‘හෝමාගම තාක්ෂණ නගරයට එල්ලවන චෝදනා බොරු ලු’


(ඩයනා උදයංගනී)
           
හෝමාගම තාක්ෂණ නගර ව්‍යාපෘතිය හරහා ඉඩම් අක්කර 4000 ක් කොරියානු රජයට හා එරට සමාගම්වලට විකිණීමට යන බවට පළවන අදහස් සම්පූර්ණයෙන් අසත්‍ය බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මාධ්‍ය වෛද්‍යරත්න මහතා පැවසීය.

හෝමාගම තාක්‍ෂණ නගරයට විරුද්ධව හඬ නගන පිරිස් විසින් එල්ල කරන චෝදනා වන ජනතාව තට්ටු නිවාසවලට ගාල් කිරීම, සිංගප්පූරු ගිවිසුම යටතේ අපද්‍රව්‍ය ගෙනැවිත් දැමීම, නිවාස හදන තුරු නැනෝ තාක්ෂණ ආයතනය මගින් වර්ෂාව ප‍්‍රමාද කිරීම සඳහා අහසට රසායනික ද්‍රව්‍යයක් විද ඇති බවට ආදී සියල්ල තාර්කික භාවයකින් තොර ඒවා බව ද අතිරේක ලේකම්වරයා සඳහන් කළේය. 

අතිරේක ලේකම්වරයා මේ බව පැවසුවේ ‘හෝමාගම තාක්ෂණ නගරයට එරෙහි විරෝධය යථාර්ථයක්ද?’ යන මැයෙන් එම අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී අද (11) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

තාක්ෂණ නගර ව්‍යාපෘතිය සලකන්නේ මේ රටේ අනාගත ආර්ථිකය හසුරුවන, ආර්ථිකයේ නව පිම්මක් පනින, මධ්‍යම ආදායම් උගුලෙන් ගැලවී තාක්ෂණය දැනුම, නවෝත්පාදනය පදනම් කර ගත් ආර්ථිකයක් කරා ගමන් කිරීමට ගන්නා උත්සාහයක් බව ද එහිදී අතිරේක ලේකම්වරයා ප‍්‍රකාශ කළේය.

රටට දියුණුව, තාක්ෂණය, සංවර්ධනය එපා කියමින් පෙළපාළි යන එකම රට ශ්‍රී ලංකාව බව ද මාධව වෛද්‍යරත්න මහතා සඳහන් කෙළේය. 

තාක්ෂණ නගර භූමිය තුළ විදේශ ආයෝජන ඇති විය හැකි නමුත් රටේ ඉඩම් විකිණීම සඳහා කොරියානු රජය හෝ සමාගම් සමඟ කිසිදු ගිවිසුමක් අත්සන් කර නැතැයි ද ඔහු ප‍්‍රකාශ කළේය. 

නමුත් තාක්ෂණ නගරය දියුණු කිරීම සඳහා කොරියානු විද්‍යාඥයින් ඇතුළු විශේඥයින්ගේ දැනුම ලබාගැනීම වෙනුවෙන් අවබෝධතා සංදේශයක් අත්සන් කර තිබෙන බව ද ඔහු කීවේය.

එමෙන්ම මේ වෙනුවෙන් මෙතෙක් පවරාගෙන ඇත්තේ අක්කර 200 ක් පමණ වන අතර ඉදිරියේදී තවත් අක්කර 250 ක් පවරා ගැනීමට නියමිත බවත් කී ඒ මහතා ඉන් බහුතරය ජනතාව පදිංචි ඉඩම් නොවන බව ද පැවසීය.

එහි ඇති කිසිම නිවසක් හිමිකරුවන්ට අහිමි නොකරන බව ද අතිරේක ලේකම්වරයා කියා සිටියේය.

එම භූමිය තුළ පරිසරයට හානි වන කර්මාන්තශාලා කිසිවක් ඉදි නොවන බව කී වෛද්‍යරත්න මහතා පර්යේෂණාගාර තුළ නව තාක්ෂණය පිළිබඳ පර්යේෂණ සිදු කිරීම, විශ්ව විද්‍යාල අධ්‍යාපනික පහසුකම් සැලසීම ආදිය පමණක් සිදුවන බව ද කීවේය.

තාක්ෂණ නගර ව්‍යාපෘති අධ්‍යක්ෂ ලාල් පේ‍්‍රමනාත්, එන්.එස්.බී.එම්. හරිත සරසවියේ ජ්‍යෙෂ්ඨ කළමණාකරු රාජ් පේ‍්‍රමදාස, ස්ලිම්ටෙක් ආයතනයේ සුනන්ද ගුණසේකර යන මහත්වරුන් ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, මොරටුව විශ්ව විද්‍යාලය, කොළඹ විශ්ව විද්‍යාලය ඇතුළු ව්‍යාපෘති නිලධාරීන් පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ.