හොර කච්චේරියක් වටලා එහි හිමිකරු ඇතුළු සිව්දෙනෙක් අත්අඩංගුවට


(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

මාතර උයන්වත්ත ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය හොර කච්චේරියක් වටලා එහි හිමිකරු හා ඔහුගෙන් ව්‍යාජ ජාතික හැදුනුම්පත්  සකසා  ගැනීමට පැමිණී තරුණයින් තිදෙනෙකු සැක පිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බව දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකය පවසයි.

රජයේ විභාගයකට පෙනී සිටීම සදහා ව්‍යාජ ජාතික හැදුනුම්පතක් සකස් කර ගැනීමට පැමිණී කඹුරුපිටියේ පදිංචි තරුණයින් දෙදෙනෙකු ද ඒ අතර සිටී.

ඔවුන් රුපියල් පහළොස් දහසක මුදලකට එම හැදුනුම්පත සාදා ගෙන තිබෙන බව පොලීසිය කියයි.

ඒ ආකාරයට සාදා තිබු හොර ජාතික හැදුනුම්පත් තුනක් පොලීසිය සොයා ගෙන ඇත.

62 හැවිරිදි ප්‍රධාන සැකකරු මීට පෙරද පොලිස් අත් අඩංගුවට පත්ව තිබෙන අතර කූඨ ලේඛන සෑදීම සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව අධිකරණයේ නඩු හතරක් විභාග වන බව කියති.

උයන්වත්තේ හා කඹුරුපිටියේ පදිංචි සැකකරුවන් සිව් දෙනා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.