අඹු සැමි ඇසුරට බාධා කළ කලව බන්ධනය


පියුමි බොහෝ උතුම් ගතිගුණවලින් හෙබි තරුණියකි. ඇය එම ගමේම සුනිල් සමඟ ආදර සම්බන්ධයක් ඇතිකර ගන්නේ වයස අවුරුදු විසිදෙකේදී ය. දෙමාපියන්ට කීකරු ලෙස හැදුණු වැඩුණු පියුමි සුනිල් විසින් ප්‍රේම සම්බන්ධ යෝජනාවක් ගෙන ආ දිනයේම ඇයගේ මවට ඒ ගැන දන්වා සිටියාය.
 
සුනිල්ගේ කියන්නට තරම් වරදක් නොතිබූ නිසාවෙන් ඇගේ දෙමාපියන් ද මෙයට කැමැති වූහ. පියුමි උසස් පෙළ සමත් තරුණියක වන අතර, සුනිල් ද උගත් තරුණයෙකි. මොවුන්ගේ ප්‍රේම සම්බන්ධය අවුරුදු තුනක් ඉක්මවීය. මොවුන්ව විවාහ කරදීමට සිතූ දෙමාපියන් විසින් දෙදෙනාගේ විවාහය තීරණය කළහ. දෙපාර්ශ්වයේම කැමැත්ත අනුව පියුමි හා සුනිල් විවාහ වූහ. 


විවාහයෙන් පසු දෙදෙනා සුනිල්ගේ දෙමාපියන්ගේ නිවසේම පදිංචි වූවෝය. ඔවුනොවුන් සතුටින් හා සමාදානයෙන් පවුල් ජීවිතය ගත කළහ. විවාහ වී අවුරුද්දක් හමාරක් යනවිට “මොකද තවම දරුවෙක් ගැන හිතන්නෙ නැද්ද?” යනුවෙන් පියුමිගේ දෙමාපියෝ ඇගෙන් විමසන්නට වූහ. “තවම ඒ ගැන හිතුවෙ නැහැ. තව කල් තියෙනවානෙ’’ කියමින් බොහෝ සරල පිළිතුරකින් ඇය ප්‍රශ්නයෙන් මගහැරියාය. 


මෙලෙස තවත් කාලයක් ගත විය. පියුමිගේ දෙමාපියෝ මෙන්ම සුනිල්ගේ දෙමාපියෝ ද මොවුන් දෙදෙනා තවම දරුවකු ගැන නොසිතන්නේ මන්දැ’යි විමසන්නට වූහ. එහිදීද  අවස්ථානුරූපීව කුමක් හෝ පිළිතුරක් දී දෙදෙනාම එම ප‍්‍රශ්නයෙන් පැන ගියහ. මේ වනවිට ඔවුන් විවාහ වී අවුරුදු පහකටත් වඩා වැඩිය. දෙමාපියන් ද නෑදෑයින් ද හිතමිතුරන් ද “ඇයි තාම ළමයි නැත්තේ? ඩොක්ටර් කෙනෙකුටවත් පෙන්නුවොත් හොඳ නැද්ද?” යන ප‍්‍රශ්නය ඇසූහ. 


යම් යම් මිනිසුන් මෙලෙස ඇසීම මොවුනට මහත් වදයක් වන්නට විය. “අපටත් වඩා ප‍්‍රශ්නෙ තියෙන්නේ අනිත් මිනිස්සුන්ටනේ” යන මතය මොවුන් දෙදෙනාගේ සිත් තුළ ජනිත විය. පියුමිගේ මව විසින් බෝධි පූජා කරවීම, දෙවියන්ට භාර වීම ආදී දේවල් පවා සිදු කළාය.  අපලයක්වත් ඇතැයි සිතා කේන්දරය බලා යම් යම් දේ සිදු කළාය. නමුත් කුමක් සිදු කළ ද ඒවායින් ප‍්‍රතිඵලයක් පෙනෙන්නට තිබුණේ නැත. 


