ඕමානයේ අඟහරු මෙහෙයුම


 

ඔබ මේ ලිපිය කියවන මොහොතේ, පෘථිවි ගගනගාමීන් සහභාගී වන අඟහරු මෙහෙයුමක් සිදුවෙමින් පවතින බව දන්නවාද? මේ මෙහෙයුම අඟහරු යෑම සම්බන්ධයෙන් කෙරෙන පෙරහුරුවකි. අනාගතයේ කවදා හෝ දිනෙක මිනිසා අඟහරු ගියොත්, අඟහරු මතුපිටදී මුහුණ දෙන අභියෝග, සිදු කරන පර්යේෂණ ආදිය සම්බන්ධයෙන් කෙරෙන පෙර පුහුණුවක් ලෙස මෙම මෙහෙයුම සැලකිය හැකිය. මෙම පුහුණු මෙහෙයුම සිදුවන්නේ ඕමානයේ දෝෆා කාන්තාරය කේන්ද්‍රකොට ගෙනය.   

මෙහෙයුමට එක් වී සිටින පිරිස අඟහරු ගිය ගගනගාමීන් යැයි සිතමින්, ගගන ඇඳුම් කට්ටලවලින් ද සැරැසී ඩ්‍රෝන යානා සහ රොබෝ යානා භාවිතයට ගනිමින් පර්යේෂණ සිදු කරති. ඔවුන් වෙනුවෙන් විශේෂ හරිතාගාරයක් ද කාන්තාරයේ නිර්මාණය කර ඇත. අඟහරු මතුපිට වගා කිරීම සම්බන්ධයෙන් ද අත්හදා බැලීමේ පර්යේෂණ කිහිපයක්, මෙම හරිතාගාරය භාවිත කරමින් සිදුකෙරේ. දෝෆා කාන්තාරයේ, නිසරු වියළි භූමියේ, නොයෙක් විදියේ පර්යේෂණ 19ක් සිදු කරන බව ද පැවැසෙයි.   


අඟහරු පෙර පුහුණු මෙහෙයුමට දෝෆා කාන්තාරය තෝරා ගෙන ඇත්තේ එය අඟහරු මතුපිට ඇති නිසරු පරිසරයට බෙහෙවින් සමාන වන නිසාය. උඩු ගුවනේ සිට, එසේත් නැතිනම් අභ්‍යවකාශයේ සිට නෙත් බලද්දී, දෝෆා කාන්තාරය පෙනෙන්නේ පැතලි දුඹුරු පැහැති පැල්ලමක් ලෙසිනි. අඟහරු මෙන් වියළි පරිසරයක් පෙන්නුම් කළත් මෙම කාන්තාරය ජීවයෙන් තොර තැනක් නොවෙයි. සත්ව සහ ශාක විශේෂ කිහිපයක් මෙහි දකින්න ලැබෙයි.   


කාන්තාරයේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 125 කි. (සෙල්සියස්වලින් කීවොත් අංශක 51 කි.) දෝෆා කාන්තාරය මුළුමනින්ම අයත් වන්නේ ඕමාන් රාජ්‍යයටයි. අඟහරු පෙර පුහුණුව සඳහා ඕමාන් සුල්තාන්වරයාගේ පූර්ණ අනුග‍්‍රහය විදෙස් විද්‍යාඥයන්ට හිමි වී ඇත. අවශ්‍ය සියලු පහසුකම් ලබා දීම ඕමාන් රජයෙන් සිදුවෙයි.   


අඟහරුගේ දකින්න ලැබෙන ලක්ෂණ රැසක් දෝෆා කාන්තාරයේ දකින්න ලැබෙන බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. දෝෆා කාන්තාරය සහරා කාන්තාරය මෙන් වැලිවලින් පමණක් සමන්විත වී නැත. ගල් ගොඩැලි පවා තැනින් තැන දකින්න ලැබේ. භූ විද්‍යාඥයන්ගේ අදහස වන්නේ, ඈත අතීතයේ මෙම කාන්තාරය අයත් ප‍්‍රදේශයේ මුහුදක්, වැව් සහ ජලාශ තිබුණු බවය. ඊට අද‌ාළ සාක්ෂි පවා සොයාගෙන තිබේ. අඟහරුගේ ද අතීතයේ ජලය තිබෙන්න ඇති බවට සාක්ෂි මේ වනවිට ලැබී ඇත. පස්වල ජල අංශු ඇති බවත් ධ‍්‍රැව ප‍්‍රදේශවල අයිස් ඇති බවත් සොයාගෙන ඇත. ඈත අතීතයේ අඟහරු මතුපිට ජීවය පවතින්න ඇතැයි ද විශ්වාස කෙරේ.   


