කම්කරුවන්ගේ බ්ය නැති කරන්න ඉදිකළ මාවනැල්ලේ හින්දු කෝවිල


කඩුගන්නාවේ අඩිපාර මහ පාරක් කළ 

සුදු ඉංජිනේරුවා-3

 

මහා ඝන වනාන්තර එළි පෙහෙළි කරමින් ගල් පර්වත කුඩු කරමින් අලුතෙන්ම පාරක් කපාගෙන යෑම යනු ලේසි පාසු කටයුත්තක් නොවේ. අද වගේ නොව මේ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 1820-22 කාලයයි. බ්‍රිතාන්‍යයන් උඩරට පළාත් යටත් කර​ෙගන වසර කිහිපයකට වඩා ගෙවී ගොස් නැත. 1818 මහා කැරැල්ලක් ඇති වී බ්‍රිතාන්‍යයන් හා උඩරැටියන් යන දෙපිරිසටම බරපතළ හානි සිදු වී ටික කාලයකි. ආණ්ඩුකාරයාගේ අණ පරිදි කපිතාන් ඩෝසන්, කෑගල්ල මාවනැල්ල හරහා බලන කඳු පර්වතය මැදින් මහනුවර කරා මහා මාර්ගයක් කපාගෙන යන කාල සීමාවය. කන්දේ දෙයියන් හෙවත් ශ්‍රී වික්‍රම රාජසිහ රජ්ජුරුවන් ඉංග්‍රීසින්ගේ අත්අඩංගුවට පත්ව වසර පහකට ආසන්න කාල සීමාවය.   

ඒ වෙද්දි සමාජයම අලුත්වෙමින් තිබුණේය. කැකුණ පන්දම් පත්තු කළ මිනිසුන්ට චිමිනි ලාම්පු සහ ටින්වල දැමූ තෙල් ද එංගලන්තයේ සිට ගෙනැවිත් තිබිණි. ගැහැනුන්ට මුහුණ බලන කණ්ණාඩි, පුයර, පනා ඉමිටේෂන් වළලු මාල ආදිය රැගත් මනිබඩුකාරයෝ ගම් දනව් සැරිසැරූහ. පිරිමින්ගේ කොණ්ඩා කැපීමට බාබර්ලා හන්දියක් හන්දියක් ගානේ වාඩි ලා සිටියහ. රජ්ජුරුවන්ගේ පාලන කාලයේ නම් පිරිමි හිස කෙස් වවා බැඳ සිටියහ. කොණ්ඩය කැපු අයකු වේ නම් සිර භාරයෙන් ළඟදී නිදහස් වී ආ අයකු බව රටටම දැන ගත හැකි විය. එකල කොණ්ඩය කැපුවේ අපරාධකාරයන්ය. එහෙත් අලුත් ආණ්ඩුවේ ඉංගිරිසි කාරයෝ හිස කෙස් කැපූහ. ගැමියෝද හිස කෙස් කැපූහ. හිස කෙස් වැවූ අය සිටියේ අතරින් පතරය. සමාජය ඔවුන් දෙස බැලුවේ වපරැසිනි. ඔවුහු සමහර විට කන්දේ දෙයියන්ගේ අනුගාමිකයෝ විය හැකිය. සමාජය උඩු යටිකුරු වී තිබිණි. 1815 මාර්තු 2 වැනිදා කන්දේ නුවර මහ වාසලේ සිදුවූ වෙනස්කමත් සමග කන්දේනුවර සීමා මායිම්වලට අයත් ගම් බිම් මහා විලෝපනයකට භාජනය වූයේය. කන්දේ දෙයියන්ට පක්ෂපාතව සිටි මහ මුලාදෑනීහු ද ටිකදෙනෙක් හැර බහුතරයක් මුලාදෑනීහු කන්දේ දෙයියන් දෙයියකු නොව සාමාන්‍ය මිනිසකු බව කියන්නට පටන් ගත්හ. දෙයියන් ලෙස පෙනී සිටි නරුම සුරා සොඬෙකුගෙන් තමන් ගලවා ගත් ඉංග්‍රීසි ආණ්ඩුව සැබෑ දෙයියන් බව කියන්නට පටන් ගත්හ. මහ මුලාදෑනීන්ගේ සිට සුළු මුලාදෑනීන් දක්වා සියලුම නිලමේවරුන්ගේ ආදර්ශ පාඨය වූයේ “ගෝඩ් සේව් ද කිං” ගීතයයි. සුද්දන්ගේ රටේ ජාතික ගීය වන එයින් කියන්නේ ‘දෙවියන් අපගේ රජු රැක දේවා’ කියාය. වසර කීපයකට කලින් මහ වාසලේදී අපේ දෙයියන්නාන්සේ කීවේ නිලමෙලාගේ ඒ කටවල් වලින්මය.   

