ඉංජිනේරු වෘත්තිය කලාවට බාධාවක් නෙමෙයි - වනිඳු ලෝචනගුණවර්ධන


ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත යනුවෙන් කියමනක් පැවතිය ද, එම කියමනෙන් ඉදිරියට ගොස් වෘත්තියෙන් ඉංජිනේරුවෙක් වී - කලාව තුළ ද තම දක්ෂතා කුසලතා දක්වමින් නළුවෙක්,නිරූපණ ශිල්පියෙකු, හා අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කරමින් එම ක්ෂේත්‍රයන් තුළින් ඉදිරියට පැමිණි සුවිශේෂී පුද්ගලයෙක් අපට හමුවිය.

ඔහු නමින් ජනිඳු ලෝචන ගුණවර්ධන යි. අද අපේ කතා බහ ඔහු සමගයි.

ප්‍ර මුලින්ම ඔබව හඳුන්වා දුන්නොත්?

මගේ ගම පිළියන්දල. පාසල් ගියේ කොළඹ මහනාම විදුහලට. මම පවුලේ එකම දරුවා. මගේ පියා ඹෟෂධ වේදියෙක් හා ව්‍යාපාරිකයෙක්. මව ගුරුවරියක්. මම සිවිල් ඉංජිනේරු (ගෞරව) උපාධිධාරියෙක්.

ප්‍ර කුඩා කාලයේ සිට ඔබට තිබුණේ මොන වගේ හීනයක් ද?

කුඩා කාලයේ මගේ හීනෙ තිබ්බේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්න සහ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන්න. දෙමවුපියන් ගේ සිහිනය වුණේ සිවිල් ඉංජිනේරුවෙක් වෙනවා දැකීම. මම දෙමව්පියන් ගේ සිහිනය සැබෑ කර දුන්නා.

ප්‍ර ඇයි ඔබ රංගන ක්ෂේත්‍රයට එන්න හිතුවේ?

වෙළෙඳ දැන්වීම් හරහා තමයි කලා ක්ෂේත්‍රයට එන්නේ. දැනට මම නිරූපණයටත්, රංගනයටත්, නිෂ්පාදනයටත් සම්බන්ධ වෙලා වැඩ කරනවා. කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන අදහස මට අද ඊයේ ඇතිවුණ දෙයක් නෙමෙයි. පාසල් කාලේ ඉඳලා මම රූපවාහිනි ජාතික පාසලේ විවිධ කලා කටයුතුවලට සම්බන්ධ වුණා. දැන් මම දේශීය හා විදේශීය වෙළෙඳ දැන්වීම්, ටෙලි නාට්‍යය කිහිපයකටම රංගනයෙන් දායක වෙලා තියෙනවා.

ප්‍ර මුලින්ම රංගන ක්ෂේත්‍රයට එන්න අඩිතාලම වැටුණේ කොහොම ද?

කුඩා කාලයේ සිට කලාවට ලොකු ආසාවක් තිබුණා. ඒ කාලේ ඉඳලාම චිත්‍රපටි නරඹනවා ටෙලි නාට්‍ය නරඹනවා. හැබැයි වෘත්තීය මට්ටමේ කලාකරුවෙක් වෙන්න හිතුණේ නැහැ. මම අවුරුදු කුමාරයා තරගයට සහභාගි වෙන්නේ මගේ යාළුවෙක් ගේ මාර්ගයෙන්. ඒකේ අවසන් වටයට තේරිලා හොඳම සිරුරට හිමි සම්මානය මට ලැබෙනවා. ඉතින් ඒකත් එක්ක තමයි කලාවට දොරටු විවර වෙන්නේ. මගේ ඉංජිනේරු වෘත්තියට අමතරව මේ කලා කටයුතුවලට සම්බන්ධ වෙනවා. ඉතින් මම කලාවට ගොඩක් ආසයි සහ ආදරෙයි.

ප්‍ර ඔබේ වෘත්තීය, කලා කටයුතුවලට බාධාවක් නෙමේ ද?