කාන්තාරයේ නැගෙනහිර දෙසින් කෙළවරේ, ගගනගාමීන් රැඳී සිටින ‘ඕමාන් අඟහරු මූලස්ථාන කඳවුර’ පිහිටුවා ඇත. මෙම කඳවුර වට කරමින් ඇත්තේ යෝධ කන්ටේනර් පෙට්ටි ය. ගගනගාමීන්ගේ පර්යේෂණාගාර, නිදන කුටි ආදියට යොදා ගැනෙන්නේ මෙම කන්ටේනර් පෙට්ටි ය. රටවල් 25ක් නියෝජනය කරමින්, විද්‍යාඥයන් සහ පර්යේෂකයන් 200කට වැඩි පිරිසක්, ගගනගාමීන් ලෙස මෙම කඳවුරට පැමිණ ඔවුන්ගේ පර්යේෂණවල නියැළෙන්නේ පසුගිය ජනවාරි අවසානයේ සිටය. අඟහරු පුහුණු මෙහෙයුම ලබන පෙබරවාරි 28 වැනිද‌ායින් අවසන් වනු ඇතැයි පැවැසෙයි.   


ඇමෙරිකාවේ නාසා ආයතනය, යුරෝපා අභ්‍යවකාශ ආයතනය පමණක් නොව ලොව ප‍්‍රධාන පෙළේ අභ්‍යවකාශ ආයතන රැසක් මෙම මෙහෙයුමට සම්බන්ධ වී සිටී. අභ්‍යවකාශ තරණය සම්බන්ධයෙන් තමන්ට මේ විදියට සහාය ලබා දීමට හැකිවීම සතුටක් යැයි ඕමාන් සුල්තාන් බින් සයිඩ් අල් සයිඩ් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසා ඇත. අභ්‍යකාශය ජය ගැනීම සම්බන්ධයෙන් මැදපෙරදිග රටවල විශාල උනන්දුවක් තිබේ. ඔවුන්ට ඒ සඳහා මිල මුදලින් අඩුවක් නොමැත.   


ලොව උසින් වැඩිම ගොඩනැගිල්ල හෙවත් ‘බර්ජ් කලීෆා’ අහස සූරන ගොඩනැගිල්ල පිහිටා ඇති එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද අඟහරු මෙහෙයුමකට සූදානමින් සිටී. ඔවුන් කරන්න සූදානම් වන්නේ අඟහරු ලොවේ පළමු නගරය ඉදිකිරීමටය. අඟහරු ලොව සම්බන්ධයෙන් මෙතෙක් සිදු කර ඇති සොයා ගැනීම් පාදක කර ගනිමින්, මෙම නගරය ඉදිකිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සූදානම් වෙන්නේ 2117 වසරේදීය. ඇමෙරිකාවේ නාසා ආයතනය පෙන්වා දෙන අන්දමට අඟහරු බලා මිනිසා යැවෙනු ඇත්තේ 2030 වසරෙන් පසුවය.   


තාක්ෂණයෙන් කොතරම් දියුණුවට ගියත්, තවමත් මිනිසාට අඟහරු ජය ගැනීමට හැකියාව ලැබී නැහැ. ඊට හේතු කාරණා කිහිපයකි. පළමු කාරණාව නම්, අඟහරු බලා යන දුර ගමනකට අවශ්‍ය ඉන්ධන නිසි පරිදි එක් රැස් කර තබා ගැනීමට නොහැකි වීම. අඟහරු ග‍්‍රහයාට යෑමට හෝ මිනිසුන් අඟහරු මත පතිත කිරීමට හැකි ආකාරයේ අභ්‍යවකාශ යානාවක හෝ රොකට්ටුවක අඩුවක් පවතී.   


කෙසේ නමුත් පසුගිය දා ඇමෙරිකාවේ ‘ස්පේස් එක්ස්’ නමැති පෞද්ගලික සමාගම ඔවුන්ගේ ප‍්‍රබල රොකට්ටුවක් වන ‘ස්පේස් එක්ස් හෙවී’ අඟහරුගේ කක්ෂයකට යවනු ලැබුණි. ඒ අත්හදා බැලීමක් ලෙසිනි. ලොව මෙතෙක් නිර්මාණය කර ඇති ප‍්‍රබලතම රොකට්ටුව මෙය යැයි පැවැසෙයි. මෙම රොකට්ටුව අඟහරු ගමනකට යොදා ගැනීමට නාසා ආයතනය බලාපොරොත්තු දල්වාගෙන සිටී.   