 

 

හිඟුල ඔයෙන් එගොඩ වී ටික දුරක් යද්දී මාවනැල්ලට ආභරණයක් බඳු ජල දහරක් එතෙක් කඳු පල්ලම් හා කැලෑ මැදින් ආ ගම​ෙන් මඳ ඉසිඹුවක් ලබන්නීය. බතලේගල කඳු මායිමේ කිණිහිරගල කඳු වැටියෙන් ගමන් අරඹා දිය ඇලි පහක් ලෙස පස් පොළකින් පහළට වැටෙන ඕ තොමෝ එතැන් සිට ‘මා ඔය’ යැයි නම් ලබන්නීය. ඇගේ ඉවුරු දෙපස වැඩුණු යෝධ ගහ කොළ ඇගේ රූසිරිය බාහිර ලෝකයෙන් මුවා කරන්නට පුළුල් පවුරක් නිමවා තිබුණි. ගස් පෙළින් නිමැවුණු ඒ පවුර පුරා කෑගලු නිම්නයට අනන්‍ය වූ ලතා මඩුලු එකිනෙකා වැලඳගෙන පෙම් බස් තෙපලාය. බලන කඳු වැටිය පේන මානයේ දී එතෙක් පෑ දඟකාරකම් මඳකට ලිහිල් කළ ඇය ඉන් පසු තැන්පත් ගැහැනියක සේ ලැසි ගමනින් ගලන්නට පටන් ගත්තාය. ඇගේ ගමනාන්තය ඇත්තේ සැතපුම් 68ක් ඈතිනි. කම්මල්තොට යැයි නම් ලද මෝයකදී ඇය සියළු දඟකාරකම් අත් හැර ඇයටත් වඩා ප්‍රචණ්ඩ සාගර වෙරළකට තුරුලු වන්නීය. එහෙත් 1820 වසර වන විට ඇයගේ හු​ෙදකලා ගමන නැති කර දමන ඉරණම් සහගත සිදුවීමකට මුහුණ පා සිටියාය.   


අරණායක අසුපිනි ඇල්ලෙන් උත්පත්තිය ලබා මීගමුවේ වයික්කාලෙන් මුහුද සිප ගන්නා මා ඔය මාවනැල්ලේ දී ගලන්නේ ගල් තලා මැදිනි. මහ පොළොව මා ඔයේ චණ්ඩ ජල කඳට හසු වී තැලි මිරිකී ගිය අයුරු මාවනැල්ලේ දී හොඳින් දැක බලා ගත හැකිය. වසර දහස් ගණනක් තිස්සේ මා ඔයේ ජල කඳ ගලා ගියේ මහ පොළොවෙන් සූරා ගත හැකි සියලු පස් තට්ටු අංශු බවට පත් කරමිනි.   


සෑම දිනකම මා ඔය මහා ජල කඳක් ගෙන යන්නේ නැති වුවත් මෝසම් වැසි කාලයට මා ඔය ඉවුරු බිඳ ගෙන ගලා යයි. මහ ගංවතුරෙන් පවා ගසා ගෙන නොගිය ගල් තලාව ඊළඟට හසුවුණේ කපිතාන් ඩෝසන්ගේ අත්අඩංගුවටය. ඔහු පාලම ඉදිකිරීමට තෝරා ගෙන තිබුණේ ගල් තලාවක් මැදින් මා ඔය ගලන කඩා දොරුවකි. එහෙත් එය පායන කාලයට ගල් තලාවක් වුවත් වැසි සමයට පළාතම යට කර ගෙන පිටාර ගලන තැනක් බව දුරු රටක සිට ආ කපිතාන් ඩෝසන් දැන උන්නේ නැත.   


දිගු කාලයකට පසු මා ඔය ඉවුරු තලා බැස ගොසින් සිටියාය. බැලු බැලු හැම තැනම වූයේ මහා ජල කඳය. 

 
ඩෝසන්ගේ ඉංජිනේරුවෝ පළමු වතාවට පෙර දිග රටකදී පුදුමයෙනුත් පුදුමයට පත් වූහ. ඔවුන් දුටු​වේ එතෙක් දිය සීරාවක් බවට පත්ව තිබූ මා ඔය කට මට්ටමට පිරී ඇති බවය. මහා සැඩ පහර එහි ඉවුරුද සෝදා දමමින් පිටාර ගලමින් පැවතුණි.   


ඔක්කොම ඉවරයි. කොහෙ තිබුණු වතුර කඳක්ද? උදේ වෙනකම් වතුර නැතිව තිබ්බ ගංගාවට කොහෙන් ආපු වතුරක් ද මේ? ඉංගිරිසි නිලධාරීහු තම විස්මය පළ කළහ. කරත්ත ගණනක් පුරවාගෙන ආ ගඩොල් දැන් ඇත්තේ මහා ජල කඳට දියවෙමිනි. මෙතෙක් බැඳ තිබුණු අඩි ගණනක් උස කුලුනු යළි ප්‍රයෝජනයට ගත නොහැකි පරිදි විනාශ වනු ඇත.   


ගං වතුර ඉවුරු දෙපැත්තේම ජනාවාස දක්වා විහිද ගියේය. කම්කරුවෝ ඇඳිවත පමණක් ඇතිව පණ බේරා ගැනීමට උස් බිම කරා දිව ගියහ.   


කම්කරු ජනපදයම නොසිතූ ගංවතුරෙන් කැලඹීමට පත්ව තිබිණි. 

 
එක වැහි පොදක්වත් වැටුණෙ නෑ. එක හුළඟක් හැමුවෙ නෑ. කොහෙන් ආ වතුරක් ද? මිනිසුන්ට පුදුමය වළක්වා ගත හැකි නොවීය. එක දිගටම වතුර ගැලුවේය.   


දවස් ගණනකට පසු ඩෝසන් ආවේ ආරුක්කු පාලමට වී තිබූ විනාශය බලන්නටය. ගල් තලාව පුපුරවා බැඳගෙන ආ කුලුනු ගඩොලක්වත් ඉතිරිව නැතිව පොළොවටම සමතලා වී තිබිණි. මහා ගංවතුර ගඩොල් සියල්ලම දියකර ගෙන කම්මල්තොට කරා ඇදී ගොස් තිබිණි. ගංගාවේ ඉවුරු කැඩී බිඳි අඩි ගාණක් උස මඩ රොල්ලක් ඉවුර පුරා ද ගංගාව පුරාද ගොඩගැසී තිබිණි.   


සුසුමක් හෙලූ ඩෝසන් ආපසු හැරුණේය. කුමක් හෝ වැරදී තිබේ. සති ගණනක වෙහෙස වැසි දිය විසින් සෝදා දමනු ලැබ ඇත.   


ඊළඟ විනාශය ආවේද සොබා දහමෙනි. වැසි දිය පිරුණු ගල් කෙමිවල හා ළඳු කැලෑවල සිය දහස් ගණන් මැසි මදුරුවෝ පියාසර කරන්නට පටන් ගත්හ. ගම්දනව් කරාද, කම්කරුවන්ගේ නිවාසවලට ද පිවිසීමට මදුරුවන්ට කාගෙන් වත් අවසර ගත යුතු වූයේ නැත.   


