චන්ද්‍රන්රත්නම් “රිසානා” සමගින් ජාත්‍යන්තරයට


මෙරට ගෝලීය සිනමාකරණය පිළිබඳව බහුශ්‍රැත නිර්මාණවේදීයෙකු වන, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ  චන්ද්‍රන්රත්නම් ගේ නවතම සිනමා නිර්මාණය වූ "රිසානා" (RIZANA - A CAGED BIRD) චිත්‍රපටයේ නාමය නිළ වශයෙන් එළිදැක්වීමේ විශේෂ උත්සවයක් පසු ගියදා සිනමොන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේදි පැවැත්විණ.  

චන්ද්‍රන් රත්නම් මෙයට ප්‍රථම  "ජනේලය", "අලිමංකඩ", "ආදර කතාව", "පොරොන්දුව", "A Comman Man", "Accoding to Mathew"  වැනි චිත්‍රපට සිනමා ප්‍රේක්ෂකයා වෙත ඉදිරිපත් කර ඇත. හොලිවුඩ් සිනමාවේ Stephen Spielberg, Devid Lean, Carol Reed, George Lucas, John Boorman සහ Regis Wargnier වැනි දැවැන්ත නිර්මාණ කරුවන් සමග සිනමා ක්ෂේත්‍රයේ නියැලී ඇති ඔහු, ජාත්‍යන්තර සිනමා නිර්මාණ 100 කට අධික සංඛාවකට දායකවත්වය දක්වා ඇති  විශිෂ්ට නිර්මාණවේදීයෙකු ද වෙයි.  "Reversal Of Fortune" චිත්‍රපටයේ  රංගනය වෙනුවෙන් හොඳම නළුවාට හිමි සම්මානය මෙන්ම,  වෙනත් සම්මාන රැසකින් පිදුම් ලැබූ, ජනප්‍රිය  හොලිවුඩ් රංගන ශිල්පි ජෙරමි අයන්ස් (Jeremy Irons)  සමගින් දමිළ සිනමාවේ ජනප්‍රිය  සම්මානනීය  රංගන ශිල්පිනි, වරලක්ෂ්මි සරත්කුමාර් (Varalaxmi Sarathkumar) 

"රිසානා"  හී  ප්‍රධාන භූමිකාවන්ට පණපොවන අතර,  සිනමාවට හඳුන්වාදෙන විදුශිකා රෙඩ්ඩි  (රිසානා ලෙස )ඇතුළු දේශීය හා විදේශීය රංගන ශිල්පීන් විශාල පිරිසක් මෙම නිර්මාණය හා සම්බන්ධව සිටිති. 

මෙය, කලකට පෙර ලෝකය පුරා මහත් ආන්දෝලනයක් ඇති කරමින්, මානව හිමිකම් සංවිධාන විසින් තරයේ හෙළා දකින ලද හා සමස්ත මාධ්‍යයන් කලඹමින් නොසිතුව ලෙස සෞදි අරාබියේදී හිස ගසා මරණයට පත් කරනු ලැබූ,  භද්‍ර යෞවනියක වූ 17 හැවිරිදි රිසානා නෆීක් දැරියගේ ජීවන ගමන් මග පාදක කරගනිමින්

නිර්මාණය වී  ඇත. "රිසානා"  කැමරාකරණයෙන් චන්දන ජයසිංහ, තිර පිටපත් රචනයෙන් සහ සංස්කරණයෙන් ජේම්ස් රත්නම්, තිර පිටපත් අධීක්ෂණයෙන් ඇමැන්ඩා සුරවීර, සහය අධ්‍යක්ෂණයෙන් ජගත් ආනන්ද සමගින් දිල්ෆර් ෆාරුක්, කලා අධ්‍යක්ෂණයෙන් සුනිල් විජේරත්න, අංග රචනයෙන් ප්‍රියන්ත දිසානායක, නිෂ්පාදන කළමනාකරණයෙන් නිමල් විජේසිරි සේනාධීර, රේඛීය නිෂ්පාදනයෙන් අනූෂ සංජීව එදිරිමුණි, නිෂ්පාදන ප්‍රධානි ලෙස අරුණ මහේන්ද්‍ර හා "සුමති ස්ටුඩියෝස්" ආයතනය වෙනුවෙන් විධායක නිෂ්පාදකවරුන් ලෙස සමන්තා සුමතිපාල,  චදු සුමතිපාල සහ චතුල  සුමතිපාල එක්වී සිටිති. 

"උන්නත් දාහයි මළත් දාහයි" සහ "අහසින් පොළොවට" චිත්‍රපට යුගලය තිරයට එක්කරමින්, යූ.ඩබ්.ඒ. සුමතිපාලයන් විසින් ආරම්භ කරන ලදුව, සිය මෑණියන් වූ  මිලිනා සුමතිපාල හා එක්වූ ජගත් සුමතිපාල විසින්, "ගඟ අද්දර ", " දුවට මවක මිස", "උත්පලවන්නා"  සහ "පත්තිනි" වැනි විශිෂ්ට සිනමා නිර්මාණ නිපදවා  ඉදිරියට ගෙන එමින් , දේශීය හා විදේශීය සම්මාන වැඩිම ප්‍රමාණයකට හිමිකම් පෑ චිත්‍රපට රැසක් සිංහල සිනමාවට දායාද කල සුමති චිත්‍රපට නාමය තුන්වන පරම්පරාවට රැගෙන යමින්, ගෝලීය ප්‍රේක්ෂක සමූහයා සහ ජාත්‍යන්තර  චිත්‍රපට වෙ​ෙළඳපොළ ඉලක්කකර ගනිමින් තැබූ යෝධ පියවරක් මෙන්ම,  තුන්වන  පරම්පරාවේ නව ආරම්භයක් ලෙසින් පිහිටුවන ලද  "සුමති ස්ටූඩියෝස්" ආයතනය  වෙනුවෙන් ජගත් සුමතිපාලයන් විසින් මෙහි නිෂ්පාදන කටයුතු සිදුකරනු ලැබ ඇත.

දිල්හාන්