පතලේ වැඩට පවුලේ අයම ගන්න රහස


මැණික් නිම්නයේ  යකඩ මිනිස්සු -3

 

 

කොළඹ සිට ඕපනායක දක්වා දශක අටකට ආසන්න කාලයක් ගමන් කළ කැලණිවැලි දුම්රිය, අවිස්සාවේල්ල දක්වා පමණක් සීමා වී නැවතුණේ හැත්තෑ හයේය. දුම්රිය ගමන් නැවතීමත් සමඟම, විවිධ තරාතිරමේ පුද්ගලයෝ දුම්රිය පාර අල්ලා ගත්හ. අවිස්සාවේල්ල සිට මාරපන දක්වා වූ කොටසේ දුම්රිය පාර තැනින් තැන වැටී තිබුණේ, මැණික් බහුල නිම්නයන් හරහා ය.
   
හැත්තෑ හතේ ආණ්ඩු පෙ​රළියෙන් පසු විවෘත ආර්ථිකය රටට හඳුන්වා දීමත් සමඟම තායි ජාතික මැණික් වෙ​ෙළඳුන් ලංකාවට පැමිණ, රත්නපුරේ තාවකාලිකව නැවතී මැණික් මිලදී ගැනීමත් සමඟ මැණික් සඳහා මිලක් ලැබෙන්නට විය. විශේෂයෙන් නිල්, රතු, ආර්නුල්, වෛරෝඩි, පසිංගල් වැනි වටිනා ගල්වලට වඩා, මිලක් තිබුණේම නැති ගෙවුඩ, ඔට්ටු සහ කොලිටි යන නම්වලින් හැඳින්වූ ගල්වලට වෙ​ෙළඳපොළ මිලක් ආවේ ය. 
රත්නපුරේ මැණික් හමුවුණත් පනහ හැට දශකවල මැණික් ව්‍යාපාරය පැවතුණේ බේරුවල මුස්ලිම් ව්‍යාපාරිකයන් අතේය. නමුත් සමගි පෙරමුණ බලයට පත් වී මැණික් සංස්ථාව පිහිටුවීමෙන් පසු මැණික් ගැරීමේ ක‍්‍රමවේදයේ යම් විධිමත්බවක් සහ පැතිරයාමක් ඇති විය. රත්නපුර සහ අවට ප‍්‍රදේශවල සිංහල මැණික් ව්‍යාපාරිකයෝ ද බිහි වූහ. එහෙත් රබස්, තෝරමල්ලි, කිරිංචි, ගෝමේද, අඹතෙස්, පදියං වැනි ගල් සඳහා මිලක් තිබුණේම නැත. හැත්තෑහතෙන් පසු මැණික් කැපීමේ කර්මාන්තයේ ද විශාල ප‍්‍රවණතාවක් සිදුවිය. ඒ අනුව එවැනි ජාති නොවන ගල් තොග වශයෙන් අලෙවි වූ අතර ඒවා කපා ඔප දමා ලොට් (තොග) ගණනට අලෙවි වන්නට විය. ඒ සමගම සුළු මැණික් ව්‍යාපාරිකයන් කොටසක් ද බිහිවිණ. 


මැණික් කර්මාන්තයේ දී විශ්වාස කළ හැකි කිසිවෙකුත් නැත. ආදි කාලීන බමුණන් කාන්තාවන් ගැන කියා තිබුණේ ‘‘අවස්ථාව ලද විට කාන්තාවන් වරදෙහි බැඳෙන බවය.’’ මැණික් කර්මාන්තයේ ද ඕනෑම පුද්ගලයෙකු මැණිකක් දුටු වහාම එය තමන් සන්තකයේ කරගන්නට ඇත්නම් එය කරන බව මැණික් ක්‍ෂේත‍්‍රයේ නියැළුණු සියලුම දෙනාගේ විශ්වාසයයි. 


බටුහේන කොස්ගොඩ පදිංචි සමන් රාජපක්‍ෂ මහතා හැටපස් වන වියේ පසුවන්නෙකි. අවුරුදු පහළොවේදී පතල් රස්සාවට බැස්ස ඔහු පසුකාලීනව තමන්ගේම ඉඩම්වලට බලපත‍්‍ර ද ලබාගෙන පතල් හිමියෙකු බවට පත්ව මැණික් ක්‍ෂේත‍්‍රයට පිවිසි කෙනෙකි. 


“රත්නපුරේට එන කෝච්චිය නැවතුණාට පස්සේ කෝච්චි පාරේ මැණික් පතල් කපන්න මිනිස්සු පුරුදු වුණා. ඒ පතල් කපන්නේ හොරෙන්. කිසිම හවුලක් නෑ නොවැ. වැඩකරන දෙතුන් දෙනා අතර කොටස් බෙදිලා යනවා. මමයි තව දෙන්නෙකුයි දවසක් ගියා රේල් පාරේ පතල් කපන්න. පාර උඩ තිබුණට පහළ බෑවුමෙන් ඉල්ලම් හොයාගෙන යන්නේ යන්නේ. 


ඉල්ලම් කඩමින් හිටි කෙනා අඟල් හයක විතර දිග පිපිඤ්ඤා ගෙඩියක් වගේ ගලක් අහුවෙලා කිව්වා මේක හෝදලා බලමු, මේක හොඳ ගලක් වෙන්නැති බරත් තියනවා. කියලා කිව්වා. ඒ ගල කිරිමැට්ටෙන් වැහිලා තිබුණේ. හෝදලා බලපුවාම තැනින් තැන නිල් කෑලි තියන ලොකු ගලක්. ගරලා බලන කොට ඊට කුඩාවට තව ගල් කෑලි හතරක් විතරත් තිබුණා. 


අපි තුන්දෙනා මේ ගල අරගෙන ඇහැලියගොඩ බුලත් මුදලාලි ගාවට ගියා. රුපියල් හයදාහක් මිල ගැහුවා. එක හවුල්කාරයෙක් කිව්වා ගල අතාරිමු කියලා. ඒත් අපි ගල අතාරියේ නෑ. අටදාහට එනකං ගලේ මිල ඉස්සුවා. ඒ ගල අටදාහට දුන්නා. තුන්දෙනා සල්ලි බෙදා ගත්තා. ඒ සල්ලිවලින් මම ගෙයකුත් හදාගත්තා. එතකොට සිමෙන්ති කොට්ටයක මිල රුපියල් නවයයි. විකුණන්න බැරිවුණ තව පොඩි ගලක් අරගෙන රත්නාලෝක මුදලාලි ගාවට ගියා. කොළ හුළඟ යනවට තියන්න හොඳා කියලා රුපියල් තුන්සියයකට ඒ ගල රත්නාලෝක මුදලාලි ගත්තා.” සමන් රාජපක්‍ෂ මහතා විස්තර කළේ ය. 


මැණික් කිරන්නේ කැරට් ගණනටය. පතලකින් මැණික් ගලක් හමුවූ පසු එහි බර ගැන කතාවෙන්නේ මේ කියන කැරට් ගණනින්ය. “අහවල් පතලේ කැරට් ..... ක ගලක් හම්බ වෙලාලු” යන ආරංචිය පැතිර යන්නේ ලැව්ගින්නක් සේ ය. 


මැණික් සඳහා වෙ​ෙළඳපොළක් ඇතිවීමත් සමඟම ඉඩම්වලට බලපත‍්‍ර ලබාගැනීමේ දී විවිධාකාර ගැටලු ද එන්නට විය. සමහර කොටස් හිමියන් බලපත‍්‍රකරුට විරුද්ධ වූවොත් බලපත‍්‍ර ලබාගැනීම අසීරුය. එනමුදු ඉඩමේ අයිතියෙන් තුනෙන් දෙකක් සතුව ඇත්නම් බලපත‍්‍රයක් ලබාගත හැකි බව පැවසුවේ සමන් රාජපක්‍ෂ මහතාය. 

 

 

“ගලක් හම්බවුණොත් බිම් හවුලට බෙදෙන අකමැති තුනෙන් එක සංස්ථාවේ බඳින්න ඕනෑ. ඒ කොන්දේසිය මත තමයි ලයිසන් දෙන්නේ. අර අයිතිය තියනවයි කියලා විරුද්ධ වුණ අය අයිතිය පෙන්නලා ඒ අයට හිමි පංගුව සංස්ථාවෙන් ගන්න ඕනෑ.” 