දින දෙක තුනක් යද්දී කම්කරුවෝ බුරුතු පිටින් මැල වී යන්නට පටන් ගත්හ. උදෑසන මැලවුණු මිනිසා දහවල් වන විට ගැහෙන්නට  පටන් ගනියි. ගැහෙන මිනිසාගේ සිරුර ගිනි කබලක් වා​ෙග් රත් වෙයි.   


“​ෙදයිහාමුදුරුවෝ කෝප වෙලා. දැඩිමුණ්ඩ දෙයියෝ කෝප වෙලා කැලෑ උණ හැදිලා” කම්කරුවෝ තැන තැන කියන්නට පටන් ගත්හ. කැලෑ උණ ගැමියන්ට සාමාන්‍ය උණක් වුවද ආගන්තුකයන්ට වසංගතයක් වන්නේය. බලන කඳු බෑවුමේ කැලෑ බඳ ගම්මානවල ජනයා වසර සිය ගණනක් කැලෑ උණ සමග ජීවත් වූයෙන් ඔවුන්ගේ සිරුරු කැලෑ උණට හුරුව තිබිණි. එහෙත් ඩෝසන්ගේ නිලධාරීහු ද ඉන්දීය කම්කරුවෝද කැලෑ උණට ආගන්තුකයෝ වූහ.   


තවත් දවස් ගෙවෙද්දී නොදන්නා රටක නොදන්නා බිම්කඩකදී ඩෝසන්ගේ සමහර නිලධාරීහු ද ඉන්දියන් කම්කරුවෝ ද තම දිවියේ සදාකාලික නින්ද ලැබූහ. මහා ගං වතුරෙන් මාසයක් ගත වෙද්දී කම්කරු ජනපදයෙන් බාගයක් සිටියේ ගං ඉවුර බද කැලෑ රොදේ අඩි හයක් යට සැතපෙමිණි.   


ඉංග්‍රීසි නිලධාරීන් ද කම්කරුවන් ද තොග ගණනේ කැලෑ උණෙන් මිය යන අයුරු කපිතාන් ඩෝසන් බලා සිටියේ පුදුමයෙනි. කොළොම් තොට සිට කෑගල්ලට එනකම් මෙතරම් දරුණු ජීවිත හානියක් සිදු වී නොතිබිණි. එහෙත් මේ වන අඩවියේදී යම් අදෘශ්‍යමාන බලවේගයකට නතු වුණා සේය. රෝගීන්ගෙන් පළාතේ රෝහල් පිරී තිබුණේ ප්‍රදේශයේ කවදාවත් නොතිබූ අයුරිනි. කළ යුතු දෑ පිළිබඳව දන්නා කෙනකුගෙන් උපදෙස් ගැනීමට ඩෝසන් තීරණය කළේය.   


“අපේ මිනිස්සුන්ට මේ භූමිය ඔරොත්තු දෙන්නේ නෑ. මේ භූමියට අයිතිකාරයෙක් ඉන්නවාද? අපේ මිනිස්සු කියන්නේ මාඩසාමි කෝප වෙලා කියලා. වෙන එකක් තියා මටත් බයයි. ඊයෙ පස් යටට කළේ මගෙ ඥාතියෙක්” ඉන්දියානු කම්කරුවන්ගේ ප්‍රධානියෙක් කීවේය. “මාඩසාමි කියන්නේ මහසෝනා. මහසෝන් දෙයියො බලගතු කෙනෙක්. ​කෝප වෙලා නම් ඉතින් කෝපය නිවන්න වෙයි. කියන විදිහකට කරන්නම්. අපි මාඩසාමිට බාර වෙන්නම්. ඒ ව​ෙග්ම මේ භූමියට අරක් ගත්තු දැඩිමුණ්ඩ දෙයියන්ට කියන්න මේ විනාශය නවත්වන්න. කියලා” ගැමි ප්‍රධානියෙක් හමු වූ ඉන්දියානු කම්කරු ප්‍රධානියා කීවේය. කම්කරුවන් ඔහුට කීවේ ත​ෙලවර් කියාය.   


