කැරකෙන ලෝකේ
පොලිස් නිලධාරීන්හට අපරාධකරුවන් හඳුනාගත හැකි අව් කණ්ණාඩියක් හඳුන්වා දීමට චීන පොලිසිය පියවර ගෙන තිබේ. එම අව් කණ්ණාඩිය අපරාධකරුවන් පිළිබඳ දත්ත ගබඩාවකට සම්බන්ධ කෙරී ඇති අතර කිසියම් පිරිසක් අතර අපරාධකරුවකු සිටින්නේ නම් එම පුද්ගලයා හඳුනා ගැනීමට මෙම අව් කණ්ණාඩියට හැකිය.
මෙම අව් කණ්ණාඩිය හඳුන්වා දී දින කිහිපයක් ඇතුළත අපරාධකරුවන් සත් දෙනකු හඳුනා ගැනීමට පොලිසියට හැකි වී තිබේ. ඔවුන් අතර මංකොල්ලකරුවන්, පහර දී පලා යන්නන් හා මිනිස් ජාවාරම්කරුවෝ ද සිටිති. ව්‍යාජ හැඳුනුම්පත් භාවිත කළ පුද්ගලයන් 35 දෙනකුද අත්අඩංගුවට ගත් බැව් පොලිසිය පවසයි. දැනට අධික ජනගහනයක් සහිත දුම්රිය ස්ථානයන්හි හා ගුවන් තොටුපළවල ගැවසෙන අපරාධකරුවන් හඳුනා ගැනීම සඳහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන අතර ඉදිරියේදී සෑම නගරයකම ව්‍යාප්ත කිරීමට තීරණය කර තිබේ. විශේෂයෙන් නිවාඩු සමයන්හි ගුවනින් හා දුම්රියෙන් මිලියන ගණනක් වූ ජනයා විවිධ ප‍්‍රදේශ කරා ගමන් ගන්නා අතර, බොහෝ අපරාධකරුවන් ද ඔවුන් හා මුසු වෙමින් විවිධ ප‍්‍රදේශවලට සංක‍්‍රමණය වන බවත්, නව අව් කණ්ණාඩිය මගින් ඔවුන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම තම අරමුණ බවත් පොලිසිය සඳහන් කරයි.
චීනයේ ප‍්‍රධාන නගරයන්හි මිලියන 170කට අධික සීසීටීවී කැමරා ප‍්‍රමාණයක් ස්ථාපනය කර ඇති අතර නව ක‍්‍රමය එයටත් වඩා සාර්ථක වනු ඇතැයි පොලිසිය අපේක්ෂා කරයි. අව් කණ්ණාඩිය මගින් රූගත කෙරෙන දර්ශන චීන ජාතික දත්ත ගබඩාවේ ද තැන්පත් වේ.
සුළු ජාතීන් මර්දනය කිරීම සඳහා මෙම ක‍්‍රමය භාවිත කරන බවට චීන රජයට චෝදනා එල්ල වී තිබේ. උදාහරණයක් ලෙස නව ක‍්‍රමය ක්‍රියාවට නංවා ඇති ෂිංජියෑන් ප‍්‍රදේශයේ බහුතරය උයිගර් මුස්ලිම්වරුය. සංඛ්‍යාත්මකව ඔවුහු මිලියන 10ක් පමණ වෙති. පොලිසිය ඔවුන්ගේ නිවෙස්වලට හා රාජකාරි ස්ථානවලට ගොස් විශේෂ පරීක්ෂාවට ලක් කරන බවට චෝදනා නැඟී තිබේ.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා