපත ලැබුවහොත් (එය ද විය නොහැකිය.) පෘථිවි වර්ෂ අනුව, එම දරුවාගේ පළමු උපන්දිනය සැමරීමට නම් වසර 248ක් ගත වේවි. ප්ලූටෝ ග‍්‍රහලොවක් ලෙස මුලින්ම සොයා ගැනුණේ 1930 දීය. විෂ්කම්භය කිලෝ මීටර් 2,400ක් යැයි පැවැසෙයි. එය අපේ චන්ද්‍රයාටත් වඩා කුඩාය. බරින් ද ඉතා අඩුය.   

 

 

 


ලුසිත ජයමාන්න   
රොයිටර් ඇසුරිනි