‘‘උන්නාන්සේට බාර භාර නොවී පාරෙ වැඩ පටන් ගත්තු නිසා මේ විනාශය වුණා කියලත් මිනිස්සු කියනවා.   
මේක අලුත් නුවර දැඩිමුණ්ඩ දෙයියන්ගේ අඩවිය. අහසත් බය වෙන වෙඩි දාන කොට උන්නාන්සේ ඇවිත් බලන්න ඇති. සුදු ඇඳගෙන කෝටුවක් අතේ තියා ගෙන පාලම හදන තැනට ගිය අත්භූත කෙනෙක් ගැන මිනිස්සු කතාවෙනවා. ගල් වෙඩි දාන දිහා බලාගෙන ඉඳලා කෝටුවෙන් අහසේ ඉරක් ඇන්දලු. එදා ඉඳලා තමයි ගංවතුරයි කැලෑ උණයි එන්න පටන් ගත්තේ.’’   


දැඩිමුණ්ඩ දෙවියන්ට පූජාවක් තබා උන්වහන්සේගේ අවසරය ගෙන පාලම ඉදිකිරීමේ කටයුතු සිදු කළා නම් මෙතරම් සුවිශාල ජීවිත හානි සිදු නොවන බව ගැමි ජනතාවගේ මතය විය. 


මේ නිසා පාලම ඉදිකිරීමේ ඩෝසන්ගේ වැඩ බිම් පුරා කම්කරුවන් සිටියේ බියට පත්වය. පෑලියගොඩ සිට පාර කපමින් ආ ජනයා අතර දේශීය ජනතාව ද ඉන්දියාවෙන් ගෙන ආ කුලී කරුවන් ද මේ නිසා වැඩ බිම කරා කැඳවා ගැනීම කපිතාන් ඩෝසන්ට ප්‍රශ්නයක් වී තිබිණ.   


‘‘අපිට බෑ නිකම් මැරෙන්න. මාඩසාමි ගහනවා. මාඩසාමි අපිව මරනවා.’’ ඉන්දියානු කුලී කරුවන් අතර වේගයෙන් පැතිර ගිය මතවාදයක් විය. ඔවුන් බියෙන් සිටියේ මාඩසාමිටය. කවුද මේ මාඩසාමි?   


මාඩසාමි යනු මහසෝනාය. මිනිසුන් උන් හිටි ගමන් මියයන්නේ මහසෝනා​ගේ පහර දීමකින් බව ගැමි ජන විශ්වාසයක් පවතී. මේ මතය දෙමළ කුලීකරුවන් අතර ද පැතිර යන්නට ඇත. මහසෝනා මාඩසාමි වුණේ ඒ අයුරිනි.   
ගැමි ජනතාවගේ දුක ඇසුවේ අලුත්නුවර දේවාලයේ දැඩිමුණ්ඩ දෙවියන්ය. දමිළ කම්කරුවන්ගේ දුක කී​ෙව් මාවනැල්ලේ තනාගෙන යන පාලම කිට්ටුවෙන් අලුතෙන්ම තැනූ කුඩා දේවාලයකටය. ඒකාලයේ මාවනැල්ල ජනාවාස වී නොතිබූ නිසාත් ගෙවල් දොරවල් තිබුණේ අතළොස්සක් නිසාත් දමිළ කම්කරුවන් වෙනුවෙන් දේවාලයක් ලෙස හදා ගත්තේ කුඩා පැල්පතකි. එහි මාඩසාමිගේ කුඩා පිළිමයක් හදා ගත්තේ අතට හසු වූ ලී කැබැල්ලකිනි. තවත් කම්කරුවෙක් පාරේ වැඩට එරොප්පෙන් ගෙන ආ යකඩ කැබැල්ලක් මාඩසාමි ළඟින්ම තබා වැඳ වැටුණේය. ලංකා භූමියට අලුත් දේවාලයක් ලැබීමේ ආරම්භය එය විය.   