සියලු බාධක ජයගෙන අඟහරු ගියත්, අඟහරු මතුපිටදී ගගනගාමීන් පණ පිටින් තබා ගැනීම ද ගැටලුවක් වී තිබේ. අඟහරු බලා යන ගමන දින කිහිපයකින් කළ හැකි දෙයක් නොවෙයි. ඊට අඩුම තරමින් වසර එකහමාරක් හෝ දෙකක් ගතවෙයි. සඳ ගමන මෙන් නොවෙයි. එවැනි දීර්ඝ ගමනකට මිනිස් සිරුරේ ඔරොත්තු දීමේ හැකියාව ද අභියෝගයට ලක්වී තිබේ.   


අඟහරු බලා යෑම ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර, ඊට පෙරමඟ සකස් කරමින් ඇරැඹි මෙහෙයුම් රැසක් අසාර්ථක විය. විශ්වයේ ඈත ග‍්‍රහලෝකවලට යෑමට පෙර, පෘථිවියේ ගුරුත්ව බලයෙන් මිදී පෘථිවි කක්ෂයට පිවිසීම පවා මිනිසාට ඇති විශාල අභියෝගයකි. අභ්‍යවකාශ කටයුතු සම්බන්ධ ප‍්‍රවීණයන්ට පවා අඟහරු ගමන අභියෝගයකි. 1960 වසරේ සිට අප අඟහරු ගවේෂණයට යානා යැවුණු නමුත් ඒවායින් සාර්ථක වූයේ සියයට 50ක් පමණි. අඟහරු ගවේෂණය අතින් සාර්ථක වූයේ ඇමෙරිකාවේ නාසා ආයතනය පමණි. 1960 දශකයේ සිට අඟහරු ගවේෂණ මෙහෙයුම් 21ක් නාසා ආයතනය මගින් සිදු කෙරුණු නමුත් එයින් සාර්ථක වූයේ 6ක් පමණි.   


අඟහරු මතට ගිය ප‍්‍රථම අභ්‍යවකාශ යානා ලෙස සැලකෙන්නේ 1971 දී රුසියාව (එවකට සෝවියට් දේශය) විසින් යවන ලද ‘මාස් - 1’ සහ ‘මාස් - 2’ යන ඒවාය. නමුත් කිසිම රටක් තවමත් අඟහරු වෙත යානයක් යවා සාර්ථකව ආපසු ගෙන්වා ගෙන නොමැත. ඉදිරි දශක කිහිපයේ අඟහරු මත මිනිසකු පා තබනවා නිසැකයි. අඟහරුගේ ධ්‍රැව කලාපයට ගිය පළමු යානය ඇමරිකාවේ නාසා ආයතනයේ ෆීනික්ස් අභ්‍යවකාශ ගවේෂණ යානයයි.   


එය 2008 මැයි 25 වැනිදා අඟහරු ග‍්‍රහයාගේ උත්තර ධ්‍රැව කලාපයේ පිහිටි ‘වැස්ටිටාස් බොරියේලිස්’ නම් පහත් බිම් නිම්නයට එය පතිත කරවනු ලැබීය. එය වසර නවයක් තිස්සේ පැයට කිලෝ මීටර් 21,000ක වේගයෙන් ගොස් අඟහරුට ළඟා විය. ඉන්පසු තාපාරක්ෂක ආවරණයක් යොදා ගෙන එහි වායුගෝලයට ඇතුළු කර පැරෂුටයක් හා වේගය පාලනය කරන රෙට්රො රොකට් භාවිත කරමින් එහි වේගය පැ. කි.මී 8ක් දක්වා අඩු කර සාර්ථකව එය අඟහරු මතට ගොඩ බස්සන්නට නාසා ආයතනය සමත් විය. අඟහරු මත අගල් කපා පස් සාම්පල රැගෙන එහි වූ විශ්ලේෂක බඳුන වෙත දමන්නට විශේෂ අතක් එහි විය.   


එය තොරතුරු, ඡායාරූප, විශ්ලේෂණ දත්ත රැසක් පොළොවට එවූ අතර 2008 නොවැම්බර් 2 වැනිදා ඒ යානයත් පෘථිවියත් අතර සම්බන්ධතා බිඳ වැටුණේය. අඟහරු මත වැඩිම වේගයෙන් ගොස් වාර්තා තබා ඇත්තේ නාසා ආයතනයේ ‘ස්පිරිට්’ හා ‘ඔපර්චුනිට්’ යන අඟහරු ගවේෂණ යානාය. ඒ යානා දෙකටම තත්පරයකට සෙ.මී. 5ක වේගයෙන් අඟහරු මත යා හැකි විය. මෙම යානා දෙකම යවා ඇත්තේ ඇමරිකාවේ නාසා ආයතනය විසිනි.   
2004 ජනවාරි 4 වැනි දා හා 25 වැනි දා මෙම යානා ඒ මතුපිටට පතිත කරවනු ලැබීය.   