මගේ වෘත්තිය බාධාවක් නැතුව කරගෙන යනවා. මම දෙයක් කරනව නම් ඒ දේට මම උපරිම දේ කරනවා. ඒ මගේ විදිහ. රංගන ක්ෂේත්‍රය තුළදිත් මට ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් කරනවා. නිරූපණ ක්ෂේත්‍රය ගත්තත් මගේ වෘත්තිය ගත්තත් ඒ හැම අවස්ථාවකදිම මගේ උපරිමයෙන් ඒ දේවල් කරනවා. ඒ වගේම කාලය බෙදා හදාගැනීම ඉගෙන ගත්තේ පාසල් යන කාලයේ ඉඳලාමයි. මොකද මම පාසල් කාලයේ දී ක්‍රිකට් ක්‍රීඩාව කරද්දී පුහුණු වීම් කටයුතු කරන්න අවශ්‍ය නිසා කාලය බෙදා ගැනීම ඉතා වැදගත් වුණා. ඒ කුඩා කාලයේ ඉඳන් කාලයට අනුව වැඩ කිරීම ලොකු පිටිවහලක් වුණා,  මේ දක්වා මගේ සියලු කටයුතුවලට.

ප්‍ර තරුණයෙක් විදිහට මෙරට තරුණ පිරිසට මොන වගේ පණිවිඩයක් ද දෙන්න තියෙන්නේ ?

මම කියන්නේ අපි කුමන ක්ෂේත්‍රයකින් ඉහළට ගියත් - ඒ පිළිබඳව හැදෑරීමක් කිරීම අවශ්‍ය වෙනවා. ඉතින් මම කලාව, නිරූපණය පිළිබඳවත් හැදෑරීමක් කළා.අලුතෙන් ක්ෂේත්‍රයට එන අයට එන්න තියන අවස්ථා අඩුයි. අභියෝග බාධක තිබෙනවා. හැබැයි ඒවට මුහුණ දෙන්න අවශ්‍යයි. අපිත් ඒ දේවල්වලට මුහුණ දීලා තියෙනවා. අපේ ඉලක්කයට යන්න නම් හොඳ මිනිස්සුන්ව ආශ්‍රය කරන්න ඕනෑ. මේ කලා ක්ෂේත්‍රයට එන්න ඉන්න අයට කියන්න තියෙන්නේ හොඳ උගත් නිෂ්පාදකවරුන් අධ්‍යක්ෂකවරුන් සමග සම්බන්ධ වෙන්න කියලා.  

ප්‍ර මේ වන විට ඔබ මොන වගේ කලා කටයුතු වලට ද සම්බන්ධ වෙලා තිබෙන්නේ ?

මේ වෙද්දී මම ටෙලිනාට්‍ය, වෙෙළඳ දැන්වීම්, නිරූපණ ක්ෂේත්‍රය සහ අධ්‍යක්ෂණ කටයුතු වලට සම්බන්ධ වෙලා තිබෙනවා. විශේෂයෙන් අකුරට යන වෙලාවේ, දිවිතුරා, රීකන්ඩිෂන් කෙල්ල, හේමලයෝ, අමුතු දීගේ, බේකරි ගෙදර, නිකිනි කුසුම, සේයා, See You කියන ටෙලිනාට්‍යවලට රංගනයෙන් සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම සසර යාත්‍රා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය සහ ප්‍රධාන චරිතය මම සිදුකළා. ඊට අමතරව සිනමාව තුළ Unlock, AI Boom 2, Paree (Maldives movie), ශ්‍රී සිද්ධාර්ථ ගෞතම කියන චින්‍රපට වලට සහභාගි වුණා. ඒ වගේම විදේශ නිර්මාණයකට මම සහභාගි වුණා. වෙ​ෙළඳ දැන්වීම් වලට සම්බන්ධ වුණා.   

ප්‍ර ඒ වගේම ඉදිරියේදී අපට ඔබව දැක ගත හැකි ඔබ සම්බන්ධ වී සිටින කලා කටයුතු පිළිබඳව කතා කළොත් ?

මම මේ වෙද්දී රංගනයෙන් වෛද්‍යවරයෙකුගේ චරිතයකට සම්බන්ධ වුණා. ඒ ටිකක් අමුතු චරිතයක්. Unlock චිත්‍රපටය තමයි ඒ. ඒක ඉදිරියේ දී තිරගත වීමට නියමිතයි. ඒ වගේම මාලදිවයිනේ චිත්‍රපටයක් වන Paree ඉස්සරහට එන්න තිබෙනවා. තව ඩුබායි නිර්මාණයක් එන්න තිබෙනවා. ලාංකීය නිර්මාණ ගත්තම බේකරි ගෙදර, නිකිනි කුසුම් නිර්මාණවල මම දැනට නිරත වෙනවා. 

සුදර්ශනි කෝණාර