‘පිවිතුරු දකුණ මතුපරපුරට‘


දකුණු පළාතේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කලමණාකරණය කිරීම සඳහා ‘‘පිවිතුරු දකුණ මතුපරපුරට“ නමින් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව දකුණු පළාත් පරිසර අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශයේ ලේකම් ඒ.යූ,වේලාරත්න මහතා කියා සිටියේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ටොන් 65ක් දකුණේ වාර්ෂිකව එකතුවන බවයි.

“ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ඉතා විනාශකාරීයි. නිවසේ, කාර්යාලයේ, පාසලේ එකතුවන මේ අපද්‍රව්‍ය බැහැර කිරීමේ හෝ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ නිශ්චිත ක්‍රමවේදයක් තිබුණේ නැහැ. එයට පිළියමක් ලෙස අපි මධ්‍යම පරිසර අධිකාරිය සමග එක්ව දකුණු පළාත සඳහා මේ වැඩසටහන ආරම්භ කළා. ඒ අනුව අපිට හැකියාව ලැබේවි දැනට තිබෙන අපද්‍රව්‍ය නිසි පරිදි ඉවත් කර ප්‍රතිචක්‍රීකරණයට යොමු කරන්නත් ඉදිරියේ දී මේ අපද්‍රව්‍ය කළමනාකරණය කරන්නත්.‘‘

ලේකම්වරයා පවසන්නේ දකුණේ ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාල තුනෙහි සහ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලත් මධ්‍යම පරිසර අධිකාරීයේත් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කිරීමේ මධ්‍යස්ථාන පිහිටුවන බවයි.