දමිළ කම්කරුවන්ගේ ප්‍රධානියා වූ ත​ෙලවර් සියලු කම්කරුවන් රැස්කර මහා විනාශයෙන් ගැලවීම සඳහා යාතිකාවක් සංවිධානය කළේය. මාඩසාමිගේ කුඩා පිළිරූ තැනූ කම්කරුවෝ ඒවා අලුත් දේවාලය මත තබා තම දිවි රැක දෙන්නැයි යාඥා කළහ.   


ප්‍ර​දේශවාසී ගැමියෝ අලුත් නුවර දැඩිමුණ්ඩ දෙවියන් ඉදිරියේ වැඳ වැටී අලුත් පාර කැපීමේදී මතුව ඇති බාධා ඉවත් කර දෙන ලෙස යාඥා කළහ.   


ටික දිනකින්ම වැස්ස නතර විය. කැලෑ උණ ​බෝ කළ මදුරු වසංගතය ද නතර විය. කම්කරුවෝ දිගටම මාඩසාමි වෙනුවෙන් තැනු දේවාලයට පුද පූජා කළහ.   


එදා දමිළ කම්කරුවන් වෙනුවෙන් හැදූ කෝවිල මාවනැල්ල - කඩුගන්නාව පාරේ අද ද දැක ගත හැකිය. අද එය හැඳින්වෙන්නේ ‘මාවනැල්ල කතරගම’ දේවාලය යනුවෙනි.   


එහි පාලනය බාරව සිටින්නේ ආනන්ද ෂර්මා කපු මහතාය. මේ ඔහු කියන කතාවයි. 

 
‘‘මේ කෝවිල පටන් අරගෙන තියෙන්නේ ඉන්දියාවෙන් ගෙන ආ කම්කරුවන්ට වඳින්න පුදන්න තැනක් හැටියටයි. ඒකාලේ ඉන්දියාවෙන් ඇවිත් මෙරටේ ව්‍යාපෘති කළ හෙට්ටි යැයි හඳුන්වන ජන ප්‍රජාව තමයි මේ කෝවිල වැඩි දියුණු කරලා හදලා තියෙන්නෙ. මම මේ ස්ථානයට ආවේ 1959 දී. එක දිගට කම්කරුවන්ට ආ කරදර හිරිහැර මෙතනට බාරවෙලා ටික දිනකින්ම නතර වූ බව කියැවෙනවා. පාර හදපු සුදු මහත්තුරු මේ ප්‍රදේශයේ වැඩ ඉවරවෙලා යන කොට ඉතිරි වෙලා තිබුණ යකඩ බඩු දීලා තියෙනවා කෝවිල සවිමත්ව හදාගන්න.’’   


ඉන්පසු මෙතැන දිගටම පහන් පත්තු කරලා තියෙනවා. මෙතැන දෙවියන් හැටියට සලකන ප්‍රධාන පූජා වස්තුව වෙන්​ෙන බර යකඩ කෑල්ලක්. එහි යූ.එස්.ඒ. කියන අකුරු තුන කොටලා තියෙනවා. ඒ යකඩ කෑල්ල තැන්පත් කරලා කොන්ක්‍රීට් දාලා තමයි දේවා භරණ ටික ඊට යටින් තැන්පත් කරලා තියෙන්නේ. අපි දේවාලයේ වැඩ පටන් ගන්නේ එම යකඩ කැබැල්ලට කපුරු අල්ලල පුද පූජා කරලා තමයි. ආනන්ද ෂර්මා පූජකවරයා කියයි.   


යකඩ කැබැල්ලකට පුද පූජා කෙරෙන ලංකාවේ එකම දේවාලය මාවනැල්ලේ කතරගම දේවාලය වීම ඓතිහාසික සිද්ධියක අපූරු සිහිවටනයකි.   

 

මතු සම්බන්ධයි.   

 

 

 

 

 

 

 



ප්‍රේ‍මකීර්ති රණතුංග