නාරම්මල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ හදාරද්දී රූපා පතිරණ දඟකාරකමින් අගතැන්පත් කෙල්ලක වූවාය. ගුරුවරියක වීමේ සිහිනයක් සිතේ තිබුණත් ඇයට පාඩමේ ඇලිගැලී සිටින්නට වුවමනා නොවිණි. එහෙත් පාසල් වේලාවෙන් පසුව පාඩම් කරන්නට පාසලට එකතු වෙන සිසුසිසුවියන් අතර ඇයත් ඇගේ යෙහෙළිය සුමනාත් වූහ.
“අපි දෙන්නටම පාඩම් කරන්න වුවමනාවක් තිබ්බෙ නෑ.. අපි දෙන්නා කරන්නෙ සින්දු කියකියා නටන එක.. එදත් සූරයා අදත් සූරයා චිත්‍රපටියේ සුදුපාට මීදුම් ගලාලා ගීතය ඒ කාලෙ හරි ජනප්‍රියයි.. ඉතින් අපි දෙන්නා වැඩිපුරම කියන්නෙ ඒක තමයි.. සුමනා මට වැඩිය උස මහතයි.. ඒ හින්දා එයා විජය කුමාරතුංග, මම, මාලිනී ෆොන්සේකා.. ඉතින් අපි දෙන්නා ඕක කියකියා නටනකොට පාඩමට ඇපකැප වෙලා ඉන්න අය අපිව එළවා ගන්නවා අපිට පාඩම් කරන්න දීලා වෙන කොහාට හරි ගිහින් නටා ගනිල්ලා කියලා.. ඒ කාලෙ මටත් තිබ්බෙ මාලිනී අක්කගෙ වගේ දිග කොණ්ඩයක්.. සින්දු කියකියා නටන හින්දයි, ඒ කොණ්ඩෙ හින්දයි හුඟක් අය මට මාලිනි කියකියා විහිළු කළා..”
තමා කුඩා කල සිටම රංගනයටත්, මාලිනියටත් ඇලුම් කළ ආකාරය විස්තර කරමින් රූපා පතිරණ පැවසුවාය. පසුකාලීනව මාලිනී අධ්‍යක්ෂණය කළ ටෙලිනාට්‍යයක රඟ පාන්නට ලැබීම සිය භාග්‍යයක් ලෙස ඇය සලකන්නීය. පසුගියදා දරුණු අනතුරකට මුහුණ දුන් ඇය මාලිනී ෆොන්සේකා මිය යද්දී සිටියේ රෝහල්ගතවය.
‘මම ඒ වෙලාවේ අඬා ගන්නවත් බැරි තත්වෙක හිටියෙ.. අදටත් මාලිනී අක්කා වෙනුවෙන් උපන්න කඳුළු හිතේ හිර වෙලා තියෙනවා වගේ මට දැනෙනවා..” ඇය කීවේ සුසුමක් හෙළමිනි.
ඇය ක්ෂේත්රයට පිවිසියේ වේදිකා නාට්‍යවලිනි. උපන් ගම වූ විල්ගමුවේ රඟ දැක්වුණ ගංගා වේදිකා නාට්‍යයේ ගංගාගේ චරිතයට පණ පොවද්දී ඇගේ වයස අවුරුදු දහයකි.
“ඒ කාලේ ගමේ, පන්සලේ පොදු වැඩවලට මුදල් හොයා ගත්තේ ඔය වගේ නාට්‍ය පෙන්නලා තමයි.. ඒවා හරි ජනප්‍රියයි.. මිනිස්සුන්ට වෙන විනෝද මාර්ග තිබුණෙත් නැති හින්දා ඒවා බලන්න හරියට සෙනඟ එකතු වුණා..” රූපා පැවසුවාය.
පාසලින් ඉවත් වූවාට පසුව වේදිකා නාට්‍ය ගණනාවකම රඟ පෑ ඇය ලූෂන් බුලත්සිංහලගේ කෝන්තරේ ටෙලි නාට්‍යය හරහා පුංචි තිරයට පිවිසියාය.
“එතකොට මට අවුරුදු විසි දෙකයි.. ඒත් රඟ පෑවේ අවුරුදු හැට පහක චරිතයක්..” ඇය කීවේ සිනාසෙමිනි.
ලූෂන් බුලත්සිංහලගේ භවතු සබ්බ මංගලම් ටෙලි නාට්‍යයේ ඇය ජැක්සන් ගේ පෙම්වතිය ලෙස රඟ පෑවාය.
“මම පෙම්වතිය විදියට රඟ පෑව එකම ටෙලි නාට්‍යය තමයි ඒක.. අනිත් හැම එකකම රඟ පෑවේ වයසට වඩා දෙතුන් ගුණයක් වැඩි වයසක් පෙන්නන චරිත.. හැබැයි මම ඒවට හරි ආසයි.. ඒ හින්දම චරිතයට සාධාරණය ඉෂ්ට කරන්න පුළුවන් වුණා.. තුන්පත් රටාවක ලස්සන ටෙලිනාට්‍යයෙ මම රඟ පෑවේ ජයලත් මනෝරත්න අයියගෙ අම්මගෙ චරිතය.. ඒක අවුරුදු හැත්තෑ අටක චරිතයක්.. එතකොට මගෙ වයස හතළිහයි..” රූපා පතිරණ පැවසුවාය.
