භාරත දේව සභාව
සිය සොයුරන් සිව්දෙනාත් ප්‍රිය භාර්යාවත් පෙරටු කරගත් යුධීස්තර වනාන්තරයට ගියේය.
ලෝකයෙන් හුදෙකලා වී ජීවත්වීමට තිබූ කැමැත්ත නිසාම එසේ වනගත වූ ඔහුට ඉනික්බිතිව හමුවූයේ ඉසිවරුන්ය. වනමැද ගස් අතර තනාගත් පුංචි පැල්පත්වල
මේ ඉසිවරු බණ භාවනා කරමින් වේද ග්‍රන්ථ පරිශීලනය කරමින් වනයේ ජීවත් වූහ. එබැවින්ම ආහාර පිළිබඳව ලොකු උනන්දුවක් ඉසිවරුන් තුළ තිබුණේ නැත. එසේ වුවත් යුධීස්තරට ආහාර ගැන නොසලකා සිටීම උගහට විය. එක් ආහාර වේලක් අවසාන කළ පසු ඔහු හිතුවේ ඊළඟ ආහාර වේල සපයා ගන්නේ කෙසේද යන්නය.
දෙතුන් වේලක් කුසගින්නේ සිටි යුධීස්තර, රාජධානියට ගොස් කෑමට මොනවා හරි රැගෙන එන්නැයි ඉසිවරුන්ගෙන් ඉල්ලා සිටියේය.
‘බෑ’
ඉසිවරු පිළිතුරු දුන්හ.
‘මට බඩගිනියි’
යුධීස්තර පැවසුවේය.
එසේ නම් ඔබ කළයුත්තේ බලවත් දෙවියකුට කන්නලව් කිරීමයි... බොහෝ භක්තියෙන් යුතුව එලෙස දෙවියකුට කන්නලව් කරන විට ඔබට පිහිට වීම සඳහා එම දෙවියන් ඔබ ළගටම පැමිණේවි...’’
ඉසිවරු කීහ.
‘‘ඔබට හොඳම සූරිය දෙවියන්ට කන්නලව් කිරීමයි. මන්ද ලොවට ආහාර උත්පාදනය කරන්නේ සූරිය දෙවියන්’’
තව ඉසිවරයෙක් පැවසුවේය.
දැහැන් බැඳගත් යුධීස්තර මහත් වුවමනාවෙන් හා භක්තියෙන් යුතුව සූරිය දෙවියන්ට කන්නලව් කරන්නට පටන්ගත්තේය. හැම උදෑසනකම පෙරඹර අහසෙන් හිරු උදාවනවිටම අරඹන සූර්ය කන්නලව්ව දවසේ අවසානය තෙක්ම විටින්විට කරන්නට යුධීස්තර වග බලාගත්තේය. එහි ප්‍රතිඵලය වූයේ එක්තරා දවසක සූරිය දෙවියන් යුධීස්තර අභියසට පැමිණීමය.
‘ධර්ම පුත්‍රය ඔබේ ඇස් අරින්න’’
සූරිය දෙවියා පැවසූවේය.
තම දෙනෙත් විවර කරගත් යුධීස්තර බොහෝ වේලාවක් ගොළුව නිහඬව සූරිය දෙවියන් දෙස බලා සිටියේය. සූරිය දෙවියන්ගේ මේ පැමිණීම ඔහුට විස්මයක් වීම එක් කාරණාවකි. සූරිය දෙවියන් අමතා කුමක් කිව යුතුද යන්න නොදැන සිටීම අනිත් කාරණාවයි.
ප්‍රසන්න සිනාවක් පෑ සූරිය දෙවියා කොහේදෝ සඟවාගෙන තිබූ විසිතුරු පිඟානක් ගෙන යුධීස්තර අත තැබුවේය.
‘‘මේක තමයි අක්ෂය පාත්‍රය’’
සූරිය දෙවියා පැවසුවේය.
