අශ්ව යෝනි


පාළුවට ගිය නිවසට ගොඩ වූ නන්දන දොරවත් නොහැරම අසල වූ පුටුවට බරවිය. ජීවිතයම එපා වූ සෙයකින් හේ දෙකකුල් බිම දිගේ රූටා යවමින් පුටුවේ ඇලවිණි. ත්‍රීරෝද රථයට මුදල් ගෙවන්න ගත් ගමන් මුදල් පසුම්බිය තාමත් අතේය. ඔහු එය අසල ටීපෝව මතට විසි කළේ ඕනෑවට එපාවටය. ටීපෝවෙන් ලිස්සා ගිය පසුම්බිය දිගහැරී පසෙකට වැටිණි. විවර වූ එහි තිබෙන සිය මංගල ඡායාරූපය නන්දනගේ නෙතට හසුවුණි. රසිකාගේ හිනාව තමාට නක්කලේට පාන්නාක් මෙන් ඔහුට පෙනිනි.  


ඇගෙ ලොකු දෑසේ අද උදේත් කඳුළු පිරි තිබිණි. එහෙත් නන්දනට මීට පැය කිහිපයකට පෙර ඒ කඳුළු නොපෙනිනි. ඒත් දැන්......  
“ගයනි නංගී උදව්වක් කරන්න.....”  
“මොකද අයියා.....”  


“මේ මල්ලිව අර චාමර ලගෙ ගෙදරට ඇරලවගෙන යන්න....... කුඩයක් නෑ අතේ......”  
පිළිමතලාව නගරයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩ කරපු නන්දනගේ හොඳම යාලුවා චාමර..... දින කිහිපයක්ම අසනීප වී ඔහු සේවයට නොපැමිණීම නිසා නන්දන එදින ගියේ ඔහුගේ සැප දුක් බලන්නටය.  
එහෙත් කඳුකරයට පුරුදු වැස්ස කඩා වැටෙන්න වුණේ නන්දන බසයට නැගුණු වෙලේ සිටයි..... කුඩයක් නොගෙන ආ නිසා චාමරගේ නිවසට යන බස් නැවතුම අසළ වූ කඩයට නන්දන දුව ගියේ තෙමෙද්දීමයි......  
ටික වෙලාවකින් මුදලාලි සමග කුලුපග වූ ඔහුට දෙන්න කුඩයක් මුදලාලි සතුව නොතිබිණි. ඒ අතර කඩයට ගොඩ වූ තරුණිය අමතා මුදලාලි පෙර කී ඉල්ලීම කළේය.  
ඇස් කරකවා කෝල බැල්මක් නන්දන දෙසට හෙලු ගයනි හා කියන්නට හිස සැලුවාය.  
ගයනි සමග ඇඟේ හැපෙමින් භාගයක් වැස්සට තෙමෙමින් ඒ අඳුරු කඳුකර පාරේ ගිය ගමන නන්දන යුවතියක් සමග එක කුඩයක් යටින් ගිය පළමු ගමනයි.  


චාමරගෙ නිවසට මෙපිටින් පිහිටා තිබූ ගයනිගේ නිවස අසල දී...... ‘අයියා කුඩේ අරන් යන්න..... පස්සෙ ගෙනත් දෙන්න..... දැන් ඉතින් යන්නත් කුඩයක් නෑනේ......”  


ඇගේ සොඳුරු සිහින් හඬින් ඇය පවසද්දී නන්දන ගොඩක් ස්තුති කර කුඩෙත් අරන් යාලුවා බලන්න ගියා.....  
ගයනි නම් කිවුවේ චාමර අතේ ආයෙ කුඩේ එවන්න කියලා.....  
ඒ වුණාට අලුත් කුඩයක් අරන් පසුදා නන්දන චාමර බලන්න යන මුවාවෙන් ගයනි බලන්න ගියා. චාමර බැලීම කෙසේ වෙතත් ගයනිගේ නිවසට ගොඩ වැදිලා තේ කෝප්පයක් එහෙම සප්පායම් වෙලා ගයනි එක්ක කතා කරන්න නන්දනට හැකි වුණා.  


