ඉස්කෝලෙට ආපු අලුත් විහාරා ටීචර් සැබෑ ජීවිතෙත් නැටුම් ගුරුවරියක්. ඒ නිසාම ඉස්කෝලේ ඇතුළේ වගේම එළියෙ ලෝකයෙත් ඇයට ලැබෙන ප්‍රේක්ෂක ආදරයේ නම් අඩුවක් නැහැ. පුංචි තිරයෙන් මේ දවස්වල ඔබේ ආලින්දයට එන කරුණාවන්ත, අහිංසක විහාරා ටීචර් නමින් තුලංගා ජයකොඩි. ඉතින් අපි හිතුවා මෙවර සඳැල්ල කතාබහට ඇයව එකතු කර ගන්න.
ප්‍ර මුලින්ම කියන්නකෝ කවුද මේ අලුත් විහාරා ටීචර් කියලා?
මම තුලංගා ජයකොඩි. කෙටියෙන් මම ගැන කිව්වොත් මම සරල මනුස්සයෙක්. ඒ වගේම මම වෘත්තීය නැටුම් ගුරුවරියක්. පොඩි කාලේ ඉඳන්මයි නර්තනය හැදෑරුවේ. ඒක තමයි මගේ ආශාව. ඒ වගේම මේ වෙද්දි රංගන වැඩවලත් නිරත වෙනවා.
ප්‍ර ඉස්කෝලෙට ආපු අලුත් විහාරාට මොන වගේ ප්‍රතිචාරද ලැබෙන්නේ?
සීයට පනහ පනහ තමයි ප්‍රතිචාර ලැබෙන්නේ. ඒ කියන්නේ හොඳත් කියනවා. නරකත් කියනවා. ඒක සාමාන්‍ය දෙයක්. මොකද අවුරුදු හතරක් විතර මම හිතන්නේ දමිත්‍රි අක්කා චරිතෙ කරලා තියෙනවා. ඉතින් එයාට ප්‍රේක්ෂකයෝ හුරු වෙලා ඉන්නේ. දැන් රඟපාන කෙනා වෙනස් වෙලා මාව එකපාරට දකිද්දි ඒ ප්‍රතිචාරෙ වෙනස් වෙනවා. ආ මෙයා හොඳ නැහැ කියලා. හැබැයි මම හරි ආදරෙන් ඒ ප්‍රතිචාර භාර ගන්නවා. ඉතින් හොඳ නරක දෙකෙන්ම ප්‍රතිචාර ලැබෙනවා.
ප්‍ර කිව්වත් වගේ අවුරුදු ගාණක් වෙන කෙනෙක් කරපු චරිතයක් භාර ගන්න එක ලොකු අභියෝගයක්. කොහොමද තුලංගා ඒ අභියෝගයට මුහුණ දෙන්නේ?
ඒක හරිම අමාරුයි. මොකද කරන කෙනාට තමයි දැනෙන්නේ. මම මුලින්ම කල්පනා කළේ මේ අභියෝගෙ භාර ගන්නෙ කොහොමද කියලා. මොකද එතැන රඟපාන්න තියෙන්නෙ මට නෙවෙයි. වෙන කෙනෙක් රඟපාපු විදිහ අනුකරණය කර ගෙන තමයි මට රඟපාන්න වෙන්නේ. ඒකට දමිත්‍රි අක්කාත් මට ගොඩක් උදව් කළා. එයාගෙ පරණ වීඩියෝ බලලා තමයි චරිතෙට හැඩගැහුනේ. ඊට අමතරව අධ්‍යක්ෂකතුමා සහ පිටපත ලියපු කෙනා ඇතුළු මුළු ඉස්කෝලෙ ටීම් එකෙන්ම මට ලොකු සහයෝගයක් ලැබුණා මේ චරිතෙ හදා ගන්න. හැබැයි මම තාමත් ලොකු අභියෝගයක් විදිහට හිතලා තමයි චරිතෙ කරන්නේ.
ප්‍ර දමිත්‍රිගෙන් මොන වගේ ප්‍රතිචාරයක් ද ලැබුණේ?