‘‘ද්‍රැපදීට එන්න කියන්න... ඇය පැමිණි පසුව මේ පාත්‍රය ආහාරවලින් පිරේවි. එ් ආහාර ජනතාවට බෙදා දෙන්නැයි ද්‍රැපදීමට කියන්න...’’
සූරිය දෙවියා කී විට යුධීස්තර බලා සිටියේ පුදුමයෙනි.
‘‘අවසාන මිනිසාටත් ආහාර බෙදා ද්‍රැපදී ආහාර ගන්නා තෙක්ම මේ පාත්‍රය දිගින් දිගටම පිරේවි’’
‘‘එහෙමයි’’
යුධීස්තර හීන් හඬින් පැවසුවේය.
‘‘ධර්ම පුත්‍රය, මේ අගනා පාත්‍රය ඔබ තියාගන්න. වනාන්තරයේ ජීවත්ව සිටින තාක් කල් මේ පාත්‍රය ඔබේ ආහාර ප්‍රශ්නය විසඳාවී... ඒ නිසා ඔබට දුකක් නැතුව වනන්තරයේ ජීවත්වීමට පුළුවන්...’’
‘‘ස්තුතියි, කී යුධීස්තර සූර්ය දෙවියා පාමුල වැඳ වැටුණේය.
අර අගනා පාත්‍රය ගෙන පපුවට තුරුලු කර ගත් ඔහු එය සිය දයාබර බිරිඳට දුන්නේය.
ද්‍රැපදී එය අතට ගත්තා පමණි. මිහිරි සුවඳින් යුත් ආහාරවලින් ඒ පාත්‍රය පිරී ගියේය. ද්‍රැපදී මවිතයෙන් යුතුව ආහාර දෙසත් යුධීස්තර දෙසත් බැලුවේය. මෙය ඇයට විස්මයක්මය සැබැවින්ම අදහාගත නොහැකි විස්මයක්මය.
ඉසිවරුන්ට වාඩිවීමට සැලැස් වූ ඇය පළමුව ඔවුන්ට ආහාර ලබාදුන්නාය. ඒ වෙනුවෙන් පාත්‍රය හිස්වන විටම නැවත වරක් පාත්‍රය පිරුණි. මේ අයුරින් පාත්‍රය හිස්වන වාරයක් පාසාම එය ප්‍රණීත ආහාරවලින් පිරී ගියේය.
ධවුමිය ඉසිවරයා යුධීස්වර දෙස බැලුවේය.
‘‘ඔබ අපට ලබාදෙන මේ ආහාරයෙන් තරම් මීට පෙර ලැබුණු කිසිම ආහාරයකින් අපි සතුටට පත්වී නැහැ. මේ පිංකම ඔබට නිරෝගීව දිගුකල් ජීවත්වීමට හේතුවක් වේවි’’
මේ ආහාරවලින් සතුටට පත්වූවන් අතර භීමද සිටියේය. ඔහු වහාම වික්‍රොධාරාට ආහාර ගැනීම සඳහා ඇරියුම් කළේය. හැමවිටෙකම පාහේ කුසගින්නේ පසුවන වික්‍රොධාරාගේ බඩ පිරවීම යනු එසේ මෙසේ පිංකමත් නොවේ. ඔහුටත් ආහාර දුන් ද්‍රැපදී අන්තිමට තම ආහාරය අරගත්තාය. ඉනික්බිති අක්ෂය පාත්‍රය හිස්වූවේය. එබැවින් එය පිරිසුදු ජලයෙන් සෝදා පසෙකින් තැබුවේ පසුදාට යළි ප්‍රයෝජනයට ගන්නා අදහසිනි.
යුධීස්තරගේ නිවෙසේ තිබෙන අක්ෂය පාත්‍රය ගැන පුවත කනින් කනට ගියේය. වනමැද ආශ්‍රම ඉදිකරගෙන සිටින බොහෝ ඉසිවරු යුධීස්තර වෙත පැමිණ ප්‍රණීත ආහාර වළඳා නික්ම යෑමට පුරුදුව සිටියහ.
මේ අයුරින් ප්‍රීතිමත් මෙන්ම සුඛිත මුදිත දොළොස් වසරක් ගෙවී ගියේය.
මේ වනවිට අක්ෂය පාත්‍රය පිළිබඳ පුවත හස්තිනපුරයට ද ලැබී තිබිණි එහි රජු දුර් යෝධන මේ පාත්‍රය පිළිබඳව කලබලයට පත්ව සිටියේය. ඔහුට අවශ්‍යව තිබුණේ මේ අයුරින් පාත්‍රයෙන් ආහාර ලැබෙන ක්‍රමය වෙනස් කිරීමටය. ඒ සඳහා හොඳම උපක්‍රමය දුර්වාසගේ බලය පාවිච්චි කිරීම යැයි දුර් යෝධන අදහස් කළේය.
දුර්වාස වූ කලී ස්වකීය භක්තිය මගින් දෙවියන්ගේ සිත් දිනා සිටි ඉසිවරයෙකි. ඔහුගේ ආශිර්වාදයත් කලාතුරකින් කරන ශාපකිරීමත් බෙහෙවින්ම ප්‍රතිඵල දායක වූයේ එබැවිනි. මේ බලය නිසාම සියලු දෙව්ලෝවල සිටින දෙවිවරු දුර්වාසගේ ශක්තිය ගැන බියෙන් පසුවූහ.
ඉසිවර දුර්වාසට තම අමුත්තකු ලෙසින් පැමිණෙන මෙන් දුර් යෝධන ඇරියුම් කළේය. අරියුම පිළිගත් දුර්වාස ඉසිවරයා හස්තීනපුරයට ගියේය. එහිදී දුර් යෝධනගෙන් ලැබුණේ අපමණ සංග්‍රහයකි. එම සංග්‍රහයෙන් අසීමිත ලෙස තෘප්තිමත් වූ ඉසිවරයා, විසල් ගසක් යට එලූ රෙද්දක් මත වැතිරගත්තේය. සිසිල් සුළඟින් ඔහුගේ ගතේ විඩා නිවී ගියේය. කලාතුරකින් පමණක් ඇඳෙන මිහිරි සිනාවෙන් ඉසිවරයාගේ දෙතොල සැරසිණි.
දුර්යෝධන ලොකු හුස්මක් ගත්තේය.
‘‘උතුමානෙනි මම අහල තියෙනවා යුධීස්තර.........................’’
දුර් යෝධන කියන්නට විය.
දුර්වාස ඉසිවරයා දුර් යෝධන දෙස ඍජුව බැලුවේය.
‘‘ඔහු හරිම සංග්‍රහශීලී පුද්ගලයෙක්... ඔබ මගේ දුප්පත් පැල්පතට පැමිණ මට ආශිර්වාද කරන ලෙසින්ම ඔහු වෙතට ගොස් යුධීස්තරටත් ආශිර්වාද කළොත් යහපතක්...’’
එහෙත් ඉසිවර දුර්වාස වචනයකින්වත් ප්‍රතිචාර නොදක්වා නිහඬවම සිටියේය.
ඉසිවරයාගේ නිහඬතාවය නොඉවසූ දුර් යෝධන යළිත් කතා කළේය.
‘‘එහි සිටින ද්‍රැපදී අතිශයින් සංග්‍රහශීලි කාන්තාවක්. ඇය විසින් ඔබ රස මුසු බොජුනෙත් පිනවනු ලබන බවට කිසිම සැකයක් නැහැ’’.
එහෙත් තවමත් දුර් යෝධනගේ ඇරියුම පිළිබඳව ඉසිවර දුර්වාස ප්‍රතිචාර දැක්වූයේ නැත.
පසුදා උදේ අවදි වූ ඉසිවර දුර්වාස, යුධීස්තරගේ ආශ්‍රමය කරා යන්නට පිටත් විය.