“ඒ විතරක් නෙවෙයි අපි ඉඩමකට බලපත‍්‍රයක් ඉල්ලුවාම සමහරු බලපත‍්‍ර දෙන්න එපා කියලා සංස්ථාවට ලියුම් ඉදිරිපත් කරලා බලපත‍්‍ර ගන්න දෙන්නේ නෑ. මම අපට අයිතිය ති​ෙයන කුඹුරු ඉඩමකට ලයිසන් ඉල්ලුවා. ගොවියා නීතිඥ මහතෙක් අල්ලාගෙන සංස්ථාවට ලියුමක් දුන්නා. බලපත‍්‍ර දීම නවත්වලා පරීක්‍ෂණයක් නියම කළා. දෙපාර්ශ්වය ගියා. මම මගේ අයිතිය කිව්වා. නීතිඥ මහත්තයා බලපත‍්‍රය ගැනීමේ අදහස පිට මට විරුද්ධ පාර්ශ්වය වෙනුවෙන් පෙනී හිටියා. දෙපාර්ශ්වයටම කරුණු ලිඛිතව ඉදිරිපත් කරන්න කියලා කල් දුන්නා. එහෙම වෙලාවට ඉතිං ඒ කරුණු ගොනු කරන්න නීතිඥ මහත්වරු හොයාගෙන යෑම තමයි සිරිත. ඒක හදනවට සල්ලිත් දෙන්න ඕනෑ. ඒ විතරක් නම් මදෑ. සමහර නීතිඥ මහත්වරු හවුලකුත් ඉල්ලනවා. මේ පතල් කර්මාන්තේ එවැනි මාෆියා තියනවා. 


ඉතිං මං කාගෙවත් උදව් ගන්නේ නැතුව මගේ දැනීමේ හැටියට මට එන අයිතිය කොහොමද කියලා ලිව්වා. අනික් පැත්තේ අය නීතිඥ මහත්තයා ලවා ලියලා සංස්ථාවට ඉදිරිපත් කළා. සංස්ථාව ඒ ලිපි දෙක පරීක්‍ෂාවට ලක් කරලා මගේ ලියුමේ කරුණු පිළිගත්තා. මට බලපත‍්‍රය දෙන්න තීන්දු කළා. ඔන්න ඔහොමයි අපි නීතිඥ මහත්තුරුත් පැරැද්දුවේ. 


මැණික් පතලක් කරනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. ගල් හොරකම් කරන එකෙන් බේරගන්න ඕනෑ. නඩුහබ ඇති වුණාම නීතිඥ මහත්තුරුන්ගෙන් බේරාගන්න ඕනෑ. සමහර නීතිඥ මහත්තුරු දෙපැත්තෙන්ම ගන්න අය ඉන්නවා. එහෙම හිටිය අය දැන්නම් ජීවතුන් අතර නෑ.” සමන් රාජපක්ෂ මහතා පැවසුවේය. 


මැණික් ඉල්ලම් ගොඩ දැමූ පසු ඉල්ලම්වලට සිදුවන ඇතැම් සිදුවීම් ඔහු විස්තර කළේ මෙසේ ය. 


“මේක මම අහපු කතාවක්. එක්තරා තට්ටු පතලක ඉල්ලම් කඩද්දි ගලක් ඉල්ලමේ තිබුණ බවට විශ්වාසයක් යට හිටපු දෙන්නට ඇති වුණා. නමුත් පොළොවෙන් ගැලවුණ ගල හෙව්වට හම්බ වුණේ නෑ. ඉල්ලම් එක්ක උඩට යන්න ඇති කියලා හිතුවා. ගැඹුර පතල්වල දවස් දහය පහළොව ඉල්ලම් අරගෙන තමයි ගරන්නේ. ගන්න ඉල්ලම් දාන්නේ ඉල්ලම් කමතේ. 


මේ දෙන්නට ලොකු සැකයක් තිබුණේ ගලක් ගියාමයි කියලා. ඉල්ලං හෝදනකං ඉස්පාසුවක් නෑ. ඒත් කරන්න දෙයක් නෑ. ඉල්ලම් අරං ඉවර වෙන්න එපායැ ගරන්න. ඉල්ලම් ගොඩ දැම්මට පස්සේ රාත‍්‍රියේ ඉල්ලම් මුරට පතල් වාඩියේ දෙන්නෙක් අනිවාර්යයෙන්ම ඉන්නවා. 


මේ කියන පතලේ ඉල්ලම් අරං ඉවර වෙලා තිබුණේ නෑ. එක දවසක් උදේ පතලේ වැඩට කට්ටිය එනකොට මුරට හිටපු දෙන්නා බැඳලා කටේ පාංකඩත් ඔබලා. එක්කෙනෙක් දබරෙ ළඟ ගැට ගහලා, අනික් කෙනා වාඩියේ කණුවක ගැටගහලා. වටපිටේ බලද්දී කමතේ තිබුණ ඉල්ලම් කඳුළක් නෑ. කටේ ඔබලා තිබුණ පාංකඩ අයින් කරලා ලෙහලා ඇහුවා මොකද වුණේ කියලා. ‘රෑ දොළහට විතර තුවක්කුවක් අරගෙන තුන් හතර දෙනෙක් ඇවිත් තුවක්කුව පෙන්නලා කෑගැහුවොත් වෙඩි තියනවා කියලා බය කරලා අපිව ගැට ගහලා ඉල්ලම් ටික අරගෙන ගියා’ කියලා කිව්වා. ආපු අය කවුද කියලා දන්නේ නෑ කිව්වා. 