ඇත්තටම මම දමිත්‍රි අක්කට කිව්වා අක්කේ මට මේක කරන්න බැහැ කියලා. හැබැයි අක්කා තමයි මාව දිරි ගැන්නුවේ. ඔයා තමයි මේකට සුදුසුම කෙනා නංගි. මේක අනිවාර් යෙන්ම ඔයා කරන්න ඕනේ කියලා. ඉතින් අක්කා විහාරා කියන්නේ කවුද? කොහොමද ඒ චරිතෙ කළේ කියලා මට කියලා දීලා ලොකු සහයෝගයක් දුන්නා.
ප්‍ර ඉස්කෝලේ නිර්මාණේ ගැන මොකද හිතෙන්නේ?
ඉස්කෝලේ නිර්මාණයට මම හරි ආසයි. මොකද ළමයි එක්ක ඉන්න තියෙන්නේ. එයාලා එක්ක ගනුදෙනු කරන්න තමයි ගොඩක් තියෙන්නේ. සමන් එදිරිමුණි අයියා තමයි කතාව ලියන්නේ, ඒ වගේම අධ්‍යක්ෂණය කරන්නේ සාලින්ද රත්නායක අයියා. ඒ දෙන්නා මට චරිතෙ හදා ගන්න ලොකු සහයෝගයක් දෙනවා. ඉතින් මම හරි ආසයි ඉස්කෝලෙ නාට්‍යයට.
ප්‍ර තුලංගාට කොහොමද විහාරා වෙන්න ලැබෙන්නේ?
මේ චරිතෙ මට ලැබුණේ ලක්සිරි සර් හරහා. සර් තමයි කිව්වෙ මෙහෙම චරිතයක් තියෙනවා, ඔයාව තෝරගෙන තියෙනවා නැටුම් ගුරුවරියක් නිසා කියලා. එහෙම තමයි මේ චරිතෙ මට ලැබුණේ.
ප්‍ර විහාරා කියන චරිතෙ ගැන මොකද හිතෙන්නේ?
විහාරා කියන්නේ මට පුරුදු කෙනෙක්. මොකද මාත් ගුරුවරියක් නිසා ඒ චරිතෙට අමුතුවෙන් පුරුදු වෙන්න දෙයක් නැහැ. හැබැයි දමිත්‍රි අක්කා ඒ චරිතෙට කරපු දේවල් ටිකක් තියෙනවනේ. ඒක තමයි මම ඉගෙන ගන්න හදන්නේ. ඒ ඇරණම මගේ ගුරු භූමිකාව මට ගොඩක් උදව් වුණා මේ චරිතය ගොඩ නඟා ගන්න.
ප්‍ර ගුරුවරියක් වුණු තුලංගා කොහොමද රංගනයට සම්බන්ධ වෙන්නේ?
රංගනයට එන්නේ මම සැලෙනා නුවන් නාට්‍යය හරහා. ඒක තමයි මගෙ පළවෙනි නිර්මාණය. මාව ගත්තෙ ශිරන්ත ප්‍රසාද් අධ්‍යක්ෂකතුමා, තිර පිටපත ලියපු නිදුක් අයියා සහ ලක්සිරි සර් එකතුවෙලා තිර පරීක්ෂණයකින් පස්සෙ තමයි මාව රංගනයට ගන්නේ.
ප්‍ර මීට කලින් සම්බන්ධ වුණ නිර්මාණ මොනවද?
එහෙම ලොකුවට නිර්මාණවලට සම්බන්ධ වෙලා නැහැ. වෙෙළඳ දැන්වීම් කරලා තියෙනවා. තව මියුසික් වීඩියෝවල ඉඳලා තියෙනවා. ඊට අමතරව කලින් කියපු විදිහට සැලෙනා නුවන් නිර්මාණය තමයි.
ප්‍ර මේ දවස්වල වැඩ කටයුතු මොනවද?
