අමරසිරි - මාධව - සාරා යුග තුනක් එකම වේදිකාවක


“අමර සිරිසර” 28දා බිෂොප් ශ්‍රවණාගාරයේදී

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රය තුළ නොමැකෙන සංධිස්ථානයක් තැබූ ප්‍රවීණ ගායන ශිල්පී අමරසිරි පීරිස් සහ ඔහුගේ එකම පුත් මාධව පීරීස් ද මාධව පීරිස්ගේ එකම දියණිය සාරා පීරිස් එකම වේදිකාවක ගී ගයන පරම්පරා ත්‍රිත්වයක අපූරු වූ සුසංයෝගය‘ අමර සිරිසර ’ප්‍රසංගය මේ මස 28 වැනි සෙනසුරාදා සවස 6.30ට කොළඹ බිෂොප් විදුහල් ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. එහි යුග ගායනය ප්‍රවීණ ගායන ශිල්පිනී සමිතා මුදුන්කොටුවගෙනි. ප්‍රවිණ සංගීතවේදී සුරේෂ් මාලියද්දේගේ සංගීතයෙන් හැඩවන ප්‍රසංගය මෙහෙයවීම ප්‍රවිණ නිවේදක කැලුම් ශ්‍රීමාල්ගෙනි.

පුතාත් මිනිබිරියත් එක්ක එකම වේදිකාවක ගී ගැයීම සතුටක්

අමරසිරි පීරිස්

‘අමර සිරිසර’ අලුත්ම ප්‍රසංගය ගැන අපි ප්‍රථමයෙන්ම කතා කරමු

ඇත්තටම මීට ප්‍රථම මගේ ප්‍රසංගය නම් වුණේ’හන්තානට පායන සඳ‌’ නමින්. එය අපේ රටේ වගේම පිටරටවලත් ප්‍රසංග වාර හැටක් පමණ මේ වෙද්දි පවත්වා තියෙනවා. නමුත් මේ ප්‍රසංගය සුවිශේෂී ප්‍රසංගයක් වන්නේ එය මගේ නමින් නම් කර ඇති නිසා. මගේ පුතා සහ ප්‍රසංග සංවිධාන කමිටුව ඉල්ලීමක් කළා එසේ නම් කරමු කියා. මේ නම යෝජනා කර තියෙන්නේ ප්‍රවීණ නිවේදක කැලුම් ශ්‍රීමාල්. එදාට මම මගේ ගීත පහළොවක් පමණ ගයනවා. ඒ වගේම මගේ පුතා මාධවත්, මිනිබිරිය සාරාත් ගි ගයනවා. ඒ දෙදෙනාටම ගී ගැයීමේ හොඳ හැකියාවක් තිබෙනවා. මේ වගේ ප්‍රසංගයක් සංවිධානය කිරීම ගැන ඇත්තටම සතුටුයි.

විශිෂ්ට ගීත රැසක් හිමි ඔබ ප්‍රසංගය සඳහා ගීත තෝරාගන්නේ කවර පදනමක් මතද?

මගේ පැරණි ගීත වගේ ම අලුත් ගීත රැසකුත් තිබෙනවා. ඒ ගීත ශ්‍රාවකයන්ට අහන්න වෙලා තියෙන්නේ අන්තර්ජාලය හරහා. මොකද ඒ ගීත ගුවන් විදුලියටවත් දීලා නැහැ. විශිෂ්ට පද රචනා , සංගීතය මුසු වූ උසස් නිර්මාණ ඒ ගීත. සාමාන්‍යයෙන් ප්‍රසංගයක් සංවිධානය වෙද්දී මම එහි සංවිධායක මණ්ඩලයට කියනවා මම අලුත් ගීතත් ගයනවා කියා. මොකද ඒ ගීත ජනගත කරන්න තිබෙන එකම අවස්ථාව එය නිසා. නමුත් ඒකට සංවිධායක මණ්ඩල කැමති නැහැ. ඔවුන් ඉල්ලන්නෙ පැරණි ගීත ටිකම තමයි. ඒ නිසා ඒ අලුත් ගීත ජනගත කිරීමේ ගැටලුවක් තියෙනවා. මේ ප්‍රසංගයේදීත් අලුත් ගීත කිහිපයක් හෝ ගයන්න බලනවා. මොකද පැරණි ගීත එක්කම අලුත් ගීතත් ජනගත වියයුතු නිසා.

ඔබ තිදෙනා එක්ව මීට ප්‍රථම ගී ගයා තිබෙනවාද?

මිට ප්‍රථම ලන්ඩන් නුවර සංවිධානය කළ ප්‍රසංග වේදිකාවක මමත් පුතාත් මිනිබිරියන් ගී ගැයුවා. එදා ලැබූ රසික ප්‍රතිචාර හරිම ඉහළයි. සියලුම ටිකට් පවා විකිණි අවසන් වුණා. අපේ ගීත රසවිඳින්න බොහෝ දෙනෙක් කැමැත්තෙන් ඉන්නවා. එකයි මේ වගේ ප්‍රසංගයක් අපේ රටෙත් සංවිධානය කළේ. මම ආරාධනා කරනවා අපි තිදෙනාගේම ගිත අහන්න, විඳින්න කැමති අයට එදාට මේ ප්‍රසංගය නරඹන්න එන්න කියලා.

පූර්ණකාලීනවම සංගීත කටයුතුවල නියැළෙනවා

මාධව පීරිස්

සංගීතයට කැමැත්තක් ඇතිවෙන්නෙ පාසල් අවදියේ සිටමද?

මම පාසල් කිහිපයක අධ්‍යාපනය හදාරා තියෙනවා. ඒ කාලයේදීම පාසලේදීත් විෂයක් විදියට සංගීතය හැදෑරුවා. අපේ ගෙදර ම තිබුණෙ සංගීත වටපිටාවක්නෙ. නිතරම ඇසුණෙ ගීත.වාද්‍ය භාණ්ඩවල හඬ. මේ දේවල්වලින් තමයි ජීවිතේම පිරිලා තිබුණෙ. ඒ තාත්තා නිසා. ඒ වගේම තාත්තා මුණගැසෙන්න නිතර දෙවේලෙ ආවෙ ලංකාවෙ සංගීත ක්ෂේත්‍රයේ දැවැන්ත චරිත. ඒ අයගෙ අදහස්, කතාබහ, ගීත නිර්මාණ නිතරම ඇසුණා. මට කුඩා වියේ ඉඳලම ගීතයක් නිර්මාණය වෙන්නේ කොහොම ද කියන හැඟීම,දැනීම තිබුණා. ඒ අපේ නිවෙසේ තිබුණු සංගීත වටපිටාව එක්ක.

නමුත් ඔබ ගායනයට යොමුවෙන්නෙ බොහෝ කාලයක් ගතවූ පසුව.

ඇත්ත. ඒකට හේතුව තමයි මම පදිංචිවෙලා ඉන්නෙ පිටරටක නිසා. නමුත් දැන් පූර්ණකාලීනව සංගීත කටයුතුවලට යොමුවෙලා ඉන්නේ. මට කවදාවත් සංගීතයෙන් ඈත්වෙන්න බැහැ. ලංකාවේ වගේම වෙනත් රටවලත් ප්‍රසංගවලට ඉදිරියේදි සහභාගීෙවනවා වගේම අලුත් ගීත නිර්මාණය කරනවා.

මම පළමු ගීතය ‘ සඳ මදිරා’ එය රචනා කරන්නේ කැලුම් ශ්‍රීමාල්. සංගීතය කසුන් කල්හාර.

ඊට පසුව ප්‍රවීණ ගී පද රචක වසන්ත කුමාර කොබවක , ප්‍රවීණ ගී පද රචක බන්දුල නානායක්කාරවසම් ලියූ ගීත දෙකක් ප්‍රවීණ සංගීතවේදී සුරේෂ් මාලියද්දෙගෙ සංගීතයෙන් නිර්මාණය කළා. ඒ ගීත බොහෝ ශ්‍රාවකයන් වැලඳ ගත්තා. ඒවගේම තවත් ස්වතන්ත්‍ර නිර්මාණ කිහිපයක්ම එළියට එන්න තිබෙනවා.

මගේ පියා ප්‍රවීණ ගායන ශිල්පිනී මැණික් ජයසේකර සමඟ ගැයූ "ස්නේහයේ නගරයයි" ගීතය ප්‍රවීණ ගායන ශිල්පිනී සමිතා මුදුන්කොටුව සමඟත් ළඳුනේ ගීතයත් නැවත ගායනා කළා.

ඔබේ පියා අමරසිරි පීරිස් මෙරට සංගීත ක්ශේත්‍රය තුළ විශිෂ්ට චරිතයක්.එය දැනෙන්නේ කොහොමද?

ඒ කාරණාව නම් හරි බරක් වෙලාවකට. මොකද තාත්තා අපේ රටේ සංගීත ක්ෂේත්‍රය ට විශාල මෙහෙවරක් කළ විශිෂ්ටයෙක්. ඒ වගේම තමයි ඔහු සෞන්දර්ය විශ්ව විද්‍යාලයේදි හරියටම ශාස්ත්‍රය හැදෑරූ නිර්මාණකරුවෙක්. ඔහුගේ නම අද වන විටත් ඉහළින්ම පවතිනවා. අන්න ඒ නිසයි මගේ හිතට බරක් දැනෙන්නෙ. මොකද මම යන ගමන තුළ මට වගකීමක් තියෙනවා තාත්තගෙ නම තියන්න. ඒක අනිවාර්යයෙන් කළ යුතු දෙයක්. ඒවගේම තමයි මට හිතට ආඩම්බරයකුත් තියෙනවා එතුමාගේ පුතා වීම සම්බන්ධවත්. ඒ කොහොම වුණත් මම කැමතියි ශ්‍රාවකයන් මාව වෙනම කෙනෙක් ලෙස පිළිගන්නවානම්.

මේ වෙද්දි පීරිස් පවුලේ තුන්වැනි පරම්පරාවත් ගායන ක්ෂේත්‍රය ට එකතුවෙලා.

ඇත්තටම ඒ ගැනනම් තියෙන්නේ කියාගන්න බැරිතරම් සතුටක්. ඒ සාරා පීරිස්. මගේ දියණිය. මට හිතෙන්නේ මගේ තාත්තාගෙන් පසුව ගායනයට ඉහළම හැකියාවක් දක්වන්නේ ඇය. මමත් , තාත්තාත්, දියණියත් ගායනා කළ අලුත්ම ගිතය මේ දිනවල ප්‍රචාරය වනවා. ඇය දිගටම සංගීත ක්ෂේත්‍රය තුළ රැඳී සිටීවි.ඒක මට ලොකු හයියක් වගේම නිහතමානී ආඩම්බරයක්.

‘අමර සිරිසර’ ප්‍රසංගය ගැනත් කතාබහ කරමු.

ඇත්තටම එකම වේදිකාවක මගේ පියත් දියණියත් එක්ක ගීත ගායනා කරන්න ලැබීම මට කියාගන්න බැරිතරම් සතුටක්. මේ ප්‍රසංගය වෙනුවෙන් බොහෝ දෙනෙක් වෙහෙස මහන්සි වුණා. විශේෂයෙන් මගේ බිරිය සුභාෂිණි පල්ලෙවත්ත. ඇය තමයි හැම දේකම පිටුපසින් සිට අපව දිරිගන්වන්නේ. ඒවගේම තමයි මේ ප්‍රසංගය දිගටම කරගෙන යන්නත් අදහසක් තිබෙනවා.

ඔබාගේ ඉදිරි නිර්මාණ කටයුතු මොන වගේද ?

අලුත් ගීත කිහිපයක් ම එන්න තියෙනවා. බොහෝ දෙනකුගේ ආරාධනාත් ඕනැවටත් වඩා තිබෙනවා අලුත් ගී ගැයීම සඳහා. සංගීතය කිසිම දිනක අතහරින්නේ නැහැ. දිගටම නිර්මාණ කටයුතුවල යෙදෙනවා. සෑම මොහොතකම ලංකාවට ඇවිත් නිර්මාණ කටයුතු කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

භාෂා තුනෙන්ම හොඳ ගීත ගයමින් සංගීත ක්ෂේත්‍රයේ ඉදිරියට යනවා

සාරා පීරිස්

සාරා ..අපි පෞද්ගලික තොරතුරුවලින්ම කතාබහ අරඹමු.

