‘ත‍්‍රි’මලේ කැණීම් වලින් සොයා ගත් වස්තු ඇති ගොඩනැගිල්ල විනාශ වෙනවා’



 
අමදෝරු අමරජීව
 
ත්‍රිකුණාමලය කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අවට කැණීම් වලින් සොයා ගත් පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති කෞතුක වස්තු තැන්පත් කර ඇති ගොඩනැගිල්ල ගරා වැටී විනාශයට පත්වෙමින් පවතින බව එම ගොඩනැගිල්ල පිහිටි කුච්චවේලි පිච්චමල් විහාරවාසි කැපපෙටියාවේ අරණ විහාරි හිමියෝ පවසති.
 
මෙම පුරාවිද්‍යාත්මක භාණ්ඩ  තැන්පත් කර ඇති කෞතුකාගාරයේ බිත්ති පුපුරා වහලය දිරාපත්වි විනාශ වී යන අතර මේවා රැකගැනිම  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වගකීමක් බවද උන්වහන්සේ පෙන්වා දෙති.


පැරණි තානායකමට අයත් බෝධි රුක්ෂයක මුල් විහිදි යෑම බිත්ති පුපුරා යෑමට ප්‍රධාන හේතුව බවද  උන්වහන්සේ පෙන්වා දෙති.


බුද්ධ ප්‍රතිමා, හා එහි  ශිර්ෂ තැන්පත් කර ඇති මෙම කෞතුකාගාරය රැක ගැනිම පිළිබඳව ද බලධාරින්ගේ අවධානය යොමු කරන විහාරවාසි  හිමියෝ ඒ සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් අවශ්‍ය බව කියති.
 
2013 අගෝස්තු 16  දින අංක 1823/73 දරණ ගැසට් නිවේදනය මගින්  කුච්ච්වේලි  පිච්චමල් විහාරයේ  දාගැබ හා ගොඩනැගිලි පුරාවිද්‍යා ස්මාරක ලෙස  ප්‍රකාශයට පත්කර ඇති නිසා මේ පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය හා පොලොන්නරුව ප්‍රාදේශීය පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ ඩබ්.එච්.ඒ.සුමනදාස මහතාගෙන් කළ විමසිමේදී  එහි කෞතුකාගාරයක් නැති බව කීය.

කැණීම් වලින් හමුවු  පෞරාණික දේවල් එහි තැන්පත් කලාට ගරා වැටෙන ගොඩනැගිල්ල කෞතුකාගාරයක් නොවෙයි. අනිත් එක ඔය පිච්චමල් විහාරය කියලා ගැසට් කලාට එය විහාරයක් නොව එය පුරාවිද්‍යා වැඩ බිමක්. කාලයක් ත්‍රිකුණාමලය පුරාවිද්‍යා ප්‍රාදේශීය කාර්යාලය තිබුණේ එතනයි.

මේ ගොඩනැගිල්ල ගරා වැටුණාට එහි පුරාවස්තු තවමත් අපේ සේවකයන් විසින්  ආරක්ෂා කරනවා.ගරා වැටෙන ගොඩනැගිල්ල හැකි ප්‍රමාණයෙන් අපේ සේවකයන් සාදාගෙන යනවා. එම ගොඩනැගිල්ල ඉදිරියේ දී සංරක්ෂණය කිරිමට ප්‍රධාන කාර්යාලයට යෝජනා ඉදිරිපත් කරලා තියනවා යැයි කීය.