කන්ද උඩරට රාජධානිය රාජාධිරාජසිංහ රජුගේ පාලනය යටතේ පැවති සමයෙහි ‘වැරසැර රඹුක්වැල්ලේ අනුනායක ස්වාමීන් වහන්සේගේ’ ගෝල නමක් වූ එවකට අස්ගිරි විහාරයෙහි වැඩ වාසය කළ නාසය මුක්කන් වූ බැවින් කුඤ්ඤසාමී නමින් හැඳින්වූ ඉහත ‘කුංකුණාවේ සුමංගල හිමියන්’ හමුවීමට ‘කටුකැලේ හපුගහගාවා කුමාරුප්පේ වඩුගොඩපිටියේ කඩවත් භාරව සිටි වඩුගොඩපිටියේ මුහන්දිරම් රාල’ පැමිණියේය.
තමාගේ ‘පිටවෙල’ නමැති හේන සාවුන් විසින් පාළු කරන්න පටන්ගෙන ඇති බව උන් වහන්සේට දැන්වීය. මෙම හේන පිහිටා තිබුණේ වර්තමාන ‘වෙම්බ්ලි සිනමා ශාලාව’ අසල දිවෙන ‘කටුකැලේ වැව පාර’ ඉස්මත්තේ පිහිටි ‘බොරවැව’ වැව් පෝෂිතයෙහිය.
ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ කවිකාර මඩුවෙහි ‘රංකටා’ නමැති කවියාව ‘කාලමක් පිඹීමකින්’ බිම හෙලූ වඩුගොඩපිටියේ මුහන්දිරම් නිලමේගේ පුත්‍රයෙකු වූ ඉහත ‘වඩුගොඩපිටියේ මුහන්දිරම් රාල’ ‘කුංකුණාවේ සුමංගල හිමියන්’ගේ ගජ මිතුරෙකි.
සාවුන්ගෙන් පැමිණෙන මෙම ‘ආලාපාළුව’ පිළිබඳව දැනුම් දුන් නිලමේ මෙයට පිළියමක් කරන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලා සිටියේය. මදක් කල්පනාකර බැලූ ‘කුංකුනාවේ’ හිමියන් මෙම පහත දැක්වෙන කවිය තල්පතක ලියා දී හේනෙහි සතර කොනෙහි එල්ලා තැබීමට උපදෙස් දෙන ලදී.
යාම් බොලං අපි හේන් බලන්නට
මේං බලං හාවුන් කළ විනේ මට
කීං බොලං මම තළු වැදි රාලට
මාම් බලා පලයව් මගෙ උගුලට
එම උපදෙස් පරිදි ඉහත කව ලියා සතර කොන එල්ලීමෙන් අනතුරුව සාවුන් එකදා උගුලට හසුවීලු. මෙම වස් කවියෙහි ආනුභාවයෙන් සාවුන්ගෙන් පැමිණෙන උවදුර නිමවීමෙන් අනතුරුව එයින් සන්තෝෂයට පත් නිලමේ ‘හාමස් දානයක්’ කුංකුණාවේ සුමංගල හිමියන්ට පිළියෙළ කොට දුන් බව ද සඳහන් ය.
ඉහත සඳහන් ‘වඩුගොඩපිටියේ මුහන්දිරම් රාල’ පසුව ඓතිහාසික කන්ද උඩරට බෞද්ධ තක්සලාව වූ ‘මහනුවර උසස් බෞද්ධ පාඨමාලාව’ පිහිටුවීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ ‘වර්ෂ 1887 ජුනි මස 30 වැනි දින’ මහනුවර ධර්මරාජ විද්‍යාලය’ නමින් ප්‍රචලිත බෞද්ධ පාඨශාලාව පිහිටුවීමේ සමාරම්භක පියවර ‘මධ්‍යම දිශාවේ මහනුවර දිස්ත්‍රික්කයෙහි යටිනුවර ගඟවට පළාතෙහි කෝරාල පදවිය’ හෙබවූ ‘මහනුවර ශ්‍රී මහා නාථ දේවාලයෙහි පරම්පරාවෙන් පරම්පරාවට උරුම වූ එකම දේවාලයෙහි භාරකාරත්වය වර්ෂ 1900 තෙක් ඉසිලූ පොලිස් මුලාදෑනි වඩුගොඩපිටියේ මුහන්දිරම් රාලගේ පුංචිරාල කෝරල නිලමේතුමා’ මෙම ඉහත නිලමේතුමාගේ පුත්‍රයෙකු බවත් දළදා වහන්සේ මැදමහනුවර සිට මහනුවරට වැඩම වීම කළ අවස්ථාවෙහි ‘ලේවැල්ලේ’ දී දළදා වහන්සේ පිළිගන්නා ලද්දේ ද මෙම ඉහත ‘වඩුගොඩපිටියේ මුහන්දිරම්’ බවත් පසුව ‘වර්ෂ 1875 දී කොත්මලේ රටේ මහත්මයා ධුරයට පත්වූ රණසිංහ රාජපක්ෂ වාසල මුදියන්සේලාගේ විළියම් එඩ්වඩ් වඩුගොඩපිටිය, හිටපු ප්‍රධාන භාෂා පරිවර්තක මහනුවර කච්චේරිය’ සහ ‘වඩුගොඩපිටියේ මුහන්දිරම් රාලගේ ඩිංගිරි අම්මා කුමාරිහාමි, නාරන්වල මැණිකේගේ’ අත්තා බවත් ඉතිහාසයෙහි සඳහන් වේ.
මහින්ද්‍ර මෙෂාන් බණ්ඩාර වඩුගොඩපිටිය
පහළ ඉඹුල්ගොඩ