හලාවතදී අතුරුදන් වූ ධීවරයා සොයාගනියි


(පුත්තලම - ජුඩ් සමන්ත.)
හලාවත මෝය කටේදී මුහුදට ගසා ගෙන ගොස් අතුරුදහන්වූ බව කියන පුද්ගලයා හමුවීමෙන් පසුව ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය කියයි.


පසුගිය 20 වැනිදා අළුයම 3.10 ට පමණ මෙම පුද්ගලයා අතුරුදහන් වූ බව පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.
අතුරුදහන්වී සිටියදී හමුවී ඇත්තේ හලාවත - අඹකදවිල පදිංචිකරුවෙකු වන මුතුපෝරුතොටගේ ඇන්ටනි ලක්ෂමන් (අවු:45) නම් අයෙකි.


තවත් ධීවරයෙකු සමග මසුන් මැරීම සදහා බෝට්ටුවකින් මුහුදට යමින් සිටින අතරතුර  කිසියම් අවශ්‍යතාවයක් සඳහා හලාවත මෝය කට ප්‍රදේශයට ගොස් ඇති අතර එතැන් සිට ඔහු අතුරුදහන් වී සිටියේය. ඔහු අත තිබූ විදුලි පන්දමද එම ස්ථානයේ තිබී හමුවී ඇත.


මුහුදු වෙරළේ සිටියදී මොහු රළපහරකට හසුවී ගසා ගෙන යන්නට ඇති බවට විශ්වාස කර ඔහු සොයා මෙහෙයුමක්ද සිදු කරන ලදී. ප්‍රදේශයේ ධීවරයින් මෙන්ම නාවුක හමුදාවද ඒ සඳහා එක්ව සිටියේය.


ඊයේ (22) දහවල් අතුරුදහන්වී සිටි ඔහු ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත. රෝහල් ගත කර ඇති අයගෙන් මෙතෙක් ප්‍රකාශයක් ලබා ගැනීමට නොහැකි වී ඇති බව පොලීසිය කියයි.


හලාවත පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.