කෙසේ වෙතත් දුර්වාස එහි යනවිට සන්ධ්‍යාවද එළැඹ තිබිණි. ඒ වන විට ද්‍රැපදී විසින් දවසේ ආහාර කිස නිමාකර අක්ෂය පාත්‍රය පවා සෝදා පිරිසුදු කර තිබිණි.
කිසියම් අයෙක් තම ආශ්‍රමය කරා පැමිණ සිටින බව දැනගත් ද්‍රැපදී කවුළුවකින් එබී බැලුවාය. ඉසිවරයකු පැමිණ තම අාශ්‍රමය ඉදිරිපිට සිටගෙන සිටින හැටි ඇයට පෙනිණි. එසේම යුධීස්තර විසින් මහත් හරසරින් යුතුව ඉසිවරයා පිළිගන්නා හැටි ද ඇය බලා සිටියාය.
‘‘මගේ දුප්පත් ආශ්‍රමයට ඔබ වැනි උත්තමයෙක් පැමිණීම මට සතුටට කරුණක්. ඇත්තටම ඔබ අද මාව ප්‍රීතිමත් පුද්ගලයෙක් බවට පත් කළා’’
යුධීස්තර කීවේය.
දුර්වාස මද සිනා පෑවේය.
‘‘මම සතුටු වෙන්නෙ ඔබ සමගයි. මා අසා ඇති පරිදි ඔබ ඉසිවරුන්ට ඉතාම ආදරයෙන් හා ගෞරවයෙන් සලකනවා. යම් කෙනෙක් ඔබේ ආශ්‍රමයට ආවොත් ඔහුට ඔබ සලකන්නෙ දෙවියන්ට මෙන් බව කවුරුත් පවසනවා. ඉතින් ඒ උතුම් සංග්‍රහය මම ඔබෙන් බලාපොරොත්තු වෙනවා.’’
එහෙත් එ් වන විට අක්ෂය පාත්‍රය තිබුණේ හිස්වය. එබැවින් තම සහෝදරයා වූ සභාදේව ඇමතූ යුධීස්තර, ද්‍රැපදීට අක්ෂය පාත්‍රය ආහාරයෙන් පුරවන මෙන් පණිවිඩයක් යැවුවේය.
සභාදේව අාශ්‍රමය තුළට යනවිටම ද්‍රැපදී කල්පනාකාරීව සිටිනු දකින්නට ලැබිණ. ඇගේ මුහුණ දුටුවිගසින්ම ඇය සිටින්නේ කිසියම් බරපතළ ගැටළුවක බව සභාදේව තේරුම් ගත්තේය.
ඒ වන විටත් යුධීස්තර, ඉසිවර දුර්වාස නාන දොළ වෙත කැඳවාගෙන ගොස් සිටියේය.
‘‘ගමන් වෙහෙස මේ දොළ පහරේ දියකර දමා ආශ්‍රමය තුළට පැමිණෙන්න. ඔබ වෙනුවෙන් ප්‍රණීත ආහාර වේලක් පිළියෙල කරන්නට ඉඩ දෙන්න’’
ඉසිවරයා ගල්කුළු අතරින් හඬනගමින් ගලා බසින දොළ පහරට බැස්සේය. දිය දහරේ සීතලට වසඟ වූ ඉසිවරයා වහාම එහි ගිලී ස්නානය කළේය.
ඉසිවරයා ආශ්‍රමයෙන් බැහැර යනු දුටු ද්‍රැපදී යුධීස්තර වෙත ගියාය.
‘‘ඔබ ආහාර පිළයෙල කළාද?’’
ද්‍රැපදී දුටු විගස යුධීස්තර ඇසුවේය.
‘‘නෑ. ඉසිවරයා පැමිණෙන විට මා අක්ෂය පාත්‍රය සෝදා අවසන් කළා පමණයි... දැන් නැවත ආහාර ලබා ගැනීමට පුළුවන්කමක් නෑ’’
යුධීස්තරගේ නෙත් විසල් විය.
