නිය අලංකරණයට කැමති ඔබට


අදහස් - රූපලාවණ්‍ය ශිල්පිනී 
නදීශා දල්රුක්ෂි

වර්තමානයේ  මුහුණට, සමට, කොණ්ඩෙට විතරක් නොවේ, නියපොතුවලටත් වෙන් වුණු රූපලාවණ්‍යාගාර ලෝ පුරා රටවල බිහිව තිබෙනවා. ඒ මිනිසුන් තමන් ගේ නිය සම්බන්ධවත් බොහෝ සෙයින් උනන්දු වෙන නිසා බැව් අමුතුවෙන් කිව යුතු නෑ.එහෙයින් Nail Art නැත්නම් නිය අලංකරණය පිළිබදව - ඔබ නොදන්නා සහ දන්නා නමුත්, දන්නා දේ පිළිබඳ වැඩිදුර අවබෝධයක් ලබාදීමට අප සිතුවා.

ඒ කටයුත්ත වෙනුවෙන් “සඳැල්ල” එක් කර ගත්තේ - Pink Nail Saloon හි, රූපලාවන්‍ය ශිල්පිනී නදීශා දල්රුක්ෂි ය. ඇය සමග සිදුකළ කතාබහයි මේ.  

ප්‍ර Nail Art  යනුවෙන් අදහස් කරන්නේ මොකද්ද?

අද වෙනකොට Nail Saloon කියන එක ලෝකයේ වගේම ලංකාවේ ත් ජනප්‍රිය වී ගෙන යනවා. ඒ අතර  Nail Art එකක් නැත්තම් නිය අලංකරණය කියන දෙයට කරුණු කීපයක් ඇතුළත් වෙනවා. ඒ කියන්නේ  Nail එක සම්බන්ධව නියපොත්තට දාන නිය අලංකරණය, අලුතෙන් නිය දාන එක, නිය පිරිසිදු කරන එක, නිය සෞඛ්‍යය වැනි කාරණා කීපයක්ම  නිය අලංකරණය යන්නට ඇතුළත් වෙනවා.

ප්‍ර නිය අලංකරණය කරන්න කොයිතරම් දුරට පුහුණුවක් අවශ්‍ය වෙනව ද?

නිය අලංකරණයට අනිවාර්යයෙන් ම විධිමත් විද්‍යානුකූල පුහුණුවක් අත්‍යවශ්‍යයි. අනෙක් අතට පුහුණුව විතරක්ම නෙමෙයි, මේ අලංකරණයන් පිළිවෙළට කිරීමේ නිපුණත්වය ද ඕනෑ. මේක නව තාක්ෂණයත් එක්ක යන නිසා කරන ක්‍රමවේදය හොඳින් ග්‍රහණය කර ගන්න අවශ්‍යයි. ඒ නිසා මෙම කටයුතු කරද්දී පුහුණුව, නිර්මාණශීලී චින්තනය, ඉවසීම වැනි කාරණා අත්‍යවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් Nail Course එකක් මාස3–6ත් අතර වගේ කාලයක් ගන්නවා.  සැලෝන් එකක වැඩ කරලා සේවයක් දෙනව නම් අනිවාර්යයෙන් අවුරුද්දකට වඩා කාලයක පළපුරුද්දක් තියෙන්න ඕනෑ.  

ප්‍ර අද වෙන කොට කාන්තාවන් වගේම පිරිමි පාර්ශ්වයත් නියපොතු ගැන උනන්දුවක් දැක්වීමට පෙලඹුමක් පෙන්නුම් කරනවා නේද?

ඇත්තටම කාන්තා පාර්ශ්වය වගේම පිරිමි පාර්ශ්වයත් මේ දවස් වල ගොඩක් උනන්දු වෙනවා. ඒ කියන්නේ Pedicure, Manicure කරලා නිය පිළිවෙළට කපලා ලස්සනට තියා ගන්න පිරිමි පාර්ශ්වය කැමති. ලංකාවේ ගොඩක් Unisex Saloon තියෙනවා.

ප්‍ර නිය අලංකරණයක් කරන්න කොපමණ කාලයක් ගත වෙනවද?

සාමාන්‍යයෙන් Nail Art එකක් දාන්න පැය දෙකකට වැඩි කාලයක් ගත වෙනවා. එය ශිල්පියා හෝ ශිල්පිනියගේ අත්දැකීම් කාලය අනුව ලබාගත් පරිචයත් සමග වෙනස් වෙනවා. සරලව විස්තර කළොත් - හොඳ  රූපලාවන්‍යාගාර සේවා පළපුරුද්දක් ඇති අයට ගත වෙන වේලාව සහ ක්ෂේත්‍රයට නවකයින්ට ගත වෙන වේලාව වෙනස් වෙනවා.

ප්‍ර නිය අලංකරණය කරන්නේ කොහොම ද?

Nail Extensionඑකක් කිව්වම වර්ග කීපයක්ම තිබෙනවා. Gel, Acrylic, Dip powder සහ poly gel කියලා. ලංකාවේ ගොඩක්ම ප්‍රචලිත Acrylic Nail Extension එක. Gel Nail Extension  එකත් ඒ හා සමානව යනවා. ඒත් එක්කම Refill Nail Extension,Acrylic Nail Remove කරන දේවල් ඇතුළත් වෙනවා. ඉතින් නිය අලංකරණයක් කරන විට අපි අනිවාර්යයෙන් Extension එකක් කරලා Gel Colorඑකක් Apply කළාට පස්සේ තමයි Nail Art එකක් දාන්නේ.

ප්‍ර නිය අලංකරණයක් කළාම සැලකිලිමත් වෙන්න ඕනෑ කරුණු මොනවද?

Acrylic Nail Extension එකක් අපිට මාසයක් විතර තියාගන්න පුළුවන්. ඊට වැඩි කාලයක් තියාගන්න අවශ්‍ය නම්, සති දෙකකින් හෝ තුනකින් වගේ ගොඩක් වෙලාවට Refill එකක් කර ගන්නවා. එහෙම කරලා වෙනම පාටකට හෝ වෙනම විලාසිතාවකට යන්න පුළුවන්. ඒ වගේම Nail Art එකක් දැම්මට පස්සේ අපි Natural Nail එකට Treatment කරන්න ඕනෑ. 

ඒ කියන්නේ නිය නිතරම දාන්නේ නැතුව අපේ තියන නිය පොත්තටRest එකක් දීලා නියට Manicure කරලා කැල්සියම් Builder එකක් Applyකරලා අපේ ස්වාභාවික නිය පරිස්සම් කර ගන්න අවශ්‍යයි. ඒ වගේම Acrylic Nail එකක් අද දාලා අපිට හෙට ගලවන්න බැහැ. මෙහි දී මාසයක දී Nail එක ගැලවිලා වැටෙන්න තමයි අපි දාන්නේ. ඒ වගේම Nail Design එක වෙනස් කරන්න අවශ්‍ය නම්, Refill එකකට කරනවා. සමහර වෙලාවට Natural Nail එකටම  Nail Extension නොදා Gel Color  එකක්  Apply කරන්න පුළුවන්. ඒකත් ලස්සනයි. තමන්ගේම නියපොතුවලට Nail Art එකක්  දාන්න පුළුවන්.     

ප්‍ර නිය අලංකරණය කියන දේ අද වෙනකොට කොතරම් ජනප්‍රිය ද?  

අද වෙනකොට  Nail කියන එක Fashion එකක් වෙලා තියෙනවා. වයස් ප්‍රමාණයකින් තොරව නිය විලාසිතා කරන්න පුරුදු වෙලා තියෙනවා. අනිවාර්යයෙන් උත්සවයක දී නිය විලාසිතා කරන්න කාන්තාවන් පුරුදු වෙලා තියෙනවා. මනාලියන් Engagement එකේ දී Wedding එකේ දීNail Extension කරනවා. විශේෂයෙන් Interviews වලට යන විටත් ගැහැනු ළමයි  Nail Extension එකක් කරනවා ගොඩක් වෙලාවට. ඊට අමතරව Graduation වලදීත් මේ නිය අලංකරණය කරනවා. මේ නිසා නිය විලාසිතාව ගොඩක් ප්‍රචලිත වෙලා තියෙනවා. කෙනෙක්ගේ පෞරුෂත්වයටNail අවශ්‍යම දෙයක් වෙලා තියෙනවා. ගොඩක් අය සාමාන්‍යයෙන් මාසෙකට සැරයක්, සතියකට සැරයක් හෝ දිනපතා නිය අලංකරණය සිදු කරනවා.

ප්‍ර කෙනෙකුගේ සුන්දරත්වයට නිය කොපමණ  දුරට බලපානව ද?

අපේ ශරීරයේ මුලින්ම Eye Contact වෙන තැනක් තමයි Nails කියන්නේ. ගැහැනු ළමයෙක් ගේ කකුල් දෙකට ඉක්මනින් අවධානය යනවා. ලස්සන පිරිසිදු නිය සහිත කකුල් දෙකක් තියෙනව නම් ප්‍රසන්න වෙනවා බලන කෙනෙක්ට. ගැහැනු ළමයෙක්ගේ  විශේෂයෙන් Nail කියන්නේ පෞරැෂය ගොඩනගන තවත් එක් අංගයක්. 
ලස්සනට අඳින එකෙන්, නිය ලස්සනට පිළිවෙළට පිරිසිදුව තබාගැනීමෙන් කාන්තාවකගේ සුන්දරත්වය ඔප් නැංවෙනවා. කෙනෙක්ට නිරායාසයෙන් අත දිහා බැලෙනවා. ඒ වෙලාවට නිය අපිරිසිදුව අපිළිවෙළට තිබුණොත් එය බලන්නාගේ මනසට සෘණාත්මකව බලපානවා. නමුත් නිය ලස්සනයි නම් ඒකෙන් දෑත දෙපාවලට හා පොදුවේ සිරුරට ප්‍රභාවක් ලැබෙනවා.

ඒ නිසා ලස්සන සුන්දර නිය පෙළක් තබාගන්න ගොඩක් ගැහැණු ළමයි ආසයි. ඒක දැන් හැමෝම අතරම විලාසිතාවක් වෙලා තියෙනවා.

සුදර්ශනි කෝණාර