ඔබත් දේශයේ පාලනයට හිමිකරුවෙක්ද ?


ශ්‍රී ලංකාවේ දේශපාලන පොරපිටිය දිනෙන් දින මොහොතින් මොහොත රත් වෙමින් පවතියි. හැම කෙනෙකුටම දේශපාලනය කළ නොහැක. එසේම හැමටම රටක් රාජ්‍යයක් පාලනය කිරීම ද අපහසුය. ජ්‍යෙතිෂ්ශාස්ත්‍රය අනුව ජන්මියකුට දේශයේ පාලනය කිරීමට ජන්ම කේන්දරයේ රාජ යෝග මෙන්ම පෙර පින් වාසනාව හිමි විය යුතුමය.
   
2018 නව වසර උදා වන්නේ ද අර්ධ කාල සර්ප ග්‍රහ යෝගයෙන් කුජ හිමි මුව සිරස නැකතේ ලග්නාධිපති ගුරු ග්‍රහයා සමගින් 12 වැන්නාධිපති කුජ ග්‍රහයා සතුරුව ධනස්ථානයේ කේතු සහ බාධක ස්ථානයේ රාහු සතුරුව 08 වැන්නාධිපති සඳු ග්‍රහයා සෙනසුරුගෙන් 07 වැන්නේ දුබලව සප්තම දැක්මෙන් සහ සූර්යග්‍රහ මණ්ඩල අධිපති රාජ්‍යකාරක රවි ග්‍රහ සංයෝගයෙනි. මෙම පිහිටීම සතුටු දායක නැත. දේශපාලන වශයෙන් ප්‍රධාන පක්ෂ අතර මත ගැටුම් වැඩි වන අතර ප්‍රාදේශීය බලය සඳහා එකිනෙකා කුළල් කා ගන්නා ඇතමුන්ගේ නිලතල තනතුරු පවා කානු පල්ලට ගිලිහී යන කාලයක් ද වෙනු ඇත.   


ලෝකයේ වෙනත් රටවල උගතුන් බුද්ධිමතුන් ආචාර්ය මහාචාර්යවරුන් සමගින් ධනවතුන් අනාගත දරු පරම්පරාව වෙනුවෙන් මාතෘ භූමියේ දියුණුවට දේශයේ පාලනය කළ ද අද අපේ රටේ දේශයේ පාලනය කිරීමට පිවිස ඇත්තේ අරක්කු බාර්, මත් කුඩු කඩ, ගණිකා මඩම්, මැරකම්, ජඩකම්, කප්පම් පිරිවර පමණක් නොව ධනය ඇති දේශපාලනය මැරයින් ද නාන ප්‍රකාර විකටයන් ද නූගතුන් මෙන්ම මන්ද බුද්ධිකයින් ස්ත්‍රී දූෂකයින් සහ වැලි පස් බොරලු ව්‍යාපාරියන් පත් වීම හේතුවෙන් රට දිනෙන් දින මොහොතින් මොහොත ආපස්සට ගමන් කරවීමේ ප්‍රධාන මාවතට පිවිස මව් බිම විනාශය කරා පත්ව ඇත.   


එදා ශ්‍රී ලංකාවේ ප්‍රධාන විදේශ ආදායම වූ තේ ​ෙපා​ල් රබර් අද දින වන විට උඩුකුරු යටිකුරුව ඇත. පොල් විදේශයෙන් ගෙන්වීමට සිදුව ඇති අතර ජාත්‍යන්තර තේ වෙළෙඳ පොළ අහිමිව යන බවක් පවතියි. ස්ත්‍රී වහල් සේවය ඉදිරියට පැමිණ ඇති අතර දේශපාළුවන්ගේ දියුණුව කෙසේ ද යත් නූපන් දරුවන් පවා උකස් කර ඇත. ලෝකයේ දූෂිත රාජ්‍යයන් අතරින් ශ්‍රී ලංකාව පෙරමුණේම සිටීමෙන් ලංකාවේ බඩගෝස්තරවාදී දේශපාලන තත්ත්වය මනාව පැහැදිලි වෙනු ඇත.   


නමුත් ජ්‍යොතිෂ්ශාස්ත්‍රයේ දී රටක් රාජ්‍යක් පාලනයට සුදුසු ග්‍රහ පිහිටීම් නියත වශයෙන්ම තිබිය යුතුය.   


කේන්දරයක ගුරු සිකුරු කුජ රවි සෙනසුරු බලවත්ව ලග්න භවය දෙවැන්න හය වැන්න නව වැන්න දස වැන්න එකොළොස් වැන්න ද බලවත් විය යුතු වෙයි. ප්‍රධාන කොට පසුගිය සෙනසුරු ග්‍රහයාගේ රාශී මාරුවද ඊළඟට බ්‍රහස්පති රාශි මාරුව සහ රාහු කේතු මාරුවද මෙකල දේශපාලන පොරපිටිය රත් වෙමින් ගිනියම් වීමට හේතු කාරක වී ඇත.   


දේශපාලනයේ යෙදෙන්නකුට රවි කුජ රාහු සෙනසුරු වැනි පාපයින් දස වැන්නට සම්බන්ධ විය යුතු වෙයි. එවිට පාලන ශක්තිය ලබා දෙයි. දස වැන්න වූ කර්මස්ථානයේ බලවත් ග්‍රහ පිහිටීම මත දේශපාලකයකු සතු ක්‍රියාශීලීත්ව බව මෙන්ම ප්‍රසිද්ධිය ද හිමි වෙනු ඇත. දස වැන්නේ රාහු වේගවත්ව නොපසුබට උත්සාහය නිසාම ජයග්‍රහණයන් ලබා දෙනු ඇත.   


ජන්මියකුගේ කේන්දරයක රවි කුජ ශනි ගුරු බලවත් වීම දේශපාලන යෝගයකි. ස්වකීය රාශීයේ බලවත් වීම දේශපාලන යෝගයයි. ලග්නගත වීම රාජ යෝගයකි.   


මේෂ ලග්නයේ රවි කුජ පිහිටීම බලවත් යෝගයකි.  


මකර ලග්නයේ කුජ ලග්නයේද සෙනසුරු තුලා රාත්‍රි සහ මේෂ රාශියේ ගුරු කටකයේද රාජ යෝගයකි. තුලා ලග්නයේ ශනි ලග්නයේ ද දේශපාලන යෝගයකි. කටක ලග්නයේ 09 පති ගුරු ලග්නයේද සඳු සිකුරු 11 වැන්නේද 02 වැන්නාධිපති රවි 10 වැන්නේද දේශපාලන යෝගයයි.   


මේෂ ලග්නයේ 05 වැන්නාධිපති රවි ග්‍රහයා සමගින් 11 වැන්නාධිපති සෙනසුරු ග්‍රහයා 07 වැන්නේද දේශපාලන බලයකි.   


වෘෂභ ලග්නයේ ලග්නගතව කුජ ග්‍රහයාද 09 වැන්නේ සිකුරුද 10 වැන්නේ බුධ ගුරු ද 4 වැන්නාධිපති රවි ග්‍රහයා 11 වැන්නේද පිහිටීමෙන් දේශයේ අභිමානය විදහා දක්වන රාජ යෝගයකි.   
සිංහ ලග්නයේ ලග්නාධිපති රවි ග්‍රහයා මකර රාශියේ 06 වැන්නාධිපති සෙනසුරු ග්‍රහයා සමගින් සං​ෙයා්ගය දේශපාලන බලයකි.   


කන්‍යා ලග්නයේ ගුරු ලග්නගතව සිටියදී සඳු 09 වැන්නේ බලවත්වද, කුජ ශනි 10 වැන්නේ පිහිටීම රාජයෝගයක් වන අතර මකර ලග්නයේ කුජ උච්චව පිහිටා කටක රාශියේ රවි සඳුද ධනු රාශියේ සෙනසුරු පිහිටියේද රාජ යෝගයකි.   


තුලා ලග්නයේ 11 වැන්නාධීපති රවි ග්‍රහයා සමගින් ලග්නාධිපති සිකුරු හෝ 04 වැන්නාධිපති සෙනසුරු 04 වැන්නේද දේශපාලන බලයකි.   


තුලා ලග්නයේ 10 වැන්නාධිපති පුරපස සඳු ග්‍රහයා සමගින් 09 වැන්නාධිපති බුධ ග්‍රහයා සංයෝගය ධර්මකර්මාධිපති රාජ යෝගයයි. සමාජයේ ගරුත්වයයි. ප්‍රසිද්ධියයි. බුද්ධියයි. දුරදක්නා නුවණයි. නාමය බැබැලෙයි. නම කියූ පමණින් රටේම දන්නා ප්‍රසිද්ධ දේශපාලන බලවතෙකි.   


වෘශ්චික ලග්නයේ 10 වැන්නාධිපති රවි ග්‍රහයා සමගින් 09 වැන්නාධිපති පුරපස සඳු ග්‍රහයා සංයෝගව ලග්නගතව පිහිටියේද ධර්මකර්මාධිපති ප්‍රබල රාජ යෝගයකි. දේශපාලන ජය සහිතයි.   


මීන ලග්නයේ රවි කුජ සිකුරු ලග්න ගතව, හය වැන්නේ සෙනසුරු එකොළොස් වැන්නේ සඳු ගුරු පිහිටීම රටක් රාජ්‍ය​යක් පාලනය කරන්නා වූ රජකු වෙනු ඇත. ශ්‍රේෂ්ඨ යුග පුරුෂයෙකි.   


යම් කේන්දරයක රවි කුජ ගුරු සමගින් චන්ද්‍රයා බලවත්ව මේෂ වෘෂභ තුලා මීන රාශියන් හි පිහිටියේද හෙතෙම රාජ පුරුෂයෙකි. රටක් රාජ්‍යයක් පාලනයට සුදුස්සෙකි.   


ජ්‍යොතිෂයේ රාජ යෝග තිබුණ පළියටම කිසිම ජන්මියකුට රාජ යෝග පල නොදෙනු ඇත. එය පල දීමට ​ෙක්න්දරයේ සෙසු ග්‍රහ බලපෑම්ද - ග්‍රහ දෘෂ්ඨි - සමගින් පෙර පින් බලයද බලපානු ඇත.   

 

 

 

 

 

 

 

 


කිංස්ලි වර්ණකුලසුරිය   
ජ්‍යොතිෂ විද්‍යාවේදී ‘සිංහ’ - හලාවත පාර, කාක්කපල්ලිය.
0775762706