‘‘පැමිණියේ ඉසිවර දුර්වාසයි. ඔහු සුළු දෙයිනුත් කැළඹී ශාප කරන අයෙක්... ඔහු අපට ශාප කළහොත් අපේ අක්ෂය පාත්‍රයට ආහාර ලැබෙන එකක් නැතිවේවි.
‘‘එසේද?’’
ද්‍රැපදී ආපසු ආශ්‍රමයට ගියාය.
මේ ගැටළුවට පිළියමක් සොයා ගතයුතුය ද්‍රැපදී වහාම ක්‍රිෂ්ණ දෙවිඳුන්ගෙන් පිහිට පැතුවාය.
කලබලයට පත් යුධීස්තර ආපසු ආශ්‍රමයට පැමිණියේය. නැවත වරක් අක්ෂය පාත්‍රය ගෙන කෙසේ හෝ ආහාර පිළියෙල කරන ලෙස ඉල්ලා සිටීම ඔහුගේ අරමුණ විය.
ඔහු ආශ්‍රමයට එනවිටම ආශ්‍රමය ඉදිරිපිට සිටියේ අඳුරු පුද්ගලයෙකි. ඒ ක්‍රිෂ්ණය.
‘‘ඔ... ඔබත් ඇවිත්’’
යුධීස්තර කලබලයෙන් පැවසුවේය.
‘‘ඔව්... ද්‍රැපදී මට එන්න කිව්වා’’
ක්‍රිෂ්ණ කීවේය.
ඒ මොහොතේ විමතියට පත් වූ යුධීස්තර, ක්‍රිෂ්ණ දෙසත් ද්‍රැපදී දෙසත් මාරුවෙන් මාරුවට බැලුවේය.
ක්‍රිෂ්ණ සිනා පෑවේය.
‘‘ද්‍රැපදී’’
යුධීස්තර කීවේය.
‘‘ඔබ නැවත අක්ෂය පාත්‍රය ගන්න, ඉසිවර දුර්වාස වෙනුවෙන් එහි ආහාර පිරේවි’’
‘‘කෝ ඒ අක්ෂය පාත්‍රය, එය මට පෙන්වන්න’’
එවිට ක්‍රිෂ්ණ කීවේය.
ද්‍රැපදී වහා මුළුතැන්ගෙට ගොස් අක්ෂය පාත්‍රය සුරතින් ගත්තාය. එවිටම ආහාර ස්වල්පයකින් පාත්‍රය පිරී ගියේය.
‘‘මං හිතන්නෙ අද එය සෝදා තැබීමට ඔබට අමතක වෙලා ද්‍රැපදී’’
ක්‍රිෂ්ණ පාත්‍රයේ වූ ආහාර ස්වල්පය දෙස බලා කීවේය.
ආහාර පාත්‍රයෙන් හමා ආවේ මිහිරිම සුවඳකි.
ඒ සුවඳට ලෝබ හිතුණු ක්‍රිෂ්ණ, පාත්‍රයේ වූ ආහාර ස්වල්පය ගෙන කටේ රුවා ගත්තේය.
ඒ රස පහසෙන් ඔහු පත්වූයේ ප්‍රීතියටය.
‘‘මේ ආහාර නම් හරිම ප්‍රණීතයි’’
ක්‍රිෂ්ණ, ද්‍රැපදී දෙස බලා පැවසුවේය. ‘‘මට මේ තරම් රසවත් ආහාරයක් වසර ගණනකින්වත් ලැබී නැහැ’’
‘‘ද්‍රැපදී මේ පාත්‍රය ආහාරවලින් පුරවා දෙන්න... මට හොඳටම බඩගිනියි.’’
එහෙත් ද්‍රැපදී කිසිවක් පැවසුවේ නැත.
ආහාර ස්වල්පයෙන් සතුටට පත් වූ ක්‍රිෂ්ණ යූධීස්තර දෙස බැලුවේය.
‘‘යුධීස්තර, ඔබ යළිත් ආහාර ගන්නා විට කරුණාකර මටත් කතාකරන්න.’’
දුර ඉසව්වක් දෙස කල්පනාවෙන් බලාසිටි යුධීස්තර, ක්‍රිෂ්ණගේ වචන කෙරෙහි අවධානයක් යොමුකළේ නැත.
‘‘අර දුර්වාස ඉසිවරයා තව මොහොතකින් පැමිණේවි’’
යුධීස්තර කීවේ දොළ දෙස බලාගෙනමය.
එහෙත් ක්‍රිෂ්ණට ඉසිවරයාගෙන් වැඩක් නැත. ඔහු යුධීස්තරට යළිත් කීවේ, තමන්ට ආහාර අවශ්‍ය බවය.
යුධීස්තර දෙතුන් වතාවක්ම ක්‍රිෂ්ණ දෙස බැලුවේය. මුව විවිර කරගෙන බලාසිටියේය. එහෙත් ඔහුට කතා කරන්නට වචන හමුවූයේ නැත.
දොළ දියේ ස්නානය කරමින් සිටි දුර්වාස ඉසිවරයාගේ කුස පිරිණි. ඔහු දොළේ සිටම බඩට තට්ටු කරගත්තේ, බඩ ඉස්මුරුත්තාවෙන් පීඩා දෙන බවක් දැනුණු නිසාය.
‘‘හරියටම කාලා වැඩිවෙලා වගේ මගේ බඩ පිරිලා... දැන්නම් ආහාර බිඳක්වත් ආහාරයට ගන්නට බැහැ’’
ඉසිවරයා තමන්ටම කියාගත්තේය.
දොළෙන් ගොඩ වූ ඔහු ඊළඟට කල්පනා කළේ යුධීස්තර, භෝජන සංග්‍රහය පිළියෙල කර තමන් එනතුරු බලා සිටිනු ඇත කියාය.
‘‘ඒත් දැන්නම් මුකුත්ම කන්න බෑ. මම මෙතනින්ම පලායනවා. එතකොට හරි’’
ඉසිවර දුර්වාස වහා පළා ගියේය.
හෝරාවක් පමණ ගෙවී ගියත් ස්නානයට දොළට බට ඉසිවරයා නොපැමිණි නිසා යුධීස්තර කලබල විය.
‘‘සභාදේව ගිහින් ඉසිවර දුර්වාස කෝ කියා බලන්න’’
යුධීස්තර සිය සොයුරාට පැවසුවේය.
සභාදේව ගොස් දොළ දිගේ එහාටත් මෙහාටත් ගියේය. කිසිම ඉසිවරයකු පෙනෙන්නට නොසිටියේය.
‘‘ඉසිවරයානනි’’
සභාදේව කෑ ගසා කතා කළේය.
ඈත කඳු මුදුන්වල ඔහුගේම කටහඬ දෝංකාර දුන්නා මිස පිළිතුරු හඬක් නොනැගිණි.
‘‘කිසිවෙක් නෑ’’
‘‘සභාදේව, යුධීස්තර හමුවේ පැවසුවේය.
කිසිවෙක් නෑ. කෝ එතකොට දුර්වාස ඉසිවරයා?’’
යුධීස්තර ඇසුවේය.
ක්‍රිෂ්ණ සරදම් සිනාවක් නගා ද්‍රැපදී දෙස බැලුවේය.
‘‘ඔබ බයවෙන්න එපා ඉසිවර දුර්වාස නික්මගියේ සතුටින්’’
ද්‍රැපදී කීවාය.
මෙය ක්‍රිෂ්ණගේ උපක්‍රමයක් බව යුධීස්තර වටහාගත්තේය.
‘‘නමුත් හෙට පටන් මට ඔබේ ප්‍රණීත බොජුන් අවශ්‍යයයි.’’
ක්‍රිෂ්ණ කීවේය.
යුධීස්තර සැහැල්ලුවෙන් සිනාසුණේය.
ශාන්ත කුමාර විතාන