ජැක්සන් ගේ පෙම්වතිය ලෙස රඟ පෑ ඇය කලකට පසුව ජැක්සන් ගේ පුතුගේ අම්මා ලෙස රඟ පෑවාය. ඒ නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේය. ඇය නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ සරාගේ අම්මා චරිතයට එක් වූයේ එහි අධ්යක්ෂ සිවගුරුනාදන් ගේ ආරාධනයෙනි.
“ඊට ඉස්සර වෙලා මම ඔහුගෙ අමුතු රසිකයා ටෙලි නාට්‍යයෙ රඟ පාලා තිබුණා.. ඒ හින්දා තමයි මේකටත් ආරාධනා කළේ.. මම ටෙලිනාට්‍ය ගණනාවක රඟ පාලා තිබ්බත් රසිකයෝ මාව අඳුනාගත්තෙ සරාගේ අම්මා චරිතයෙන්.. ඒ වගේ අම්මලා ගමේ ගොඩේ ඕන තරම් ඉන්නවා.. ඒ හින්දා මිනිස්සු ඒ චරිතය පිළි ගත්තා.. ඇත්තටම ඒක රඟ පාන්න මට කිසිම වෙහෙසක් දැනුණෙ නෑ..” ඇය කීවාය.
සරාගේ අම්මා කට සැර, මුදලට කෑදරකමක් පෙන්වන චරිතයකි. ඇගේ සැමියා රෝගියෙකි. පුතා කසිප්පු පෙරන, සුළු සුළු හොරකම් කරන රස්තියාදුකාරයෙකි. දියණිය දීගය කඩාගෙන දරුවකුත් සමඟ ගෙදර පැමිණ සිටින්නීය. ඇය සිය පුතාගෙන් පවා මුදල් ඉල්ලා කරදර කරයි. ඒවා ඇය සඟවා තබා ගන්නේ හැට්ටය අස්සේය.
“ඒ කාලෙ හුඟක් ටෙලි නාට්‍යය බලපු හුඟක් දෙනෙක් කිව්වා අපේ අම්මා ඔහොමයි සල්ලි හංගන්නෙ.. අපේ අත්තම්මා ඔහොමයි කියකියා.. වළං හෝදන දර්ශන එහෙම හරිම තාත්විකව කළා කියලා හැමෝම කිව්වා.. අම්මලා සුදු චරිත වෙන්න ඕන කියලා හුඟක් අය හිතුවටට හැම අම්මා කෙනෙක්ම එහෙම වෙන්නෙ නෑ.. සරාගේ අම්මා වගේ අළු චරිත තමයි වැඩිපුර ඉන්නෙ.. ඇය පිටින් නපුරු වුණාට ඇතුළතින් හරි සංවේදීයි.. සල්ලි එකතු කරලා තියාගෙන ඉන්නෙ දරුවන්ගෙ අවශ්‍යතාවලට ප්‍රයෝජනයට ගන්න..” ඇය කියන්නීය.
කොවිඩ් වසංගතය සමයේදීත් එහි රූගත කිරීම් කෙරිණි. ඒ දිනවල ඇය රූගත කිරීම් නිමවා ආපසු යාංගල්මෝදරට ගියේ බස් රියෙනි.
“මාස්ක් දාගෙන හිටියත් මිනිස්සු කටහඬින් මාව හැඳින ගත්තා.. සමහර වෙලාවට කොන්දොස්තරලා බස් ටිකට් එකට මගෙන් සල්ලි ගත්තෙත් නෑ ඔයාලා අපේ හිත් සන්තෝස කරන අයනෙ ඉතින් කොහොමද සල්ලි ගන්නෙ කියලා.. රසිකයන්ගෙ ඒ ආදරය තරම් වටිනා දෙයක් තවත් නෑ..” රූපා පතිරණ කීවේ ස්තුතිපූර්වක හඬකිනි.
සිය පුතු ලෙස රඟ පෑ සජිත අනුත්තර පිළිබඳවත් ඇය කතා කළේ පැහැදීමෙනි.
“හරිම නිහතමානී දරුවෙක්.. එයත් එක්ක රඟ පාන්න හරිම ලේසියි.. මට හදිසි අනතුර සිද්ද වුණ වෙලාවෙත් පුතෙක් වගේ මගෙ සැපදුක් හොයලාබලලා මට උදව් කළා..” ඇය කීවාය.
පසුගියදා නිමාව දුටු ඉරගිනි මද්දහන ටෙලි නාට්‍යයේත් ඇය රඟ පෑවේ රසිකයන්ගේ නොමඳ අවධානයට ලක් වූ බේබි නෝනා ලෙසිනි. චරිතය මොන තරම් තාත්විකව රඟ පෑවේ ද යත් ඇය රසිකයන්ගෙන් ඇති තරම් බැනුම් ද ඇසුවාය.
මේ දිනවල ඇය පාට කුරුල්ලෝ ටෙලි නාට්‍යයේත් මංජිත ගේ සහ අංජනගේ අම්මා චරිතයට පණ පොවන්නීය.
ඇය හදිසි අනතුරකට ලක් වූයේ මුරුගසන් වරුසාව ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට යද්දීය. සෑහෙන කාලයක් රෝහල්ගතව සිට උකුල් ඇටයක් ද බද්ධ කිරීමෙන් අනතුරුව දැන් ඇය විවේක සුවයෙන් නිවසේ පසු වන්නීය.
ඒ ශල්‍ය කර්මය වෙනුවෙන් වැය කළ විශාල මුදලින් කොටසක් සපයා ගන්නට දායකත්වය දුන් ක්ෂේත්රයේ උදවිය ද ඇය ආදරයෙන් සිහිපත් කරන්නීය.
චන්දි කොඩිකාර