එයා අපිව දාල ගියාට පස්සේ තාම ගෙදර බතක් ඉව්වේ නෑ


 

 

මීට මාස දෙකකට කලින් හුස්ම ගත්ත අහිංසක ජීවිත 250ක් පොළවට පස්වෙලත් අදටත් මේ කටුවාපිටියේ අහිංසක ජීවිත දවසින් දවස මියැදෙනවා. තවත් සමහර මිනිසුන් රෝහලේ ඇඳක් මත ජීවත් වෙන්නට සටන් කරනවා. ජීවිත කාලයම අැඳට වෙච්ච සමහර ජීවිත තමන්ට හුස්ම වැටෙනවද කියන්නවත් දන්නේ නෑහැ. ජීවිතේම අප්‍රාණික වෙලා මාස දෙකක් ගත වෙලත් රටේ මහජනයාට එහෙම දෙයක් වුණාද කියලවත් අද අමතක වෙලා...   


මියගිය අහිංසක ජීවිත රුපියල් ශතවලට ලන්සු තියපු වගකිවයුත්තන් අද බොහොම උජාරුවෙන් කළ කී දේ ගැන වර්ණනා කරනවා. ඒත් තවමත් මේ මිනිස්සු ඉන්නේ අප්‍රේල් 21 වැනිදා ජීවිත අතරමග නතර වුණු තැනමයි.   


සමහර පුංචි දරුවන් තවමත් මඟ බලාගෙන ඉන්නේ අම්මා තාත්තා කවදා හෝ ගෙදර ඒවි කියන අදහසින්. තමන්ගේ දරුවෝ, ආදරණීය සැමියා, ආදරණීය බිරිඳ දැන් එයාලගේ ලෝකවලට ගිහින් කියලා ජීවත් වෙලා ඉන්න අයගේ හිත් තාමත් විශ්වාස කරන්නේ නැහැ.   


කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට එල්ල වුණු බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතය අහිමි වුණු මවගේ වියෝවෙන් මේ ලෝකේ තනි වුණු තවත් දරුවෝ දෙන්නෙක් තමයි සචින් මංජුල සහ මාලන් සචින්ත.   


ඒ වගේම ආදරණීය බිරිඳගේ වියෝවෙන් තවමත් කඳුළ තම ජීවිතය කරගත් රෝයි පෙරේරා දරුවන්ට මවක්, තමන්ට ආදරණීය බිරිඳක නැති වුණු සොවින් පුතුන් දෙදෙනකු සමඟ තනි වී තවමත් ගෙවන්නේ බලාපොරොත්තු විරහිත ජීවිතයක්.   


“මම රැකියාවක් කළේ ඉතාලියේ. මම ලංකාවට ඇවිත් නැවත විදේශගත වෙන්න තිබුණේ අප්‍රේල් අන්තිම. එ්ත් දැන් මට ඇය නැති මේ ජීවිතයෙන් වැඩක් නැහැ.   
අප්‍රේල් 21 මටයි පුතාල දෙන්නටයි උණ හැදිලා හිටියේ. බිරිදත් කීවා ඇයටත් ඇඟට අමාරුයි ඒත් පල්ලියට යන්න ඕනෑ කියලා. මම කිව්වා අසනීප නම් පල්ලි යන්න ඕනෑ නැහැ කියලා. මොන තරම් අසනීපයක් වුණත් ඇය හැමදාම වරද්දන්නේ නැතුව පල්ලි යනවා. මගේ බිරිඳ බෞද්ධ ආගමේ ඉඳලා කතෝලික ආගමට ආපු කෙනෙක්. ගොඩක් කිට්ටුවෙන් ඇය ආගම ඇදහැව්වා.   


අපි මුළු පවුලම ඉතාලියේ ජීවත් වුණේ. 2009 දී ලංකාවට ආවේ දරුවන්ට උගන්වන්නයි, අම්මව අපේ ගෙදර තියාගෙන සලකන්නයි. ඊට පස්සේ මං විතරක් නැවත රැකියාවට විදේශගත වුණා. මාස 6න් 6ට ලංකාවට ආවා. එ්ත් මම විතරක් රට ඉන්නවට බිරිඳ කැමති වුණේ නැහැ. ලොකු පුතා උසස් පෙළ කරාට පස්සේ අපි හතර දෙනාම එක තැනක ජීවත් වෙන්න ඕනෑ කියලා මගේ බිරිඳ හරියට හීන දැක්කා.   