වැඩිහිටි දෙපිරිස මේ ගැන මැදිහත්වී කතා කර, මොවුන් වෛද්‍යවරයකුට පෙන්වමු යැයි අදහස් කළ ද පියුමිවත් සුනිල්වත් “අපිට ළමයි නැති වුණාට අපි දෙන්නා සතුටින් ඉන්නවනේ” යැයි පවසමින් එයට කිසිසේත්ම කැමැත්තක් දැක්වූයේ නැත. නමුත් දෙමාපියන්ගෙන් සහනයක් නැත. “එහෙම කියල හරියන්නෙ නැහැ. අපෙත් පරම්පරාව ගෙනියන්න ළමයෙක් ඉන්න ඕනැ” යනුවෙන් දැඩි මතයක ඔවුහු සිටියහ. “හරි එහෙනම් අපි තව මාස හයක් විතර බලලා ඩොක්ටර් කෙනෙකුට පෙන්නමු” යන එකඟතාවකට පැමිණියහ. පියුමිගේත් සුනිල්ගේත් තිබූ සමගිය ද ටිකෙන් ටික අඩු වී යන බවක් පෙනෙන්නට විය. ඔවුන් අතර ද හැලහැප්පීම්, අඬදබර වැඩිවන්නට පටන් ගත්තේය. 


එක් දිනයක පියුමි තම දෙමාපියන්ගේ නිවසට යාමට සුනිල්ට කතා කළාය. “මේ ප‍්‍රශ්නෙ කෙළවරක් තියෙන්න ඕනැනේ” කියමින් පියුමි සුනිල්වත් කැඳවාගෙන ඇයගේ දෙමාපියන්ගේ නිවසට ගියාය. පියුමි හෙමින් සීරුවේ අඬමින් තම මව සමඟ යමක් කතා කරන්නට අවශ්‍ය බව ඇයට පැවසුවාය. “දුව මොකක්ද ප‍්‍රශ්නෙ? ඇයි ඔයාට මොකක්ද වෙලා තියෙන්නේ?” කියමින් පියුමිගේ මව කලබලයට පත් වූවාය. 


“නෑ අම්මෙ. අපිට ළමයි නැත්තෙ අපි අතර තවම එහෙම දෙයක් වෙලා නැති නිසයි” පියුමි අඬමින් පැවසුවාය. “අම්මෙ එහෙම ඇසුරකට මට බය හිතෙනවා. සුනිල් ඒ අතින් හොඳම හොඳ මනුස්සයෙක්. එයා ඒක විඳ දරාගෙන කාටවත් නොකියා මට ආදරෙන් හිටියා. නමුත් දැන් හැමෝම අහනවා ළමයි ගැන. නමුත් අපිට තියෙන්නේ එහෙම ප‍්‍රශ්නයක් නෙමෙයි. තාම අපි ඉඳලම නැහැ” පියුමි තවදුරටත් මවට පැවසුවාය. 


”මේ මොන විකාර කතාවක් ද? එහෙම බයක් අපි අහලවත් නැහැ” මව කීවාය. මෙලෙස දෙදෙනා අතර දීර්ඝ වේලාවක් කතාබස් ඇතිවිය. “අනේ මන්දා. මම තාත්තා එක්කත් හිමින් සැරේ කියලා බලන්නම් මේ ගැන” මව පවසන්නට විය. “අනේ අම්මේ ඒක තාත්තට කියන්න ඕනැ නැහැ. අම්මා මේක ලොකු අම්මට හරි නැන්දට හරි කියලා බලන්න. ඕක තාත්තට කිව්වොත් මට තාත්තට මුහුණ දෙන්න ලජ්ජයි” යනුවෙන් පියුමි අඬමින් පිළිතුරු දුනි. 


මේ ගැටලුව පියුමිගේ මව විසින් පියුමිගේ ලොකු අම්මාට එනම්, තම වැඩිමහල් සහෝදරියට කියා. “මොකක්ද අක්කේ මේකට අපි කරන්නේ” යනුවෙන් විසඳුම් සෙව්වාය. “ඉන්නකෝ, මම ඇවිල්ලා පියුමිත් එක්ක කතා කරලා බලන්න” පැවසූ ලොකු අම්මා පසුදාම පැමිණ පියුමිත් සමඟ මේ ගැන කතා කළාය. ඉන්පසු පියුමිගේ මවත් ලොකුඅම්මාත් අතර මතය වූයේ “මේක අපි අහලවත් නැති දෙයක්නේ. ඕක ගණන් නොගෙන ඕකට බය නොවී හිත හදාගෙන ඉදිරිපත් වෙන්නයි තියෙන්නෙ” යනුවෙනි. “නෑ ලොකු අම්මේ ඔයාලට ඕක තේරෙන්නේ නැහැ. ඔය කියන හැම විධියකින්ම මම හිත හදාගන්න හිතුවා. නමුත් කොච්චර හිත හදාගෙන හිටියත් ඒ වෙලාවට මොකක්දෝ වෙලා මුළු ඇඟම තද වෙනවා” පියුමි පිළිතුරු දුන්නාය. “මේක කවුරු හරි කෙල්ලට කරපු දෙයක්ද කියලත් මට හිතෙනවා අක්කේ” කියමින් පියුමිගේ මව තම සොයුරිය සමඟ කතාව වෙන අතකට හරවමින් කීවාය. “එහෙමනම් ඉතිං කරන්න තියෙන්නේ ඒ පැත්තක්වත් බලන එක තමයි’’ ලොකුඅම්මාගේ පිළිතුර විය. 


මෙලෙස තීරණයකට පැමිණි ඔවුන් ඒ සඳහා පේනයක් බැලීමට යෝජනා කරගත්හ. ගමේ තිබෙන පේන කියන තැනකට ගියේ එහිදී හෝ පිළිසරණක් ඇතැයි යන විශ්වාසය ඇතිවය. අම්මාත් ලොකුඅම්මාත් පියුමිත් තිදෙනාම දේවාලයේ තමන්ගේ වාරය එනතෙක් රැඳී සිටියෝය. ඔවුන්ගේ වාරය පැමිනුණි. 


පේන කියන මෑණියෝ ඔළුව වනමින් මොවුන් තිදෙනා දෙස බලා “කා ගැනද දැන් කියන්න ඕනැ” යනුවෙන් ආරූඪයෙන් ඇසුවාය. “මේ අපේ දුව ගැන” කියමින් ඔවුහු පියුමිව පෙන්වූහ. හූස් හූස් ගාමින් ඔළුව කැරකැවූ මෑණියෝ “මෙම ගැත්තියට බලපාන දීපු දෙයක් තියෙනවා. ඒක නිසා හිතට සැනසිල්ලෙ ඉන්න නෑ. ලෙඩ කියනවා” යනුවෙන් කියනවාත් සමඟම “ඔව් ඔව්. එහෙම තත්ත්වයක් තියෙනවා. මෙයා එයාගේ මහත්තයාත් එක්ක එකතු වෙන්න බයයි” පියුමිගේ මව කලබලයෙන් පිළිතුරු දුන්නාය. “ඒක තමයි මම කිව්වේ. ඒ කරපු දේ බලපෑමෙන් හිතට කිසිම සහනයක් නෑ. පවුල් ජීවිතේ පවා ආරවුල් එහෙමත් වෙනවා. එහෙම නේද?” යනුවෙන් මෑණියෝ ඔවුන්ගෙන් පෙරළා ඇසුවාය. පියුමිත් “ඔව් ඒක නම් ඇත්ත. දැන් දැන් අද වෙනකොට ගෙදරත් ප්‍රශ්න. වෙනදා මහත්තයාට තරහ ගියේ නැහැ. දැන් මහත්තයාටත් තරහ යනවා. ඒ ඔක්කොමටත් වඩා ප්‍රශ්නෙ කොච්චර හිත හදාගන්න හැදුවත් මට ඒ වෙලාවට මොකක්ද අපහසුවක් බයක් දැනෙනවා” පියුමි පිළිතුරු දුන්නාය. “මේ ගැත්තිට කලව බන්ධනයක් තමයි කරල තියෙන්නේ. ඒක කළාම විවාහ වුණාට පස්සේ අඹු සැමි ඇසුරක් පවත්වන්න බැහැ” මෑණියෝ ඔළුව කරකවමින් කීවාය. “මෑණියනි, මොකක්ද අපි මේකට දැන් කරන්න ඕනැ දේ” ලොකු අම්මා මෑණියන්ගෙන් ඇසුවාය. “ඕකට බන්ධනය කපන්න ඕනැ. ඊට පස්සේ ඔක්කොම හරි. දිනයක් දාගන්න” යැයි පැවසූ මෑණියෝ ඔවුන්ගේ පේනය බලා අවසන් කළාය. 


