(ටෝනි කරුණානායක)
මිනුවන්ගොඩ සහ කටුනායක අවට ප්‍රදේශවල තරුණයින්ට කුඩා පැකට් වශයෙන් සකස් කරන ලද හෙරොයින් විකිණීමේ නිරත වූ අඹුසැමි යුවළක් හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 300ක් සමඟ අද(07) පීල්ලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය කියයි.
සැකකාර යුවළ කටුනායක ආඩිඅම්බලම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් හෙරොයින් පානයට ඇබ්බැහි වූවන් බවද පොලිසිය පවසයි.
අත්අඩංගුවට පත් සැකකරු 27 වැනි වියේ පසුවන අතර ඔහුගේ බිරිඳ 20 හැවිරිදි වියේ පසුවන එක්දරු මවක බවද අනාවරණය වී ඇත.
සැකකරු හෙරොයින් සන්තකයේ තබාගැනීම සහ අලෙවි කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අධිකරණයෙන් ඇප ලබා සිටින අයෙකු බවද පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.