ඉතිං මොනවා කරන්න ද? පොලිසි යන්න කෝ සාක්කි. වැඩේ අතෑරලා දාලා ඉන්න කොට ටික දවසකට පස්සේ ආරංචි වෙලා තියනවා ඒක පතල් කට්ටියගෙම ප්ලෑන් එකක් කියලා. අර මැණික් ගලක් ඉල්ලමේ තියනවා කියලා විශ්වාස කරපු දෙන්නාගේ සැලසුමක්. මුරට හිටපු දෙන්නත් වැඩේට හවුල් කියලා පස්සේ ආරංචි වුණා. ඔය වගේ සටකපටකං මේ පතල් කර්මාන්තේ එමටයි. පොලිසි ගියයි කියලා, නඩු ගියා කියලා ඕවා ඔප්පු කරන්න කවදාවත් බෑ. එක්කෝ බය කරලා ගොඩිං බේරාගන්නවා. නැත්නම් අතෑරලා දාලා ඉන්නවා.” සමන් රාජපක්‍ෂ මහතා විස්තර කළේ ය. 


“මේ විදියට ගැඹුරු පතල්වල මැණික් හොරකම් කරන්නට හේතුවක් තියනවා. ගැඹුර පතල්වල හවුල් වැඩියි. බිම් හවුල්, ලයිසන් හවුල, ලී හවුල, මැෂින් හවුල, වියදම් හවුල වාගේ දේවල්වලට අයින් කරලා ඉවරවෙලා තමයි වැඩ හවුල්වලට බෙදන්නේ. 


ඉතිං මාස ගානක් වැඩකරලා හම්බවෙන ගල්ටික විකුණුවම සමහරවිට කරු හවුලට රුපියල් දෙතුන්දාහ එන වෙලාවලුත් තියනවා. ඒ හින්ද තමයි මැණික්ගල් හොරකම් කරන්නේ. එතකොට ගල හොරෙන් විකුණුවම හොරකම් කරපු කිහිප දෙනා අතරෙ තමයි ඒ මුදල් බෙදිලා යන්නේ. ඒක ලොකු මුදලක්. හැබැයි ඉතිං ගලක් හොරකම් කළාම ටික දවසකට පස්සේ වැඩේ ආරංචි වෙනවා. ඒ වුණාට කවදාවත් ඔප්පු කරන්න බෑ. අතටම අහුවුණොත් හැරෙන්න ඔප්පු කරනවා බොරුයි. ඒක දන්න හින්දා තමයි මැණික් ගලක් පතලෙදි හොරකම් කරන්න පෙළඹෙන්නේ. 


මැණික් මුදලාලිත් හොරෙන් මැණික් ගලක් එයාල ළඟට එනවට හරිම කැමතියි. කේවල් කිරීමක්, ගණන් උස්සන එකක් ඒ ගල්වලට වෙන්නේ නෑ. සමහර වෙලාවට නියම වටිනාකමින් දහයෙන් විස්සෙන් එකකට තමයි ගල විකුණන්නේ. හොරකම් කරන ගල්වලින් ලාභ ලබන්නේ මුදලාලිලා. ඒ වගේම තමයි මුදලාලිලා ඒ ගල් විකුණපු අය ගැන නම් කවදාවත් හෙළි කරන්නේ නෑ. දේව රහසක් විදියට ඒක රකිනවා. එතකොට තමයි හොරකම් කරන ගල් එන්නේ. මේවා කියනවට මුදලාලිලා කැමති නැතුව ඇති. ඒ වුණාට තිත්ත ඇත්ත ඒක.” සමන් රාජපක්‍ෂ මහතා තවත් පැතිකඩක් හෙළි කළේ ය. 


මෙන්න මේ වගේ වැඩ හින්දා මැණික් පතලකට බලපත‍්‍රයක් ගත් පසු කරු හවුලට හෝ හරි හවුලට වැඩ කරන්න දන්න කියන අයම ගන්නට පුරුදුව සිටිති. සමහර වෙලාවට එකම පවුලේ කිහිප දෙනෙක්, ළඟම විශ්වාසවන්ත ඥාතීන් එක්කර ගන්නේ ඒ නිසාය. 


පතල්වලින් ලැබෙන මැණික්වල මිල නියම කිරීම් සම්බන්‍ධයෙන්ද ඇතැම් අවස්ථාවල නොයෙක් මතභේද තිබේ. සමහර මැණික් පතල්වල බලපත‍්‍රලාභියා වන්නේ මැණික් ව්‍යාපාරිකයෙකි. ලී හවුලද, මැෂින් හවුලද ඔහුගේ ය. සමහර ව්‍යාපාරිකයන් පතල් කපන්නට පෙර ඉඩමද ඔහු සතු කරගන්නා අවස්ථා තිබේ. 

 

 

මැණික් පතල් බාස් කෙනකු වූ මීට පෙර දෙසතියේ අපිට තොරතුරු හෙළි කළ බී.එම්. සිරිමානිස් මහතා එවැනි මැණික් පතල්වල හමුවන මැණික්වල වටිනාකම තීරණය කරන අයුරු පැහැදිලි කළේ ය. 


“මං මේ කියන්නේ ටික කාලයකට ඉස්සර සිදුවුණ ආකාරය. දැන් බලපත‍්‍ර කඩදාසිය සාමාන්‍ය කෙනෙක් ගත්තොත් හම්බවෙන මැණික් වෙන්දේසියේ විකුණන්නේ. ගොඩාක් වෙලාවට බලපත‍්‍ර කඩදාසිය අයිති කෙනාගේ ගෙදර තමයි වෙන්දේසිය තියෙන්නේ. මැණික් ගලක් පතලේදී හම්බවුණාම හවුල්කාරයෝ සේරම ගල බලලා ඒක සීල් කරනවා. සීල් කරලා බලපත‍්‍ර අයිතිකාරයා ළඟ එහෙම නැත්නම් ඉඩම් අයිතිකාරයා ළඟ ගල පරිස්සමට තියනවා. 


සීල් කරන්නේ වෙන කාටවත් ගල බලන්න බැරි වෙන්න. නැත්නම් ගල තියන එක්කෙනා හොරෙන් මුදලාලිලාට පෙන්නලා ඔපර් ගන්න එක වළක්වන්න. වෙන්දේසි දවසේ නියම කරගත් වෙලාව ආවාම, පතල් කට්ටිය ඉස්සරහ සීල් පරීක්‍ෂා කරලා බලලා සීල් කඩලා ගල එළියට ගන්නවා. ඊට පස්සේ මුදලාලිලා ගල බලලා තුණ්ඩු දානවා. තුණ්ඩුවල ගලට එයාගේ ගාන ලියන්නේ. කාගෙ තුණ්ඩුවද කියලා දැනගන්න එයාලගේ වාහන නොම්බරේ නැත්නම් නමේ කොටසක් ලියනවා. 


ඔය අතරේ පතලේ වැඩකරන අයත් තුණ්ඩුවක් දානවා. ඒ ගානට අඩුවෙන් තුණ්ඩු තිබුණොත් ගල නොදී ඉන්න පුළුවන්. නැත්නම් වැඩි තුණ්ඩුවට දෙනවා. සමහරු තුණ්ඩු එකක් නෙවෙයි දෙකක් විතරත් දානවා. තව හවුල් තුණ්ඩු දානවා. වෙන්දේසි ක‍්‍රමයේදී ගලට මිලක් එනවා. 


ඒ වුණාට මැණික් මුදලාලිලා බලපත‍්‍ර ගත්ත මැණික් පතල්වල හම්බවෙන මැණික්වලට මිල නියම කරන්නේ මුදලාලිමයි. කීය කිව්වත් ගාන ඒකමයි. ආය වෙන මුදලාලි කෙනෙකුට පෙන්නලා ඔෆර් එකක් ගන්න බෑ. සමහර වෙලාවට වටිනාකමෙන් දහයෙන් එකක් වගෙ තමයි මුදලාලි මිල කියන්නේ. මොනවා කරන්න ද? දෙන ගාන අරගෙන ආයෙත් මුදලාලිට කඹුරනවා. මේ වගේ සූරාකෑම්වලට කවදාවත් විසඳුම් නෑ. සමහර මුදලාලිලා ගලක් හම්බවුණාම එයාම ගලට මිල නියම කරලා කපන්න ඕනෑ හවුල් ටිකයි, තැරැව්වයි, වැඩි වියදමුයි, අරකයි, මේකයි කියලා කැපුවම වැඩකරපු කෙනෙක්ගෙ අතට එන්නේ පිච්චියයි. වැඩකරපු දවස් ගාන බැලුවම කුලියක මුදලවත් නෑ.” සිරිමානිස් බාසුන්නැහැ පතල් වැඩකරන කරු හවුල්කාරයාගේ සැබෑ තත්ත්වය හෙළි කළේය. 

 


අජිත්ලාල් ශාන්තඋදය