ගයනි කියන්නේ අසරණ වුණ අහිංසක කෙල්ලෙක් බව නන්දන දැන ගත්තේ එහිදී දෙමාපියන් කුඩා කලම අකුණක් වැදි මිය ගොස් බව ඇය කිවුවා.  
සහෝදර සහෝදරියක් වත් නැති ඇඟේ පිහිට වුණේ පියාගෙ අම්මා.... ඇයත් බොහොම වයසට පත්වෙලා උන්නා......  


මේ අහිංසක සුන්දර කෙල්ල ළඟ ඉස් ඉස්සෙල්ලාම නන්දනගේ හිත නතර වුණා. කාටවත් අත නොපෑ ගයනි තනිව ඇඳුම් මසා ඒවා නගරයේ කඩවල්වලට තොග පිටින් විකුණා ජීවිතය සරි කර ගත්ත දිරිය කෙල්ලෙක්.  
කාලයත් එක්ක දෙන්නගේ ප්‍රේමය දළු ලා වැඩුනා......  
ගයනිගෙ ජීවිතේ බර සිය අතට ගත් නන්දන ඇය ආදරෙන් බලා ගත්තා.....  
නන්දනගේ පවුලට සිටිය එකම පිරිමි දරුවා නන්දන පමණයි. සම්ප්‍රදායික පවුලක් වූ ඔහුගේ නිවැසියන් නන්දනට විවාහ යෝජනා ගෙනෙන්නට වුණේ මේ කාලය මයි......  
“මං ඔයා ගැන අපෙ අම්මලාට කියනවා ගයනි.....”  
“අම්මලා මොකක් කියයි ද.....”  


“අකමැති වෙන්න හේතුවක් නෑනේ......”  
“ඒත් මං වගේ කාත් කවුරුත් නැති...... දෑවැද්දක්.....”  
“ඇති ඇති....... ඔයා ඒවා හිතන්න එපා....... මන් අදම ගෙදර එක්ක මේ ගැන කතා කරනවා......”  
ගයනි තුරුළු කරගෙන නන්දන කීවේය......  
ඔහු පැවසූ ලෙසටම ගයනි ගැන නිවසේ වැඩිහිටියන් සමග සාකච්ඡා කරන්නට ඔහුට හැකි විය.  
“දුප්පත් පෝසත් කම් අපිට වැඩක් නෑ...... කෙල්ල හොඳයි නම්...... පුතා කැමති නම් එච්චරයි......”  
“ඒ විතරක් ඇද්ද..... පොරොන්දම්....... අනිවාර්යයෙන් බලන්න ඕනැ......”  
කාලය ගෙවිලා ගියෙ චාමර විවාහ දිවියට පත් වෙමින්......  
ඔහුගේ මඟුල් ගෙදර ගිය නන්දන බොහෝ මත්පැන් පානය කළා......  
ගෙදර යන්න තබා හිටගෙන ඉන්න තරම් වත් සිහියක් නෑ......  
“ම්ම්..... මාව..... ග් ගය...නිල..... ගෙ..... ගෙදරට ද් දා..... පන්.....”  
ඔහු මිතුරන්ට ගොත ගහ කිවුවා......  
හොඳටම බීමතින් සිටි සිය පෙම්වතාව බාර ගත් ගයනි සිය සයනයේ ඔහු නිදි කරවා සපත්තු ගලවා දැම්මා.......  


දෙහි බෑයක් ගෙනත් හිසෙත් යටි පතුලෙත් ඇතුල්ලුවේ මත් බව යන්න......  
හොඳට ම දහඩිය නිසා ඇය ඔහුගේ කමිසය උනා දැමුවා...... රෝම විසිරුණු ඒ පිරිමි පපුවේ උණුසුමට ගයනිගෙ හිත ඇදීගියේ නොදැනීම...... ගයනිගේ දෙතොල් පහසින් වෙරි මතින්ම පිබිදුණු නන්දනගේ ආශාවන් එදා රාත්‍රියේ නිවිලා යනකොට ගයනි ගැහැනියක් වෙලා අවසන්......  
එහෙත් පසුදා උදේ අනෙක් ගැහැණු වගේ නන්දනට ශාප කර කර ගයනි හැඬුවේ නෑ......  
“කවදා හරි මේ දේවල් ඔයාට නම් දෙන්න ඉන්නේ...... ඇයි මං අඬන්නෙ......”  
ගයනි කියද්දී ඇය තමා ගැන තබා ඇති විශ්‍වාසය ගැන නන්දන බොහෝ පැහැදුනා......  
ඒක තමා සැබෑ ආදරය.....  
ඔහු සිතුවා.....  


