ළිඳේ වැටුණු අලියා පැය 34ක මෙහෙයුමකින් පසු බේරා ගැනෙයි


කාංචන කුමාර ආරියදාස
 
සීගිරිය කණ්ඩලම පනහ කොටස   ප්‍රදේශයේ වගා ළිඳකට වැටී සිටි වන අලියෙකු    පැය තිස් හතරක මෙහෙයුමකින් පසුව   ගොඩ ගෙන කැලයට පලවා හැරීමට හැකි වූ බව සීගිරිය වනජීවී නිලධාරීහු පවසති.
 
එක් ඇසක් නොපෙනෙන මෙම වන අලියා කණ්ඩලම 50 කොටස ප්රදේශයේ වගා ළිඳකට 12 දින අලුයම 5 ට පමණ වැටී තිබිණි. පසුව එම අවස්ථාවේ සිට සීගිරිය වනජීවී නිලධාරීන් ප්‍රදේශවාසීන් එක්ව වන අලියා ළිඳෙන් ගොඩ ගැනීමට උත්සහ කළ ද අලියා ගේ පාදයක් ළිඳේ මඩ තුල එරීම හේතුවෙන් ගොඩ ගැනීමට අසීරු විය.
 
 පසුව බැකෝ යන්ත්‍ර උපයෝගී කරගෙන අලියා ගොඩ ගැනීම සඳහා දැඩි උත්සාහයක නිරත වුවද එය  අසාර්ථක විය.
 
අද   සීගිරිය වනජීවී නිලධාරීන් මෙන්ම බකමූණ ගිරිතලේ මින්නේරිය පොළොන්නරුව ඇළහැර ආදී වනජීවී නිලධාරීහු  ද පැමිණ දැඩි මෙහෙයුමක් ක්‍රියාත්මක කරන්නට කළහ. ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව වනජීවී නිලධාරීන් බැකෝ යන්ත්‍ර ආධාරයෙන් වන අලියා එරි සිටියදී ගොඩගැනීමට ගත් උත්සාහය සාර්ථක විණි.
 
වන ජීවි නිළධාරින් කියා සිටියේ ළිඳක වැටී සිටි වනඅලියෙකු ගොඩගැනීම සඳහා මෙපමණ කාලයක් ගත වූ ප්‍රථම අවස්ථාව මෙය බව යි. එමෙන්ම මෙම වන අලියා එක් ඇසක් නොපෙනීම හේතුවෙන් ගොඩගැනීමට තවත් අසීරු වූ බව ද ඔවුහු පවසති.