“කවුද අපේ කෙල්ලට මේ වගේ දෙයක් කරපු කාලකණ්ණියා” කියමින් කතාව ඇරඹූ මවත් ලොකුඅම්මාත් පියුමිත් නිවස බලා පැමිණ පියුමිගේ පියා සහ සුනිල් සමඟ විස්තරය කියන්නට වූහ. නමුත් සුනිල් එම අදහසට එතරම් කැමැත්තක් නොවීය. පියුමිට කිසිවක් සිතාගත නොහැකිය. නමුත් වැඩිහිටියන්ගේ ඉල්ලීම මත “ඒකත් කර බලමු” යැයි තීරණයකට එළඹීය. පසුව ඔවුන් සියලුදෙනා එකඟතාවකට පැමිණ පියුමිගේ මවත් පියාත් දේවාලයට ගොස් මෑණියෝ මුණගැසී බන්ධනය කැපීමට කළ යුතු අවශ්‍ය දේ කතාබහ කරගත්හ. විශාල බඩු ලැයිස්තුවක් මොවුන්ට ලියා දී “මේ ටික ලෑස්ති කරගන්න” ලෙසටත් තමන් විසින් තවත් බඩු බාහිරාදිය ටිකක් රැගෙන එන බවත් යාගය සඳහා රුපියල් හැත්තෑ පන්දහසක මුදලක් වියදම් ​ෙවන බවත් මෑණියෝ ඔවුන්ට පැවසුවාය. “කීයක් වියදම් වුණත් කරන්න ඕනැ දේ කළ යුතුයි” පැවසූ පියුමිගේ පියා මෑණියන් සමඟ දිනයක් ද සාකච්ඡා කරගත්තේය. යාගයේ දිනය උදාවිය. 


මෑණියෝ තවත් සහායකයින් තිදෙනෙකුත් සමඟ පියුමිලාගේ නිවසට පැමිණියාය. ගොක් කොළ හා කෙසෙල් පතුරුවලින් තටු සාදා ඒවාට දුම් අල්ලමින් පුද පූජා කොට පැය හතරක වගේ කාලයක් රාත්‍රි​යේ යාගය කෙරිණි. ඉන්පසු මෑණියෝ පියුමිව කාමරයට ගෙන ඇයගේ උදරය නිරාවරණය කරගෙන තෙල් වගයක් මතුරමින් එම තෙල් පියුමිගේ යටි බඩේ ගාමින් මැතිරීම ද අවසන් කළාය. පොරොන්දු වූ මුදලද රැගෙන මෑණියෝත් අනෙක් පිරිසත් රාත්‍රියේම නිවසින් පිටත්ව ගියේ “දැන් සියලු ප්‍රශ්න අහවරයි” පවසමිනි. පසුදින උදාවිය. 


පියුමිට වෙනදාට වඩා සැහැල්ලුවක් සිතට දැනිණි. ඒ වගේම සුනිල්ට ද යම්කිසි බලාපොරොත්තුවක් ඇතිවුණාක් මෙනි. “දැන් ඉතින් අපිට ප්‍රශ්නයක් වෙන එකක් නැහැනේ” කියමින් එදිනම පියුමිත් සුනිලුත් ඔවුන්ගේ නිවස බලා යන්නට වූහ. ඔවුහු එදා ජීවිතයේ අලුත් බලාපොරොත්තුවක් ඇතිව දවස ගෙවූහ. කොතරම් සතුටින් සැහැල්ලුවෙන් සිටිය ද එදින ද වෙනදා මෙන්ම අඹුසැමි ඇසුරට බිය පියුමිට ඇතිවිය. කරපු කිසිම දේකින් පොඩිවත් සහනයක් පියුමිට නොදැනිණි. පසුදා උදේම දුරකථන ඇමතුමක් ලබාදී කරපු යාගයෙන් ද කිසිම සහනයක් නොවූ බව පියුමි තම මවට පැවසුවාය. දෙමාපියන්ට ද නැවත සිතේ කලකිරීමක් ගෙනදෙන්නට විය. “දැන් ඉතින් මොකක්ද කරන්නේ” ඔවුහු පෙර පරිදිම නැවත නොයෙක් දේ කල්පනා කරන්නට වූහ. මේ සම්බන්ධයෙන් විවිධ අය විසින් විවිධ අදහස් පළ කළ ද මේ බව දැනගත් පියුමිගේ බාප්පා කෙනෙක් “දැන්වත් ඔය විකාර නවත්තලා ඕකට ප්‍රතිකාරයකට යොමුවෙන්න” යැයි කියා සිටියේය.


ඒ අනුව මෙම ගැටලුව ශ්‍රී ලංකා ස්වාපන විද්‍යාවේදීන්ගේ සංගමයේ වත්මන් සභාපති මනෝ චිකිත්සක, වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා වෙත යොමු කෙරිණි. වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා පියුමි සමඟත් සුනිල් සමඟත් වැඩිහිටියන් සමඟත් සාකච්ඡා කර ගැටලුව විසඳීමට භාර ගැනිණි. ඉන්පසු සති කිහිපයක් ප්‍රතිකාර කරගෙන යෑමෙන් පසු මොවුන්ගේ එම තත්ත්වය දුරු වී ගියේය. සාමාන්‍ය අය පරිද්දෙන් මොවුන් අතර අඹුසැමි සම්බන්ධතා ආරම්භ විය. සිදුවූ සිදුවීම පිළිබඳව දෙමාපියන් හා මොවුන් දෙදෙනා කැඳවා වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා මෙසේ විස්තර කරදුණි. 


“මෙහිදී සත්‍ය වශයෙන්ම තිබුණේ බන්ධනයක් නොවේ. අතීතයේ මෙම තත්ත්වය කලව බන්ධනය ලෙස මිනිසුන් හැඳින්වුවද මෙය අද ​ෙවනවිට පැහැදිලි වශයෙන්ම මානසික ගැටලුවක් බවට සොයාගෙන ඇත. මෙහිදී යම්කිසි තරුණියකට ලිංගිකත්වය පිළිබඳව ඇති අවබෝධය අඩුකම නිසා සමාජයේ ඇති විවිධ මිත්‍යා මත සිත්වලට ඇතුළු වේ. 


උදාහරණයක් ලෙස තරුණියක් විවාහ වීමට පෙර පළමු ලිංගික ඇසුර මහා වේදනාකාරී දෙයක් යනුවෙන් ඇතැමුන් පළ කරන අදහස් අසා තිබීමට පුළුවන්. එය සත්‍ය වුවද, අසත්‍ය වුවද ඇතැම් කාන්තාවන් තුළ එම මතය නිසා පළමු ලිංගික ඇසුරට බියක් යටි සිතෙහි තැන්පත් වේ. පළමු එක්වීමේදී මෙම යටි සිතේ පවතින භීතිකාව තමා නොදැනුවත්වම ඉස්මතු වී කලව, යටිබඩ, ලිංගේන්ද්‍රිය ආශ්‍රිත ප්‍රදේශවල මාංශපේශීන් දැඩි වේ. සත්‍ය වශයෙන්ම එය සිදු​ෙවන්නේ මනසින් දෙන පණිවුඩය නිසයි. මෙය මනෝ විද්‍යාවේදී Vaginismui ලෙස හඳුන්වන ගැටලුකාරී තත්ත්වයකි. මෙය සත්‍ය වශයෙන්ම ලිංගිකත්වය පිළිබඳ වැරදි සිතුවිලි යටි සිතේ තැන්පත් වීමෙන් ඇති ​ෙවන තත්ත්වයකි. ඉහත නිදසුන්වලට අමතරව බොහෝ හේතූන් මේ සඳහා පාදක විය හැක. නමුත් ඒ කෙසේ වුවද මනෝ විද්‍යාත්මක ප්‍රතිකාරය තුළින් පැහැදිලි වශයෙන්ම සුව කළ හැකි තත්ත්වයකි. 


පේන කියන මෑණියන් විසින් මෙය පැවසුවේ කෙසේද යැයි යමෙකුට ප්‍රශ්නයක් විය හැක. මෙම සිදුවීම පිළිබඳව හොඳින් බලන අයෙකුට එම මෑණියෝ ලෙස හඳුන්වන කාන්තාව විසින් මොවුන්ගේ වැඩිහිටියන්ගේ කතාවෙන්ම මෙම ගැටලුව එම කාන්තාව දැනගත් බව සනාථ වේ. මෙවැනි ගැටලුවක් සඳහා කිසිසේත්ම අදෘෂ්‍යමාන බලවේගයක් බලනොපාන අතර, මෙය මනෝ ලිංගික ගැටලුවක් පමණි. අප විසින් සිදුකළේ මැයට ප්‍රතිකාර කිරීමෙන් මැයගේ එම යටි සිතේ තිබූ බිය ඉවත් කිරීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඇය සුව විය” යනුවෙන් වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා පහදා දුණි. 
අද වනවිට පියුමි දෙදරු මවක් වන අතර, ඔවුහු සාර්ථක පවුල් ජීවිතයක් ගතකරති. කලව බන්ධනය සම්පූර්ණයෙන්ම බිඳී ගියේය. 

 


(මෙහිදී රෝගීන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම උදෙසා නම් ගම් පමණක් වෙනස් කර ඇත. සියලු වාර්තා පරීක්ෂක සංගමය සතුව ඇති අතර, සත්‍ය සිදුවීමකි.) 

 

 

 


සටහන: 
හබරාදුව  නිමල් අල්ගෙවත්ත