“පුතා දෙයක් කියන්නේ තේරුමක් ඇතිව...... ඔය දෙන්න ගෙ පොරොන්දම් ගැලපෙන්නේ නෑ......”  
නොහිතපු විදියට ගෙදරින් ගයනිගේ සම්බන්ධයට විරුද්ධ වුණා.  
පොරොන්දම් වගේ නොවෙයි දැන් ඇගේ හැමදේම තමන්ට ගැලපී අවසන් බව නන්දන සිතුවා.......  
එහෙත් දෙමාපියන්ට ද විරුද්ධ විය නොහැක.....  
තමා එකම දරුවාය......  
කුඩාකල සිට ඔවුන් ඔහු ගැන කොපමණ බලාපොරොත්තු තබා ඇද්ද? 
“මං තරහා නෑ...... ඔයා ගෙදරින් ගේන දේකට කැමති වෙන්න......”  
ගයනි කිව්වේ සිද්ධිය අහලා නන්දනගේ නිරුවත් පපුවේ හිස තියලා.  
දැන් ඉතින් සියල්ල හමාර නිසා ඔවුන්ට අහිමි වී තිබුණේ‍ අත්සන් කළ සහතිකය පමණි.  
මේ අවුල නිසාම නන්දන සිය මස්සිනා කෙනෙක් සොයා ගියේ කුමක් කරන්න දැයි උපදෙස් ගන්නය.  
“ඔය පොරොන්දම් බලනවා කියනෙක හරියටම හරි පුතෝ..... ඕවා අද කාලේ කවුරුත් ගණන් නොගන්නා හින්දා තමා ඔය උසාවිවල ඔච්චර ඩිවොස් නඩු......”  
“ඒත් මොකක්ද කරන්නේ කියපන්....... ඒකි මන් හින්දා අම්මා කෙනෙක් වෙන්න යන්නෙ.....” “හුටා..... ඒක නම් කේස්.....!”  


“මට නැන්දම්මා කීවා විස්තර....... පොරොන්දම් ම තමා අවුල..... එකක්වත් ගැලපෙන්නේ නෑ කියනවනේ...... දැන් බලපන් උදාහරණයක් ගත්තොත්...... ඒකිගෙ යෝනී මොකක්ද..... අශ්ව යෝනී උඹේ මොකක්ද සැවුල් යෝනී...... වුවමනාම එක ගැලපෙන්නේ නෑනේ සහෝදරයා.......”  
“දැන් නොගැලපුන නිසා ද ඒකිට එහෙම වුණේ?”  
“මේකයි මල්ලි...... ඕක බලපාන්නේ පස්සට....... ලැජ්ජාව ඇරලම උඹට කිව්වොත් උඹ විනාඩි පහෙන් උඹේ වැඩේ කරන් අයින් වෙන්න පුළුවන්. ඒත් ඒකිට එහෙම බෑ...... මුළු ජීවිතේම විඳවනවා......”  
”ඒත් දැන් හැරෙන්න බෑනේ...... මොකක් හරි කරපන්......”  
“මං බලන්න ම්...... ඒත් දන්නවා නේ නැන්දම්මා ගේ හැටි”  
ඔහු එහෙම කිව්වත් ඔහුට ද කරන්න කිසිවක් තිබුණේ නෑ.  
අන්තිමට ගයනිම ඒකට විසඳුම ගෙනාවා.  
“කඩදාසියක අත්සන් නොකළට ඔයා තමා මගෙ මහත්තයා..... මේ දරුවගේ තාත්තා...... ඔයා එයා බඳින්න..... ඒත් ඔයා මගෙ......”  


කඳුළු ගලන ඇස් වලින් ගයනි කියද්දී නන්දන ඇයව සිප ගත්තේ නොනිමි සෙනෙහසින්.  
හරියට ම ගයනිට බබා ලැබෙන්න රෝහල් ගත කරපු දවසෙ නන්දන රසිකා කැන්දන් ඇවිත් මහනුවර ලස්සන හෝටලේක මධු සමයට ගියා.  
ගයනිට වඩා බෙහෙවින්ම සුන්දර කෙල්ලෙක් වූ රසිකාගෙන් නන්දන ගයනිගෙන් බලන්නට පවා මතකයේ වත් නොතිබුණු පිරිසිදු කන්‍යාවියකගේ පතිවත දුටුවා.  
රසිකා සමග විවාහ වුවත් ගයනි ගෙ අඩුපාඩු සොයා බලන්න නන්දන නිතරම කැප වුණා. මේ අතරෙ ගයනිට දෙවෙනි දරුවත් ලැබුණා.  


