(විජේරත්න රත්නායක)
ඉදිරි වසර (2021) සඳහා වූ හාලිඇල ප්‍රාදේශීය සභාවේ අයවැය ප්‍රකාශය ඉකුත් (24) දා වැඩි ඡන්ද 21 කින් සභා සම්මත විය. හාලිඇල ප්‍රාදේශීය සභාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය එක්ව පාලනය ගෙනයන පළාත් පාලන ආයතනයකි.
එම සභාව සභාපතිවරයා ඇතුළු ශ්‍රී ලං.පො.පෙ. මන්ත්‍රීවරුන් 13 දෙනෙකු, උප සභාපතිවරයා ඇතුළු එ.ජා.ප. මන්ත්‍රීවරුන් 12 දෙනෙකු විපක්ෂ නායකවරයා ඇතුළු එ.ජ.නි.ස. මන්ත්‍රීවරුන් 10 දෙනෙකු, ජ.වි.පෙ. මන්ත්‍රීවරුන් දෙදෙනෙකු හා ස්වාධීන කණ්ඩායම් දෙකක් නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් තිදෙනෙකුද වශයෙන් මහජන නියෝජිතයින් 40 දෙනෙකුගෙන් සමන්විතය.
එම සභාවේ සභාපති ආර්.එම්. නිමල් සේනානායක (ශ්‍රී ල.පො.පෙ.) මහතා විසින් 2021 වාර්ෂික මුදල් ප්‍රකාශය සභාවට ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳ ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 29 ක්ද, විපක්ෂව ඡන්ද 08 ක්ද ලැබිණි. මන්ත්‍රීවරුන් තිදෙනෙක් ඡන්දය විමසීම අවස්ථාවට සහභාගි නොවූහ.
ඡන්ද විමසීමට එක්වූ මන්ත්‍රීවරුන් අතරින් ජ.වි.පෙ. මන්ත්‍රීවරුන් දෙදෙනා සහ ස්වාධීන මන්ත්‍රීවරුන් තිදෙනාද, එ.ජා.ප. මන්ත්‍රී සුසන්ත සිල්වා, එ.ජ.නි ස. මන්ත්‍රීවරුන් වන මහින්ද ජයවර්ධන හා චමින්ද ප්‍රියදර්ශන යන මහත්වරුද අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
ශ්‍රී ලං.පො.පෙ. මන්ත්‍රී තුවාන් බහාර් අජි, එ.ජ.නි.ස. මන්ත්‍රීවරුන් වන කපිල සමන් හා පී.වික්නීෂ්වරන් යන මහත්වරුන් එම අවස්ථාවේ සභා ගැබේ නොසිටි අතර සෙසු මන්ත්‍රීවරු 29 දෙනා අයවැයට පක්ෂව ඡන්දය දුන්හ.
ඒ අනුව අයවැයට පක්ෂව ඡන්ද 29 ක් සහ විපක්ෂව ඡන්ද 08 ක්ද ලැබීමෙන් හාලිඇල ප්‍රාදේශීය සභාවේ 2021 වර්ෂය සඳහා වූ වාර්ෂික මුදල් ප්‍රකාශය වැඩි ඡන්ද 21 කින් සභා සම්මත විය.