‘ජවිපෙ තහනම් කළොත් අවි අතට ගන්නවා‘


‘අද පක්ෂය තහනම් කළොත් හෙට ආයුධ ගන්නවා.‘ යැයි අද (12) පැවැති දකුණු පළාත් සභා රැස්වීමේදී ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී නලින් හේවගේ මහතා පැවසීය.

හත්වැනි  දකුණු පළාත් සභාවේ තුන් වන සැසි වාරයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයට එක්ව කතා කරමින් සිටියදී මන්ත්‍රීවරයා මෙසේ පැවසීය.

මන්ත්‍රීවරයා කතා කරමින් සිටියදී ග්‍රාම සංවර්ධන හා ක්‍රීඩා අමාත්‍ය වීරසුමන වීරසිංහ මහතා ඇතුළු ඒ ජී සී පියසිරි, සමන් කුමාර, චම්ලි විතානාච්චි, විජය වීරසිංහ, සම්පත් අතුකෝරල යන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු දිගින් දිගටම බාධා කරමින් ඝෝෂා කරන්නට වූහ. එහිදී නලින් හේවගේ මහතා සහ එම පිරිස අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදුවිය.

සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිස අසූ අට අසූ නවය කාලයේ සිද්ධීන් සිහිපත් කරමින් බාධා කළ අතර එම අවස්ථාවේ ඉතා උද්වේගකරව කතා කරමින් සිටි නලීන් හේවගේ මහතා ‘ඔව් අද පක්ෂය තහනම් කළොත් හෙට ආයුධ ගන්නවා.‘ යනුවෙන් පැවසීය.

පසුව මූලාසනයේ සිටි නියෝජ්‍ය සභාපතිවරයා ඇමතූ නලීන් හේවගේ මහතා තමාගේ දීර්ඝ කතාවේ  එවැනි ප්‍රකාශයක් කියවුණ අකර එය මාධ්‍යවල වැරදි විදියට පළ වීමට ඉඩ තිබෙන නිසා එම ප්‍රකාශයට සාධාරණයක් ඉටු කරන දෙන ලෙස ඉල්ලා සිටියේය.


මේ පිළිබඳව කළ විමසීමක දී ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කීවේ දකුණු පළාත් සභා මන්ත්‍රීවරයා කියා ඇත්තේ 1989දී අයුධ අතට ගැනීමට සිදුවූයේ ජවිපෙ තහනම් කළ නිසා බවයි. එසේ නැතිව ඉදිරියේදී ජවිපෙ ආයුධ අතට ගැනීමක් ගැන එම මන්ත්‍රීවරයා කියා නැතැයි ද හේරත් මහතා කීවේය.

‘‘අපේ පක්ෂය 88/89 ත් තහනම් කළා. අද තහනම් කළොත් හෙට ආයුධ අතට ගන්නවා.‘‘යනුවෙන් නලීන් හේවගේ මහතා පැවසූ බව අපේ මාධ්‍යවේදියා කියයි.