දැන් නම් ලැබෙන සොච්චම් පඩිය පවුල් දෙකක් නඩත්තු කරන්න නොහැකි තරම් ආයේ දරුවන් නොහදන්නට ගයනි මෙන්ම නන්දනත් වග බලා ගත්තා.  
නමුත් ඔවුන් කොපමණ පරෙස්සම් වුවත් ගයනිට තුන් වෙනි දරුවාත් කුසට ආවා.  
“ගයනි ඔයා ටැබ්ලට් හරියට ගන්න නැතිව ඇති......”  
“මං මොනා කරන්න ද...... ඔයාත් දැන ගන්න එපැයි......”  
දෙන්න අතර බහින් බස් වීම් ඇති වුණා.   


මේ අතර අම්මා තවත් කතන්දරයක් අරන් ආවා.  
“දැන් ඉතින් මදෑ....... අවුරුදු කීයක් ගියා ද...... දරුවෙක් මල්ලෙක් හදන්නේ කවද්ද”  
“අරහෙ දරුවො වැඩි වෙලා...... මෙහෙ දරුවෝ මදිවෙලා”  
නන්දන සිතුවේ කෝපයෙන් පුටුවකටත් පයින් ගසන ගමන්.  
දැන් ඉතින් රසිකාට දරුවෙක් හැදුණූ පසු දරුවන් සිව් දෙනෙකි.  
රසිකා එකෙක් හදා නතර වෙයිද?. මෙහෙම ගියොත් ගෙල වැල ලා ගන්නට සිදුවන බව නම් සහතිකය.  
“දැන් කොච්චර කල් වුණා ද? අපි යමු ඩොක්ටර් කෙනෙක් බලන්න.....”  


රසිකා හැම මාසෙම ඔසප් දිනය තෙක් බලන් ඉඳලා බලාපොරොත්තු බිඳ වැටෙන කොට එහෙම කියන්නේ

දැන් මාස ගණනක ඉඳලා......  


“ඔයා ගිහින් බලන් එන්න.......”  
නන්දන කියන්නේ ඕනෑවට එපාවට.  
ඉන්න උන්ට කන්න දෙන්න දහ අතේ සිතන ඔහුට රසිකා වඳ ගැහැනියක් වුවොත් හොඳයි කියා යටි හිතට නරුම පැතුමක් ආවා.  
ඒ සුපුරුදු ඉල්ලීම රසිකා අවසන් වතාවට කළේ අද උදේ.......  
“තමුසෙ මට වද නොදී ගිහින් චෙක් කරන මඟුලක් චෙක් කර ගන්නවා......”  
නන්දන කෑ ගැසුවේ ඔහුගේ තිබුණු ප්‍රශ්නත් එක්ක රසිකාගේ කෙදිරියත් වදයක් වූ නිසා......  
“එහෙම මං විතරක් චෙක් කරලා මදි....... ඔයත් ඕනැ.......”  
“මට අමුතුවෙන් චෙක් කරන්න දෙයක් නෑ...... මං ඒක අත්දැකීමෙන් කියන්නේ...... ඇස් ඉදිරියේ දැකලා කියන්නේ.......”  


කාර්යාල බෑගයත් අරන් නන්දන එසේ කියා පාරට බැස්සේ එක්කො ඉඳී....... එක්කො යයි කියලා හිතන ගමන්.......  
හදිසියේම අම්මාගෙන් ඇමතුමක් ආවේ රසිකා ඇයට ඇමතුමක් මගින් පවසා සිය නිවසට ගිය බව නන්දනට කියන්න.  
ඒවෙලේම කෙටි නිවාඩුක් ගෙන සිය නිවසට ගියේ. ඇය ආපසු යෑම නන්දනගේ වරද නිසා බව අම්මා බොහෝ දොස් පරොස් කියමින් පැවසූ නිසයි.......  
අද උදේ මේ ටීපෝව මත නන්දන එද්දී තිබුණේ රසිකා විසින් තබා යන ලද ලිපියක් සහ අවුරුදු පහක් ඇතුළත ඇය සහභාගි වූ වෛද්‍ය සායනවල වාර්තා මිටියක්.  
“හිතවත් නන්දන....... අද ඔබ ගැන තිබූ මගෙ අන්තිම ආදර පොදත් අන්තිම අනුකම්පාවත් ඉවරෙටම ඉවර වුණා.  
මං ඔයාගේ බිරිඳ.....  