මගේ පන්තියක් තියෙනවා. ඒකෙ ළමයින්ට නර්තනය උගන්නවා. ඊට අමතරව ඉස්කෝලේ නාට්‍යයේ සහ සැලෙනා නුවන් නිර්මාණයේ රූගත කිරීම්වලට යනවා. ඒ විදිහට සරලව වැඩ ටික කරගෙන ඉන්නවා.
ප්‍ර අලුත් නිර්මාණවලටත් ආරාධනා ලැබෙනවද?
ආරාධනා ලැබුණා. හැබැයි තාම භාර ගත්තෙ නැහැ. භාර ගන්න කලින් පොඩ්ඩක් චරිතෙ ගැන, පිටපත ගැන බලලා තෝර ගෙන තමයි සම්බන්ධ වෙන්නේ. මීට කලිනුත් ආරාධනා ආවා එතකොට මම භාර ගත්තෙ නැහැ මොකද මට මගේ ගුරු වෘත්තිය හදා ගන්න ඕනේ වුණා. ඒ අතරෙ තමා ඉස්කෝලෙ නාට්‍යයට ආරාධනා ලැබෙන්නේ. ඒ නිසා ඒක භාර ගෙන දැන් කරනවා.
ප්‍ර තුලංගා පාසල් කාලෙත් කලා වැඩවලට සම්බන්ධ වුණාද?
ඔව් මම නර්සරි යන කාලේ ඉඳන්ම නැටුම්ම තමයි කළේ කියලා මගෙ අම්මා කියනවා. මොකද මගේ ආච්චි අම්මත් නර්තන ගුරුවරියක්. මම හිතනවා ඒ ආභාසය වෙන්න ඇති මට එන්න ඇත්තේ. ඊට අමතරව ක්‍රීඩාත් කළා. කොහොමත් මම පුංචි කාලේ ඉඳන්ම කලාවට ගොඩක් ආසයි.
ප්‍ර ඉදිරි බලාපොරොත්තුව
මම උගන්නන ළමයි ටිකක් ඉන්නවා. එයාලා මගේ පවුලෙ අය වගේ. ඉතින් එයාලට උපරිම සේවයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ පැත්තෙන් ඉදිරියට යන්න තමයි ආස. රංගනය කියන්නේ මට අහම්බෙන් හම්බවුණ දෙයක්. මිහිරංග කියලා මගේ නර්තන ගුරුවරයෙක් හරහා තමයි මම තිර පරීක්ෂණයකට ගියේ. රංගනය පැත්තෙන් ඉදිරියෙදි ලැබෙන ආරාධනා එක්ක මට ගැළපෙන චරිතයක් ලැබුණොත් කරනවා කියලා හිතන් තමයි ඉන්නේ.
ප්‍ර දැන් එතකොට තුලංගා වැඩිපුර කැමති රංගනයටද නැත්තම් ගුරු වෘත්තියට ද ඇහුවොත්?
ඒක ඇත්තටම සීයට පනහ පනහා තියෙන්නේ. මොකද දැන් මම ඉන්න ඉස්කෝලේ නාට්‍යය නිසා මට වැඩිය රඟපානවා කියලා දැනෙන්නෙ නැහැ. සමහර විට ඒ මම ඇත්ත ජීවිතයෙත් ගුරුවරියක් නිසා වෙන්න ඇති. ඒ නිසා රංගනයටත් මම දැන් කැමතියි.
ප්‍ර පවුලෙ අයගෙන් කලා වැඩවලට මොන වගේ සහයෝගයක් ද ලැබෙන්නේ?
මගේ තාත්තයි අම්මයි මට ලොකු සහයෝගයක් දෙනවා. ඒ දෙන්නා මගේ රංගනය බලලා මගෙ අඩුපාඩු කියලා දෙනවා. ඒ වගේම මගෙ අක්කා සහ නෑදෑයො පවා මට ලොකු සහයෝගයක් දෙනවා මගෙ අඩුපාඩු හදාගන්න. එයාලා ලොකු ශක්තියක් ඇත්තටම මට.
කෞශල්‍යා ලක්ෂානි