1965 වසරෙන් පසු, අඟහරු ගවේෂණය කිරීමට සමත්වුණු අභ්‍යකාශ ආයතන ඇත්තේ හතරක් පමණයි. ඒ, ඇමෙරිකාවේ නාසා ආයතනය, සෝවියට් රුසියා අභ්‍යවකාශ ආයතනය, යුරෝපා අභ්‍යවකාශ ආයතනය සහ ඉන්දීය ගගන පර්යේෂණ ආයතනයයි. ජපානය සහ චීනය අඟහරු ගවේෂණයට මිනිසුන් රහිත රොබෝ ගවේෂණ යානා යැවීමට උත්සහ ගත්තත් ඒවා අසාර්ථක විය. සාර්ථකව අඟහරු ගවේෂණ මෙහෙයුමක් සම්පූර්ණ කළ පළමු ආසියානු රාජ්‍යය ඉන්දියාවය.   


අඟහරුගේ කක්ෂයට පමණක් නොව, අඟහරු මතුපිටට ගවේෂණ යානා යවා ගවේෂණ කටයුතු සිදුකරමින් පවතින පළමු අභ්‍යවකාශ ආයතනය වන්නේ ඇමෙරිකාවේ නාසා ආයතනයයි.  


මේ වනවිට ඇමෙරිකාවේ නාසා ආයතනයට අයත් ඕබිටර් යානා අඟහරු කක්ෂයේ රැඳී හිඳිමින් අඟහරු වායු ගෝලයේ දත්ත රැස් කිරීම සිදු කරයි. කියුරියෝසිටි වැනි රොබෝ රෝවර් යානා අඟහරු මතුපිට එහෙමෙහෙ යමින් ගවේෂණ කටයුතු සිදු කරයි. එම යානා ලබා ගන්නා ඡායාරූප පෘථිවි විද්‍යාඥයන් වෙත එවීම සිදු කරයි.   


13 වැනි සියවස වනතුරු, වසර ගණනාවක් තිස්සේ, විද්‍යාව සහ තාක්ෂණය සම්බන්ධයෙන් ඉස්ලාමීය පුනරුදයක් පැවැතිණි. පසුකාලීනව එය කෙමෙන් කෙමෙන් හීන වී ගියේය. අඟහරු නගර ව්‍යාපෘතියත් සමඟ අබුඩාබි පාලක එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් කලීෆා බින් සයාද් අල් නයිහාන් පවසා ඇත්තේ ඉස්ලාමීය ලෝකය අභ්‍යවකාශ කටයුතුවලට යළි අවතීර්ණ වෙමින් සිටින බවය. මේ වනවිට මුස්ලිම් වැසියන් බහුතරයක් වෙසෙන රටවල් වන ඇල්ජීරියාව, ටියුනීසියාව, ඊජිප්තුව, තුර්කිය, ඉන්දුනීසියාව, පාකිස්තානය සහ ඉරානය යන රටවල අභ්‍යවකාශ කටයුතු සඳහා අභ්‍යවකාශ ආයතන පිහිටුවා ඇත. ඒ හරහා අභ්‍යවකාශය සම්බන්ධ වැඩසටහන් ක්‍රියාත්මක වෙයි.   


අද වනවිට ලොව පුරා මුස්ලිම් ගගනගාමියෝ රැසක් කරළියට පැමිණ සිටිති. සෞදියේ උපන් සුල්තාන් බිල් සල්මාන් අල් සෞද් කුමරු 1985 වසරේ අභ්‍යවකාශයට ගියේ පළමු මුස්ලිම් ජාතිකයා සහ අරාබි ජාතිකයා ලෙසිනි. තමන්ම නිර්මාණය කළ සන්නිවේදන චන්ද්‍රිකාවක් පළමුවෙන් පෘථිවි කක්ෂයට යැවූ මුස්ලිම් රාජ්‍යය ලෙස සැලකෙන්නේ ඊජිප්තුව ය. ඒ, 1998 වසරේදීය. මැදපෙරදිග සහ අරාබි රටවල් අතරේ සන්නිවේදන කටයුතු අද දියුණුවට පත්ව ඇත්තේ එම චන්ද්‍රිකාව නිසාය.   

 

 

 


ලුසිත ජයමාන්න   
ඒ.එෆ්.පී. ඇසුරිනි