මේ ගෙදරට ආ දා ඉඳලා ඔයාගේ වෙනසක් මම දැක්ක.  


ඒත් අද ඔයා කියන තුරු මං ඔයාට තවත් පවුලක් තියෙන බව හීනෙන්වත් හිතුවෙ නෑ. නමුත් නන්දන....... ඔබ බොහෝ කලෙක සිට රැවටී ඇති බව කනගාටුවෙන් වුණත් කියන්න සිදු වෙනවා....... මේ තියෙන්නේ මගෙ රිපෝට්........ මට කිසිම දරුපල අහිමි වෙන්න හේතුවක් නෑ. මට ඔයාට ආදරෙ සහ ගෞරවය කරපු නිසා ඔයා වෙනුවෙන් හැමදේම ඉවසලා හිටියා....... නමුත් අද ඒ හැමදේම විනාශ වුණා.”  
ලිපිය කියවූ නන්දන ඊට යටින් වූ වෛද්‍ය වාර්තා මිටිය අරන් බැලුවා.  
රසිකා අවුරුදු පහම එක එක වෛද්‍යවරුන් කරපු පරීක්ෂණවල වාර්තා එහි කිසිම ප්‍රශ්නයක් නෑ......  
“එතකොට කාගෙද අවුල...... මගෙ...... නෑ එහෙම වෙන්නෙ කොහොමද...... ගයනිට දරුවො ඉන්නේ......”  
වහාම යමක් සිහි වූ නන්දන සිය පවුලේ වෛද්‍යවරයා හමුවට ගියා...... සියල්ල අමතක කළ ඔහු දහවල් සිට බලා හිද හවස හය වෙද්දී ආ වාර්තාව අරගෙන එසැනින්ම බැලුවේ තවත් ඉවසිය නොහැකි නිසා.  
“දෙයියනේ.......”  


ආපසු එන තුරුම මස්සිනා කී කතාව ඔහුට ඇසෙන්නට විය.  
“ඒකී අශ්ව යෝනී....... උඹ සැවුල්...... එක්කො ඒකී පිටින් ඒකිට ඕනැ දේ ගන්න වා..... නැති නම් මුළු ජීවිතේම විඳවනවා........”  
හරියටම ඇය සමග එක් වූ දා ඔහු සිටියේ බීමතින් නිසා අදටත් ඇගෙ පතිවත ඔහුට රහසකි.  
රසිකා වන් කුල ස්ත්‍රී රත්නයක් ලැබුණත් අනුන්ගේ දරුවන් පෝෂණය කරන්නට ගොස් දැන් ඇය අහිමි වී අහවරය.  


තමා චුට්ටක් හෝ ඇයට අනුකම්පා කළා නම් ඇගේ මහත් වූ සෙනෙහස නිසා ඇය මේ අවුරුදු පහ ඉවසුවා සේ මුළු ජීවිතයම ඉවසන්න ඉඩ තිබුණි.  
තුන් වෙනි දරුවා කුසේ හොවාගෙන සිටින ගයනිගේ අඩවන් දෑස නන්දනගේ සිතේ මැවේ.  
“දෙයියනේ...... මම කොච්චර මෝඩයෙක් ද.......”  
නන්දන අසල ටීපෝව මත හිස හොවන් දරුවෙකු සේ හඬන්නට විය.  
(අතීතයේ මිනිසුන් යම් දෙයක් කළෝද..... එය නිවැරැදිම දෙයයි...... එයට විරුද්ධව නවීකරණය සොයා ගොස් අද තරුණ ජීවිත උසාවිවල ගතු කියා ගනිමින් සිටිති)  

 

 

කුමාරි ඉහළගෙදර