(දිලීප් ජයසේකර)
සෙවනගල පොලිස් බල ප්‍රදේශයට අයත් සුරියවැව කිරිඉබ්බන්ආර මාර්ගයේ නුගේගලයාය ප්‍රදේශයේ ගංජා හේන් 4ක් හා පැළ තවාන් දෙකක් සොයා ගැනීමට සුරියවැව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් අද (19) සමත්වී තිබේ.
සුරියවැව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ලද පුද්ගලික තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.
නුගේගලයාය ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරය පිටුපස පිහිටි විදුලි වැටේ සිට මීටර් 70ක් පමණ කැලෑවට වන්නට මෙම ගංජා හේන් පවත්වාගෙන ගොස් තිබුණි.වැටලීම සිදුකරන අවස්ථාව වන විට එහි සිටි සැකකරුවන් පලාගොස් ඇති අතර එහි තිබී අඩි එක හා අඩි එකහමාර ප්‍රමාණයේ උසකින් යුත් ගංජා ගස් සහිත පර්චස් 30,32,35 හා 38 ප්‍රමාණයේ ගංජා හේන් හතරක් සොයාගෙන තිබේ.මීට අමතරව ඒ ආසන්නයේම තිබී ගංජා පැළ 16000ක් සහිත ගංජා තවාන් දෙකක්ද සොයාගෙන ඇත.
සැකකරුවන් කලක් තිස්සේ මේ ස්ථානයේ ගංජා වගාව සිදුකරගෙන ගොස් තිබේ. ගංජා වගාවට වතුර ගැනීම සදහා සැකකරුවන් ළිඳක්ද කපා, ලී දඩු යොදා ගනිමින් මහල් දෙකකින් යුතුව පැලක්ද ඉදිකර තිබු අතර එහි තිබී සිවිල් ආරක්ෂක බළකා නිලධාරීන් භාවිතා කරන ඇඳුම් කොටස්ද සොයාගෙන තිබේ. කලක් තිස්සේ සැකකරුවන් කිසිදු බාධාවකින් තොරව මෙහි ගව ඝාතනය ඇතුළු ජාවාරම් රැසක් සිදුකරගෙන ගොස් ඇති බවට මෙහි සාක්ෂි ඉදිරිව තිබු බව වැටලීම් නිලධාරීහු පැවසූහ.
සැකකරුවන් සොයා පොලිස් විශෞෂ කාර්ය බළකා නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරිමට ගංජා පැළ සාම්පල ලබා ගැනීමෙන් පසු ඉතිරි ගංජා පැළ ගලවා විනාශ කර තිබේ.