සේනා දළඹු හානිය වී වගාවටත්


(ක.ග. කරුණාරත්න)
 
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බඩ ඉරිගු වගාවේ පමණක් මෙතෙක් දක්නට තිබූ සේනා දළඹු හානිය මේ වනවිට වී වගාවට ද ව්‍යාප්ත වී ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.


පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය ගොවි ජනපද ව්‍යාපාරයට අයත් සිංහපුර ප්‍රදේශයේ මෙවර මාස් කන්නයේ කරන ලද වී වගාවක සේනා දළඹු හානිය තිබෙන බවට ප්‍රථම වරට පැමිණිලි ලැබිණි.


ඒ අනුව අද (27) දිනයේ කෘෂිකර්ම උපදේශකවරුන් ඇතුළු තම නිලධාරීන් කණ්ඩායමක් ගොස් ඒ ක්ෂේත්‍රයේ වී වගාව පරීක්ෂා කර බැලීමේදී එය තහවුරු වූ බව පොළොන්නරුව දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂක ආර්.පී. උපාලි මහතා ප්‍රකාශ කළේය.


දැනට භාවිත කරනු ලබන කෘමිනාශක වර්ග කිසිවකට සේනා දළඹුවා මර්දනය කිරීමට නොහැකි වී ඇති හෙයින් අලුතින්ම ව්‍යාපෘති පෙන්නුම් කරන වී වගාව සේනා දළඹු හානියෙන් බේරා ගැනීම විශාල අභියෝගයක් වන බවද ඒ මහතා කීය.


කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන අන්දමට සේනා දළඹු හානිය මෙරට වී වගාවේ ව්‍යාප්ත වීම ප්‍රථමයෙන් වාර්තා වන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙනි.