අවිගත් දඩබ්ම
එස්.ටී.එෆ්. පාතාල මෙහෙයුම
ප්‍රබල පාතාල සාමාජිකයකු වන අංගොඩ ලොක්කාගේ මත්කුඩු, කේරළ ගංජා, ආයුධ ඇතුළු නීති විරෝධී ජාවාරම්වල නිරතව සිටින ඔහුගේ ප්‍රබල ගෝලයෙකු වන ‘‘දෙල්ගහවත්තේ චීටි’’ නමැත්තා පසුගිය දා විශේෂ කාර්ය බළකාය විසින් කොටිකාවත්ත ප්‍රදේශයේ නිවසක දී කොටු කරගන්නා ලදී.
අංගොඩ, කොටිකාවත්තේ පදිංචි ඇල්වලගේ සරත් කුමාර නොහොත් ‘‘චීටි’’ (41) නමැත්තා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබූ අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව ජීව අත්බෝම්බයක් සහ ෙහරොයින් ග්‍රෑම් 6යි මිලිග්‍රෑම් 100ක් තිබී ඇත.
විශේෂ කාර්ය බළකාය පවසන පරිදි මොහු අංගොඩ ලොක්කාගේ ආයුධ, මත්කුඩු ඇතුළු නීති විරෝධී ජාවාරම්වල නිරතවෙමින් සිටින විශ්වාසවන්ත ගෝලයෙකි.
ෙමම ජාවාරම්වලට අමතරව මොහු මහා පරිමාණයෙන් පස් කැපීමේ ජාවාරමේ නිරතව සිටින බවද පැවසේ.
අංගොඩ ලොක්කා ඩුබායි රටේ සිට ලබාදෙන ඇනවුම් ඔහුගේ සමීපතමයකු වන පෙතියාගොඩ සංඛ නමැත්තා වෙත ලබාදෙන අතර සංඛ විසින් ලබාදෙන උපදෙස් අනුව මොහු එම ජාවාරම් සිදුකරනු ලබයි.
අංගොඩ ලොක්කා ඩුබායි රටේ සිට ලබාදෙන ඇනවුම් අනුව මත්ද්‍රව්‍ය, කේරළ ගංජා වැනි ගිනි අවි වෙනත් ප්‍රදේශ වෙත රැගෙන ගොස් අපරාධකරුවන් අතට පත්කිරීම මොහු විසින් සිදු කරනු ලැබේ.
ඒවා ප්‍රවාහනය කරන්නේ ත්‍රීරෝද රථ, යතුරු පැදි වැනි වාහනවලිනි.
බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් සිදුවන පාතාල ක්‍රියාකාරකම් මැඩලීම මෙහෙයුම් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකෙරේ.
ඒ සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරුණ ජයසුන්දර මහතා විසින් මෙහෙයවීම සිදුකෙරෙයි.
එම විශේෂ පාතාල සහ අපරාධ මර්දන විශේෂ මෙහෙයුමට මෙම චීටි නමැත්තා පිළිබඳව ඉව වැටී තිබිණි.
මොහු අත්අඩංගුවට ගන්නා ලෙසට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා විසින් ලබාදී තිබූ නියෝගයට අනුව විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ යොදවා චීටි පිළිබඳව තොරතුරු රැස් කළේය.
මෙම මෙහෙයුම් පිළිබඳ ඉව වැටුණු චීටි සිය ගම් ප්‍රදේශය අතහැර පලා ගියේය.
අංගොඩ, කොටිකාවත්ත ප්‍රදේශයේ නිවාස කිහිපයකට හිමිකම් කියා තිබුණු චීටි එම අවස්ථාව වන විටත් එම නිවෙස්වලින් ද පැනගොස් සිටියේය.
ප්‍රදේශයෙන් පළා ගොස් සිටින මොහු පිළිබඳව දින සති ගණන් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශ තොරතුරු රැස් කළේය.
සිවිල් ඇඳුමෙන් සැරසුණ විශේෂ කාර්ය බළකා කණ්ඩායම් අංගොඩ, කොටිකාවත්ත අවට ප්‍රදේශවල රැඳී සිටිමින් ඔහු පිළිබඳ තොරතුරු රැස් කළහ.
ඉකුත්දා (3) අලුයම එම නිලධාරීන් වෙත බුද්ධි තොරතුරක් ලැබුණේ චීටි නමැත්තා කොටිකාවත්තේ නිවස වෙත පැමිණ ඇති බවයි.
ඒ අනුව වහා ක්‍රියාත්මක වූ භට කණ්ඩායම් ඔහුගේ එම නිවස වට කළහ.
ඔහුගේ නිවස වටලා ඇති බව දැනගත් චීටි නමැත්තා නිලධාරීන්ගෙන් බේරී පැනයාම සඳහා නිවසේ පිටුපසට දිව ගියේය.
වහාම ක්‍රියාත්මක වූ භට පිරිස් නිවස වටලා ඔහු අත්අඩංගුවට ගත්තේය. එම අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 6යි, මිලිග්‍රෑම් 100ක් ද අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙම අවස්ථාවේ ඔහුගේ බිරිඳ, දරුවන් නිවසේ සිට ඇත.
සැකකරු අත්අඩංගුවට ගත් භට පිරිස් ඔහුගේ නිවස පරීක්ෂා කළ ද සැකකටයුතු කිසිවක් හමු නොවීය.
ඉන් නොනැවතුණ නිලධාරින් නිවස ඉදිරිපිට ඇති බලු කූඩුව පරීක්ෂා කර ඇති අතර එම අවස්ථාවේ බලු කූඩුවේ තිබී ජීව අත්බෝම්බය සොයා ගනු ලැබිණ.
එම බෝම්බය ඉතාමත් සූක්ෂම ලෙස පොලිතින් උරයක ඔතා තිබී ඇත.
තමාට එල්ල වී ඇති ජීවිත තර්ජනවලින් බේරීම සඳහා මෙම අත්බෝම්බය තබාගත් බවට සැකකරු ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත.
භට පිරිස් අත්අඩංගුවට ගත් සැකකරු හා භාණ්ඩ වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා අපරාධ නිවාරණ කොට්ඨාසයට බාර දී තිබිණි.
දෙල්ගහවත්තේ චීටි නමැත්තා ගිනි අවි සහ ගංජා ළඟ තබාගැනීම සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා කිහිපයකදීම අත්අඩංගුවට පත්ව ඇති අතර එම නඩු තවමත් අධිකරණ රැසක විභාග වේ.
මොහුට විරුද්ධව මෙතෙක් වාර්තා වී ඇති අපරාධ මෙසේය.
2015 වසරේ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්බෝම්බයක් හා මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් සමග මොහු අත්අඩංගුවට ගෙන තිබුණි.
එම නඩුව තවමත් අධිකරණයේ විභාග වේ.
2016 වසරේ ගංජා වැටලීමක් සඳහා සුරාබදු නිලධාරීන් පිරිසක් මොහුගේ නිවස වැටලීමේ දී ටී 56 ගිනි අවියක්, අත්බෝම්බයක්, මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් සමග මොහු අත්අඩංගුවට පත්විය.
සුරාබදු නිලධාරීන් මොහු අත්අඩංගුවට ගෙන එම ගිනි අවි සහ බෝම්බ සමග මුල්ලේරියාව පොලිසියට භාර දී ඇති අතර එම නඩුව ද තවමත් විභාග වේ.
මේ අයුරින් මොහු සන්තකයේ තිබී සොයාගත් සියලු අවි අංගොඩ ලොක්කාගේ අවි විය.
2017 වසරේ ජුනි මස දිනක මුල්ලේරියාව පොලිස් ස්ථානය ආසන්නයේ දී මොහුට ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලියක් වන සමයංගේ කල්ලි සාමාජිකයන්ගේ වෙඩි ප්‍රහාරයකට ලක් වූ අතර එදින මොහු ජීවිතය බේරාගෙන පැනගොස් තිබුණි.
කළුතර, එතනමඩල ප්‍රදේශයේ බන්ධනාගාර බස් රථයක් තුළ දී පාතාල නායක සමයං ඇතුළු පිරිසක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට මොහු සම්බන්ධ බවට ද පොලිසිය වෙත තොරතුරු ලැබී ඇත.
කොළඹ කේන්ද්‍ර කරගනිමින් රජ වී සිටින පාතාලයින් පිළිබඳව විශේෂ කාර්ය බළකායේ කණ්ඩායම් වෙත ඉව වැටී ඇති අතර එම ඉව ඔස්සේ ඔවුන් මෙම කණ්ඩායම් පසුපස පන්නමින් සිටිති.
සටහන - ඉන්දිකා රාමනායක