එදා ඔය සිද්ධිය වුණු දවසේ ‘මම දවල්ට උයන්න ඉක්මනට එනවා. දරුවෝ දෙන්නටයි ඔයාටයි කෝපි හදලා තියෙන්නේ’ කියලා ඇඳ ළඟට ඇවිත් කියලා ගියේ. අනේ එයාගේ කෝපි එක වහලා මම එයා එනකම් පාර දිහා බලාගෙන හිටියා. කවදාවත් නැතුව එදා මගේ හිතට දුකකුත් ආවා. මොකද වෙනදා පෙරහර වීදි සංචාරේ යනකොට මම හැමදාම පෙරහර වීඩියෝ කරන්න පාරට යනවා. පොඩි පුතාට උණ නිසා දාලා යන්න බැරිකමට ගෙදර හිටියේ හරිම දුකෙන්.   


ඉක්මනට පල්ලි ගිහින් ගෙදර එනවා කියලා ගිය පුතාලගේ අම්මා අපි තුන්දෙනාම තනිකරලා ගිහින් කියලා දැන ගත්ත වෙලාවේ ඇත්තමට දරුවෝ දෙන්නත් එක්ක මට ජීවිතේ නැති කරගන්න හිතුනා.   


මට තාම හිතෙන්නේ නැහැ එයා නැති වුණා කියලා. මේ ගෙදර එයා නිතර කතා කරනවා මට අැහෙනවා. එයා අපිව දාලා ගියාට පස්සේ මේ ගෙදර කොස්සක් අතින් අල්ලලා නැහැ. ගෙදර තාම බතක් හොද්දක් හැදුනේ නැහැ. දරුවෝ දෙන්නා බඩගින්නේ තියන්න බැරි නිසා කඩෙන් කෑම ගෙනත් කනවා.   


අහල පහළ අය, මගේ සහ බිරිඳගේ පවුලේ අය අපි ගැන නිතර ඇවිත් බලනවා. පල්ලියෙනුත් පියතුමන්ලා නිතරම එනවා. කවුරු ආවත් දරුවන්ට අම්මා නැති අඩුව මට පුරවන්න අමාරුයි. අපි හතර දෙනාම මැරුන නම් ඒක ලොකු සැපතක්.   


දරුවෝ දෙන්නා වෙනුවෙන් කෙහොමහරි මම ඔලුව උස්සන්න ඕනෑ. මනස හදාගෙන තවම මට මුකුත් වැඩක් කරන්න අමාරුයි. බොහොම අමාරුවෙන් පුතාලා දෙන්නව ඉස්කොලේ යැව්වේ. යන්න බෑ කියලා පොඩි පුතා අඬනවා. දරුවන්ගේ අම්මාගේ කටහඬ හිනාව මේ ගෙදරින් නැතිවෙලා ගිය දවසේ ඉඳලා එයා ආදරේ කරපු මල් ගහකවත් මලක් පිපුනේ නැහැ. පුතාලා දෙන්නා ඉස්කොලේ ඇරිලා ගෙදර ආපු ගමන් අම්මාගේ ​ෙෆාටෝ එක දිහා බලාගෙන අඬනවා.   


​ලොකු පුතා දැන් උසස් පෙළ පන්තියේ ඉගෙන ගන්නවා. පොඩි පුතා නවය පන්තියේ ඉගෙන ගන්නවා. ඉතාලි​ෙය් මගේ යාළුවෝ, ඥාතීන් දරුවෝ දෙන්නා එක්ක එහාට එන්න කියලා කතා කරනවා. එ්ත් ලොකු පුතා මේ ගෙදරින් යන්න කැමති නැහැ.   


‘තාත්තේ අම්මා මෙහේ මැරුණානම් අපිත් මෙහේම මැරෙන්න ඕනෑ’ කියලා කියනවා.   


