කුඩා කාලයේ සිට කලාව තුළ ජීවත්වෙමින් කලාවට ආදරය කරමින් තම දක්ෂතා ලෝකය ඉදිරියේ පෙන්වූ පුංචි කලාකරුවෙකු අපට මහරගමෙන් හමුවුණා. 9 වසරෙහි අධ්‍යාපනය ලබන ඔහු නමින් කුසල් දම්සිත්. මහරගම ජනාධිපති විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරන කුසල් පාසලේ ඉතා කැපී පෙනෙන සිසුවෙක්. මව,පියා සහ සහෝදරයකු පමණක් සිටින පවුලේ බාලයා ඔහුයි. මෙවර සඳැල්ලෙන් සූදානම මේ දක්ෂයාව හඳුන්වා දෙන්නටයි.
කුසල් ඔබ මේ වන විට නිර්මාණ කීයකට පමණ සම්බන්ධ වෙලා තිබෙනවද?
පළමුවෙන්ම රංගනයේ යෙදුණේ කෝපි කඩේ නාට්‍යයේ. දැනට විකාශය වන නාට්‍ය වන සැලෙනා නුවන්, සිනාවේ කතාවේ නාට්‍යය සහ විකාශය වූ ටීච අම්මා, 1990, හපන්නු අපි ගමේ රාජ්ජේ වැනි නාට්‍යවලට සම්බන්ධ වුණා. ඊට අමතරව පෝය නාට්‍යයට සහ කෙටි චිත්‍රපට කිහිපයකත්, මොනාලිසා චිත්‍රපටයේත් රංගනයෙන් දායක වුණා.
ඉදිරියේ දී ඔබගේ එන්න තිබෙන නිර්මාණ මොනවද?
දැනට කරලා තියෙන නාට්‍ය හයක් පමණ තියෙනවා. ඒවා ඉස්සරහට දැකගන්න ලැබෙයි.
ඊට අමතරව ඔබ දායක වුණු නිර්මාණ විශාල සංඛ්‍යාවක් තිබෙනවා නේද?
ඔව්. මම හඬ කැවීම් කටයුතු කරනවා, ඒ වගේම විදේශ කාටුන්, විදේශ නාට්‍යය, විදේශ කෙටි චිත්‍රපට හතළිහක පමණ හඬ කවලා තියෙනවා.
ඒ වගේම වෙෙළඳ දැන්වීම් තිහක පමණ හඩ දායකත්වය ලබා දී තිබෙනවා. වෙෙළඳ දැන්වීම් හතරක පමණ රංගනයෙනුත් දායක වුණා.
ඊට අමතරව FM දෙකක විකාශය වූ නාට්‍ය වලට හඬ දායකත්වය ලබා දී තිබෙනවා.
ඔබේ පාසල් වැඩකටයතු ගැන කතා කළොත්?
පාසලේ විෂය බාහිර වැඩ රැසකට මම සම්බන්ධ වෙලා ඉන්නවා. විශේෂයෙන් කිව්වොත් පාසලේ නැටුම් කණ්ඩායමට. එහිදී අපි සම්බන්ධ වුණු නැටුම් තරගාවලියකින් අපේ කණ්ඩායම සමස්ත ලංකා පළමු ස්ථානය ලබා ගත්තා. ඒ වගේම පාසලේ හෙවිසි කණ්ඩායම, පෙරදිග තූර්ය වාදක කණ්ඩායම, නියෝජනය කරනවා. ගිය වසරේ සමූහ වාදන තරගයෙන් රාජ්‍ය සම්මානය ලබාගත්තා. එමෙන්ම පාසලේ මාධ්‍ය එකකයේ සාමාජිකයෙක්. පාසලේ වැඩකටයුතු සමග මගේ බාහිර වැඩ සමබරව කරගෙන යනවා. මගේ පාසලේ දේවල්වලට විදූහල්පති තුමා, පාසලේ ගුරුවරුන්, මගේ යාළුවන්ගෙන් ලොකු සහයක් ලැබෙනවා. ඒ වගේම මගේ කලා ගමනට බොහෝ පිරිසක් ලොකු ශක්තියක් වෙලා තිෙයනවා. ඒ හැමෝම විශේෂයෙන් සිහිපත් කරන්න ඕනැ.
ඔබ රංගනයේ යෙදුණ චරිත පිළිබඳ කතා කළොත්?
මට ලැබෙන චරිත වැඩිහරියක් කටකාර, දගකාර චරිත. මම රංගනයේ යෙදුණ හැම චරිතයකටම මම ගොඩක් කැමතියි. එ් අතරින් ගොඩක් විශේෂ චරිතය වෙන්නේ හපන්නු අපි ගමේ රාජ්ජයේ බරණගේ (ගෙම්බාගේ) චරිතය. බුද්ධික සර් මගේ දක්ෂතාවන් තෙරුම් අරගෙන එ්වට සරිලන විදිහට මගේ චරිතේ ගොඩ නඟලා දුන්නා. ගොඩක් මිනිස්සු අතරට ගියේ එ් චරිතෙන්. මෙවර 2025 රයිගම් (21) වෙනි සම්මාන උලෙළේ දී 2024 සදහා ළමා කුසලතා සම්මානය මට ලැබුණා. මගේ කලා ජීවිතයේ ලැබුන ලොකුම සම්මානේ තමයි ඒ. බුද්ධික සර් මට ඒ සම්මානය ගන්න ලොකු ශක්තියක් වුණා. හපන්නු අපි කණ්ඩායමේ සියලු දෙනාට බොහොම ස්තුතියි. ඉතින් මේ හැම දේමත් එක්ක මගේ අනාගත බලාපොරොත්තුව තමයි ලෝයර් කෙනෙක් වෙන්න.එ් අතරතුර රංගනයෙත් යෙදෙනවා.
සුදර්ශනි කෝණාර