මගේ තාත්තා මාධව පීරිස්. අම්මා සුභාෂිණී පල්ලෙවත්ත. මගේ සීයා තමයි ප්‍රවිණ ගායන ශිල්පී අමරසිරි පීරිස්. මම අධ්‍යාපනය ලබන්නේ වෙරෝනාවේ Agli Angeli විද්‍යාලයේ. ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරනවා. පුංචි කාලේ සිටම මගේ කනට ඇසුණේ සංගීතය.ඒ නිසා වෙන්න ඇති මම සංගීතයට ගොඩක් කැමතියි.ඒ නිසා ගායනය වගේම වාදනයත් හැදෑරීම් කළා.

ඔබ පසුගියදා ඉතාලියේ පැවැත්වූ Tour Music Fest (TMF) අති විශාලම රියැලිටි ගායන තරගයට ඉදිරිපත්වී ඉදිරියට පැමිණියා. ඒ ගැනත් කතාකරමු.

‘ඒ තරගය මට ලොකු අභියෝගයක්. මොකද සියලුම තරගකරුවන් විදෙස් ජාතිකයන්. මම එහිදී ගායනා කළේ ඉංග්‍රීසි ගීත. තරගකරුවන් 28,000 ක් අතරින් අවසන් 10 අතරට මම ආවා. ඒවගේම තමයි මගේ ගායනයට එහි සිටි අන්තර්ජාතික ප්‍රවිණ විනිසුරු මඩුල්ලෙන් නිරන්තරයෙන්ම හොඳ ප්‍රතිචාර ලැබුණා. ඔවුන් මා වෙනත් ජාතිකයකු කියා සැලකුවේ නෑ. නිරන්තරයෙන් අගය කළා. ඒ වගේම මම ගීතයක් ගායනා කිරීමේදී වේදිකාව යොදාගන්නා ආකාරය ගැන ඔවුන් ගොඩක් හොඳ ප්‍රතිචාර දැක්වූවා. එවැනි ප්‍රතිචාර මගේ ඉදිරි ගමනට හයියක්.

ඔබේ අලුත් ගීත නිර්මාණ ගැනත් කතා කරමු

මගේ සීයා අමරසිරි පීරිස් හා තාත්තා මාධව පීරිස් සමඟ ගැයූ අලුත්ම ගීතය ‘ජීවන ගීතය’ පසුගියදා එළිදැක්වූවා. එය පද රචනා කළේ බන්දුල නානායක්කාරවසම් මාමා. සංගීතය සුරේෂ් මාලියද්දෙ මාමා. කවර් සොන්ග් එකකුත් කළා. ඒවගේම ස්වතන්ත්‍ර ගීත කිහිපයක්ම ඉදිරියේදී ඵළියට එන්න තියෙනවා. ගීත සිංහල ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම ගායනා කරන්න මම කැමතියි. ඉංග්‍රීසි ප්‍රතිනිර්මාණ ගීත කිහිපයක්ම පසුගියදා පටිගත කළා.

ඔබ හාපුරා කියා අපේ රටේ වේදිකාවක ගී ගයන්නේ සීයා සහ තාත්තා සමඟ. ඒ ප්‍රසංගය ගැනත් කතා කරමු.

ඒක මට විශාල අත්දැකීමත්. සීයා කියන්නේ මේ රටේ විශිෂ්ටයෙක් ගායන ශිල්පියෙක්. ඔහුත් මගේ තාත්තා එක්ක මේ වේදිකාවක ගී ගයන්නට ලැබිම ගැන ඇත්තටම මට හරිම සතුටුයි. ඒ වගේම මම ගොඩක් කැමතියි සීයාගේ ගීතවලට. ඒ ගීත වගේ සිංහල ගීත ගයන්නත් ආසයි. අලුත් ගීතයක් ගැයුවාම සීයත් තාත්තත් එහි අඩුපාඩුකම් කියා දෙනවා. මට ඕනෑ හෙමින් හොඳ ගමනක් මේ සංගීත ක්ෂේත්‍රය තුළ යන්නයි.

සුජිත් ප්‍රසංග