මම දැනට රැකියාවක් කරන්නේ නැහැ. දරුවෝ දෙන්නා බලාගෙන ගෙදර ඉඳලා වැඩට යන්න පුළුවන් රැකියාවක් ලැබුණොත් ගොඩක් හොඳයි. අම්මාත් නැති දරුවෝ දාලා මට පිට ගිහින් රැකියාවක් කරන්න බැහැ. පුතාලා දෙන්නා හරිම අහිංසකයි. ඒත් අම්මා නැති වීමත් එක්ක මේ සමාජය එක්ක ලොකු වෛරයකින් ඒ දෙන්නා ජීවත් වෙන්නේ. හරිම ආවේගගීලී. ඒ දෙන්නාගේ මනස හදන්න මම ගොඩක් උත්සාහ කරනවා.   


මම දැන් අම්මෙක් නැති දරුවෝ දෙන්නෙක් අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න බැරුව අසරණ වුණු තාත්තෙක්. මේ ජීවිතෙන් නැගිටින්න ඕනෑ. දැන් මේ ජීවිතේ අපිට හරිම මහන්සියි.”  

 

 


අම්මා නැති ගෙදර රෑ වෙනවා, එළි වෙනවා නොදැනෙන මේ දරුවන්ගේ වේදනාව තඹ දොයිත්තුවක්වත් ගණන් නොගන්නා පාලකයිනි, පස් යට මිහිදන් වුණු කිරිසප්පයන් වෙනුවෙන් තවමත් කිරි එරෙන අම්මලා බොහොමයක් මේ කටුවාපිටියේ බලාපොරොත්තු විරහිතව ජීවත් වෙන්න උත්සාහ දරනවා ඔබට නොපෙනෙනවා ඇති.   
එවැනිම මවක් තමයි දිස්නා ශ්‍යාමලී. ඇයත් සිය පවුල සමඟ ජීවත් වුණේ ඉතාලියේ. දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ලංකාවට අාපු ශ්‍යාමලී දරුවන් තිදෙනා සහ මව සමඟ ඉපදුනු මව් රට තුළ ස්ථාවරයක් ගොඩ නගාගෙන ජීවත් වෙන්න හීන දැක්කා. ඒ හීනවලට ශක්තියක් වුණු සැමියාට විදේශ රටේ රැකියාවක නිරත වෙන්න වුණේ දරු තිදෙනාගේ අනාගතය වෙනුවෙන්.   


“අපි හැමෝම වසර 8ක් තිස්සේ ජීවත් වුණේ ඉතාලියේ.   


පහුවුණු ජනවාරියේ තමයි ලොකු දුව පාසල් දාන්න අපි ලංකාවේ පදිංචියට ආවේ. මමයි දුවලා දෙන්නයි, චුටි පුතයි ජීවත් වුණ් මගේ අම්මා එක්ක. මහත්තයා මාස 6න් 6ට වගේ නිවාඩුවට ලංකාවට එන්න අවශ්‍ය කරන දේවල් හදාගෙන හිටියේ.   


මේ ව්‍යසනය වෙනකොට මහත්තයා හිටියේ රට.   


එදා දුවලා දෙන්නයි පුතයි අම්මයි අපි හැමෝම පල්ලියේ පූජාවට ගියා. ඒ සිදුවීමේදී මට මොකද වුණේ කියන්න මතක නැහැ. අපේ චූටි පුතාට මාස 8යි. එයා ඉපදුනේ ඉතාලියේ. චූටි පුතාව ලංකාවට ගෙනාවේ පළමු වතාවට. බෝම්බේ පුපුරණවාත් එක්කම චූටි පුතාව මගේ අතින් විසි වුණා. මම නැගිටින්න උත්සාහ කරාට මට නැගිටින්න බැහැ කියලා දැනුනා. මම එ්ත් මගේ දුවලා දෙන්නව හෙව්වා. තප්පර ගණනකදී පල්ලිය ඇතුළ මස් ගොඩක් බවට පත්වුණා. පොඩි දුව රිජ්වේ එකේ ICU දාලා සතියක් හිටියා. දුවගේ පපුවට ලේ බැහැලා තිබුණා. අම්මා නැති වුණා කිව්වට මට පුතා නැති වෙලා කියලා කවුරුත් කිව්වේ නැහැ. අන්තිමට මට කිව්වා අම්මයි, චූටි පුතයි දෙන්නම නැති වුණා කියලා. අනේ මගේ කිරිසප්පයා මගේ උණුසුමේ නිදාගෙන හිටියේ.   


අනේ මගේ රත්තරන් පුතේ නුඹ වෙනුවෙන් එරිච්ච කිරි ටිකවත් බොන්න අම්මා ළඟ තුරුළුවෙලා ඉන්න මේ තිරිසන්නු ඉඩදුන්නේ නැහැ පුතේ.   


ඒ උණුසුම දැනෙන කොට තාමත් මට කිරි එරෙනවා. දුවලා දෙන්නගෙන් පස්සේ පුතෙක් ලැබුණාම මටයි මහත්තයටයි දැනුනේ රාජ්‍යයක් දිනුවා වගේ. දරුවන්ට උගන්නන්න ඕනෑ නිසා ඉපදුන රට දාලා යන්න බැහැ. දරුවෝ දෙන්නා හරිම දක්‍ෂයි ඉගෙන ගන්න. මාසෙකට සැරයක් පොඩි දුවව තාම සායනවලට එක්කගෙන යනවා. සාමාන්‍ය විදිහට

ක්‍රියාකාරකම් කරනවා. රෑට ගැස්සිලා ඇහැරෙන ගතිය, කළුවර වැටෙනකොට බය වෙන ගතිය තවම තියෙනවා.   


‘අම්මේ ඉස්කෝලේ නම් යන්නම්. හැබැයි පල්ලි නම් යන්න බැහැ අම්මේ...’ කියලා අඬනවා.   


මගේ දණහිසට පහළින් අස්ථියක් බිඳිලා තියෙන්නේ. අැවිදින්න ටිකක් අමාරුයි. මගේ අක්කා තමයි ඇවිත් කන්න කෑම ටික හදලා දෙන්නේ. ජීවිතේ අපි ආයෙම නැගිටින්න ඕනෑ. එ්ත් තවම අපේ මනස හරියට ශක්තිමත් නැහැ. මගේ තනියට හිටියේ අම්මා.   


දරුවෝ දෙන්නවයි මාවයි තනියම දාලා මහත්තයාට නැවත විදේශගත වෙන්න බැහැ. මොකද අපි තවම හොඳටම සුව තත්ත්වයේ නැහැ. සැමියාට ලංකාවේ රැකියාවක් කරන්න තියෙනවානම් හොඳයි. අපට මුදල් අවශ්‍ය නැහැ. අපිට මේ ඉන්න තැනින් නැගිටින්න ශක්තියක් වෙන්න පුළුවන්නම් ඒක ලොකු පිනක්.   


අපි මෙතුවක් කාලේකට මේ විදිහට අසරණ වුණ මිනිස්සු නෙමෙයි. අපි බොහොම වැදගත් විදිහට ජීවත් වෙච්ච මිනිස්සු. මේ විදිහට අද අසරණ වෙලා ඉන්නේ මේ රටේ පාලකයන්ගේ යටි අරමුණු නිසා. මේ කටුවාපිටියේ මිනිසුන්ගේ ඇස්වලින් වැටෙන කඳුළුවල සාපය ඔය පාලකයන්ට කවදාක හරි අත්විඳින්න වෙනවා. කාදිනල් උන්වහන්සේ හරි අපි ගැන බලන්න අපේ දුක අහන්න හිටියා. බෞද්ධයකුට මේ දේ වුණා නම්...” ඇය මඳකට නිහඬ වුණි.   


“තවත් මිනිස්සු මැරෙන, කටුවාපිටියේ අසරණ වුණු අපට යුක්තිය කෝ...” අහිමි වුණු පුතනුවනුත්, මවත් වෙනුවෙන් නොව ඇය වේදනාවෙන් කෑගසන්නේ පොළව යට මිහිදන් වුණු සියලුම සහෘදයන් වෙනුවෙනි.   

 


නදීශා අතුකෝරළ   
ඡායාරූප - චානුක කුලසේකර