‘සේනා’ බඩ ඉරිඟු කරළේ සැඟවී නගරයට එයි


(ජුඩ් සමන්ත)
 
නගරාසන්න මාර්ග දෙපස පවත්වා ගෙන යනු ලබන කුඩා පරිමාණ ව්‍යාපාරික ස්ථානවල අලෙවි කරන බඩ ඉරිඟු කරල් තුළ "සේනා" නම් වූ ආක්‍රමණශීලී දළඹු විශේෂය සිටින බව සොයාගැනීමට කුඩාවැව ගොවිජන සේවා කාර්යාලයේ කෘෂිකර්ම නිලධාරීහු සහ ගොවිජන සේවා නිලධාරීහු පිරිසක් සමත් වූහ.                               

හලාවත - කොළඹ මාර්ගයේ මහවැව ප්‍රදේශයේ පවත්වා ගෙන යන එවැනි කුඩා පරිමාණ ව්‍යපාරික  ස්ථානවල අලෙවි කරන බඩ ඉරිඟු කරල් බොහෝමයක සේනා දළඹු විශේෂය සොයා ගැනීමට ඔවුන්ට හැකි විය.

බඩ ඉරිඟු කරල් තුළ වැඩුණු දළඹුවන් ද සේනා දළඹු කීටයින් ද සිටි බව ඔවුහු පවසති.                                                    

අක්කර 999 ක් විශාල මෙරට දෙවැනි විශාලතම වෙල් යාය පිහිටා ඇති මහවැව - මාදම්පේ ප්‍රදේශය මේ ආසන්නයේ පිහිටා ඇති බැවින් මෙසේ අලෙවි කිරීමට ගෙනා බඩ ඉරිඟු කරල්වල සිටින දළඹුවන් මෙම වෙල්යායට ඇතුළු වුවහොත් විශාල විනාශයක් සිදුවන බව ද කෘෂි කර්ම නිලධාරීහු පැවසූහ.                                         

තැම්බීම සඳහා බඩ ඉරිඟු කරළේ ඇති පිටත ආවරණය එම අවස්ථාවේදී ම පුළුස්සා දැමීමෙන් මෙම දළඹුවන් පාලනය කළ හැකි බවත්, මේ වනවිට ඒ සම්බන්ධව ව්‍යාපාරිකයන් දැනුම්වත් කරන බවත්,  අවවාද නොතකන ව්‍යාපාරිකයින්ට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බවත් කෘෂි කර්ම සහ ගොවිජන සේවා නිලධාරීහු වැඩිදුරටත් පැවසූහ.