"පාට කුරුල්ලෝ" ටෙලි නිර්මාණය හරහා නිම්නාවි ලෙසින් පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයන් ඉදිරියට පැමිණි ඈ මේ දිනවල "ආලවන්ති" ටෙලි නිර්මාණයේ මෙතුලිගේ චරිතයටද පණ පොවයි. හැඩකාර, සුන්දර, තරුණ රංගන ශිල්පිනියක් වෙන ඈ නමින් පියුමාලි ප්‍රසාදිනී එදිරිසිංහයි. මේ කතාබහ ඈ සමඟයි.
- පියුමාලි කියනවට වඩා ගොඩක් අය නිම්නාවි කියනවා කියන්නේ ඇත්තද?
ඔව්, මගෙ නම අමතක වෙන තරමටම ගොඩක් අය මට කතා කරන්නෙ නිම්නාවි කියලා. ප්‍රේක්ෂකයො නිම්නාවිට ගොඩක් කැමතියි. මොකද පාට කුරුල්ලො ටෙලි නාට්‍යයේ නිම්නාවි කියන්නේ ගොඩක් අහිංසක ගෑනු ළමයෙක්ගෙ චරිතයක්. ඉතින් ඒ චරිතෙට ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. පෞද්ගලිකව මමත් නිම්නාවි කියන චරිතෙට ගොඩක් කැමතියි.
- ඇත්ත ජීවිතේ පියුමාලි කියන්නේ මොන වගේ කෙනෙක්ද?
මම ඇත්තටම ගොඩක් සරල ගෑණු ළමයෙක්. ඕන කෙනෙක් එක්ක කතාබහ කරලා ඉන්න, අනිත් ගෑනු ළමයි වගේම සාමාන්‍ය ගෑනු ළමයෙක් කිව්වොත් හරි.
- ක්ෂේත්‍රයට පිවිසෙන විදිහත් මතක් කළොත් ?
මම මුලින්ම 2016 වසරෙ රූපවාහිනී අවුරුදු කුමරිය වුණා. හැබැයි එතකොට මම පාසල් යනවා. ඒ නිසා මම ක්ෂේත්‍රයට එන්නෙ නැවත අවුරුදු පහකින් 2022 වසරෙදි. ඒ වෙළෙඳ දැන්වීම් හරහා. ඊට පස්සෙ ගිය අවුරුද්දෙ තමයි "පාට කුරුල්ලො" ටෙලි නාට්‍යයට ආරාධනාවක් ලැබෙන්නෙ. ඒ හරහා තමයි මම, මගේ පළවෙනි නාට්‍යයෙන් නිම්නාවි විදිහට ප්‍රේක්ෂකයන් අතරට ගියේ.
- පාසල් වේදිකාව තුළත් රංගන කටයුතුවල නිරත වුණාද?
පාසල් කාලේ මම නාට්‍ය හා රංග කලාව නම් හැදෑරුවෙ නැහැ. හැබැයි මම නර්තනය විෂයක් විදිහට කළා. මොකද නර්තනය කියන්නේ මම පොඩි කාලේ ඉඳන්ම ආස දෙයක්. ඒක මම හැදෑරුවා. පාසල් වේදිකාවෙ නර්තනයෙන් නම් මම හැම උත්සවයකදිම කැපී පෙනෙන චරිතයක් වෙලා තියෙනවා.
- "ආලවන්ති" ටෙලි නාට්‍යයේ මෙතුලි ගැනත් කිව්වොත් ?
මෙතුලි කියන්නේ නිම්නාවිට වැඩිය ඇත්තටම ගොඩක් වෙනස් චරිතයක්. නිම්නාවි කියන්නේ ගොඩක් අහිංසක චරිතයක්. හැබැයි මෙතුලි කියන්නේ පොඩ්ඩක් හිතුවක්කාර චරිතයක්. ආදරේ වෙනුවෙන් අම්මටයි තාත්තටයි හිතුවක්කාරකම් කරලා ආදරයක් වෙනුවෙන් ඕනෙම දෙයක් කැප කරන ගෑනු ළමයෙක්. ඒ වගේම නිම්නාවිට වගේම මෙතුලිටත් දැන් ගොඩක් ප්‍රේක්ෂක ආදරේ ලැබෙනවා. ඒ ගැන සතුටුයි. ආලවන්ති ටෙලි නාට්‍ය ගැන කිව්වොත් ඒකත් ශිවගුරුනාදන් සර්ගෙම අධ්‍යක්ෂණයක්, චාමර සමරවික්‍රම නිෂ්පාදනයක්. පාට කුරුල්ලො, ආලවන්ති කියන නිර්මාණ දෙකම එකම නිෂ්පාදන.
ඒ නිසා මට හරි පහසුයි වැඩ ටික කරගෙන යන්න. ඒ වගේම මම ශිවා සර් එක්ක හරිම ආසාවෙන් තමයි වැඩ කරන්නෙ. මං හිතන්නෙ නිම්නාවි වගේම මෙතුලි කියන චරිතෙටත් මෙච්චර ප්‍රේක්ෂක ආදරය ලැබෙන්න, නාට්‍ය ඇතුළෙ මට ඒ චරිතය ගොඩනගාගන්න අධ්‍යක්ෂකතුමාගෙන් වගේම ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පීන්ගෙනුත් ලැබෙන සහයෝගය නිසා.
- පියුමාලි වැඩිපුරම කැමති නිම්නාවිටද මෙතුලිටද?
ඒ දෙන්නා චරිත දෙකක්, හැබැයි දෙකම කරන්නෙ මම. ඉතින් දෙන්නටම එක වගේ කැමතියි. එකකට කියලා වැඩි විශේෂත්වයක් නැහැ. දෙකම හොඳින් කරගෙන යන්න තමයි මගෙ බලාපොරොත්තුව.
- කෙටි කාලයක් තුළ ඔබ අද ඉන්න තැන ගැන මොකද හිතන්නේ ?
ඇත්තටම හරිම නිහතමානී සතුටක් තියෙනවා. ඒවගේම තව මට යන්න ලොකු දුරක් තියෙනවා. ඒ දුරත් මේ ආව වගේම යන්න කැමැත්තෙන් බලාගෙන ඉන්නවා.
- මොන වගේ ප්‍රේක්ෂක ප්‍රතිචාරද ලැබෙන්නෙ ?
ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. නරක ප්‍රතිචාර ලැබෙනවා හරි අඩුයි. මිනිස්සුන්ට සමහර වෙලාවට මාව හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. ඒක මිනිස්සුන්ට පේන විදිහ. ඒක මට වෙනස් කරන්න බැහැ. ඉතින් ලැබෙන ඕන ප්‍රතිචාරයක් මම භාර ගන්නවා. ඒකෙන් මට ගන්න දෙයක් තියෙනවා නම් මම ඒක හදාගන්නවා.
- රූගත කිරීම් අතරතුර වුණු අමතක නොවන සිදුවීම් මොනවද ?
"ආලවන්ති" නාට්‍යයේ තමයි ගොඩක් ඒවා තියෙන්නේ. ඒකෙ තියෙන්නෙ ඇත්තටම දුවන්න, පනින්න, බෝට්ටු පදින්න. ඒ නිසා හැමදාම මොකක් හරි කරගන්නවා, එහෙම තාප්පෙකින් පනින්න ගිහින් මම කකුලකුත් කඩා ගත්තා. ඒ වගේ මතක තියෙනවා.
- රංගනය පැත්තෙන් තියෙන ඉදිරි බලාපොරොත්තු මොනවද?
හොඳ නිර්මාණ තුළින් විවිධ චරිත කරලා ප්‍රේක්ෂකයො අතරට එන්න තමයි මගෙ බලාපොරොත්තුව. ඒවගේම තව ඉස්සරහට මේ අවුරුද්දෙ මගෙ චිත්‍රපටියක් එන්න තියෙනවා. ඉතින් ඒකෙ වැඩත් දැන් ආරම්භ කරලා තියෙන්නේ. ඒ විදිහට ටෙලි තිරයෙ වගේම සිනමාවෙත් වැඩ කරන්න බලාගෙන ඉන්නවා.
- අලුත් නිර්මාණවලට මේ දිනවල ආරාධනා ලැබෙනවද ?
ආරාධනා ලැබෙනවා. ඒත් දැනට ඩ්‍රාමා දෙකක් යන නිසා මම මේ වෙලාවෙ වැඩ භාර ගත්තෙ නැහැ. ඉස්සරහට හොඳ ආරාධනා ලැබුණොත් කරනවා. ලබන අවුරුද්දෙ චිත්‍රපටි දෙකක රූගත කිරීම් කරන්නත් තියෙනවා.
- රංගනයට පවුලෙන් මොනවගේ සහයෝගයක්ද ලැබෙන්නෙ?
මට ඉන්නෙ අම්මයි, තාත්තයි, නංගිලා දෙන්නයි. ලොකු නංගිත් මේ ක්ෂේත්‍රයේම වැඩකටයුතු කරගෙන යනවා. ඉතින් අපි දෙන්නටම පවුලෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. මොකද නංගිත් වැඩ කරන නිසා ගෙදර අපි හැමෝම කට්ටියත් එක්ක වැඩ බෙදාගෙන තමයි කරන්නෙ. ෂූටිං යනකොටත් අම්මා එනවා. ඇත්තටම මටයි නංගිටයි දෙන්නටම කිසිම තහංචියක් ගෙදරින් දාලා නෑ. ඒගොල්ලො හරි සතුටින් අපේ වැඩ දිහා බලාගෙන අපිට උදව් කරනවා.
- ක්ෂේත්‍රයේ නවක රංගන ශිල්පිනියක් විදිහට ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පීන් එක්ක වැඩ කරද්දී මොකද හිතෙන්නෙ?
ඒක නම් මම හිතන්නෙ ඇත්තටම මගේ වාසනාව කියලා. විශේෂයෙන්ම පාට කුරුල්ලො ටෙලි නාට්‍යයේ මම තමයි අලුතෙන්ම එකතුවෙලා ඉන්නෙ. ඉතින් එහෙම බලද්දී මම හරිම වාසනාවන්තයි මේ වගේ දක්ෂ ප්‍රවීණයන් පිරිසක් එක්ක වැඩ කරන්න ලැබීම ගැන. ඒ වගේම මගේ මොකක් හරි අඩුපාඩුවක් තිබ්බොත් ඒක හදා ගන්න, චරිතෙ ගොඩ නගා ගන්න ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පීන්ගෙන් ලැබෙන දැනුම වගේම සහයෝගත් විශාලයි. ඉතින් ඒකට මම ස්තූතිවන්ත වෙනවා. මොකද ඒ සහයෝගය නිසා තමයි මම අද මේ වගේ තත්ත්වෙකට ඇවිත් තියෙන්නෙ.
කෞශල්‍යා ලක්ෂානි