(ඉන්දිකා රාමනායක)
නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර මෙම මස 7 වැනි දින සිට 12 වැනි දින දක්වා පැවැත්වෙන ඉන්දු - ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසයට සහභාගි වීම සඳහා නාවික නෞකා ‘සිඳුරළ‘ සහ ‘සුරනිමිල‘ යන නෞකාවන් අද (05) ත්‍රීකුණාමල වරායෙන් ඉන්දියාව බලා පිටත් විය.
නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් පරිදි මෙම අභ්‍යාසය සඳහා නෞකාවන් වරායෙන් පිටත් වූ බව නාවික නාවික හමුදාව පවසයි.
එහිදී නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති විසින් නෞකාවන්හි අණදෙන නිලධාරීන් වන කපිතාන් නලින් නවරත්න සහ කපිතාන් සංජීව ප්‍රේමරත්න ඇතුළු නැව් මුළුව වෙත සුභ පැතුම් එක් කරන ලදී.
මෙම නෞකාවන් සැප්තැම්බර් මස 07 වැනි දින විශාකාපට්නම් වරාය වෙත ලඟා වීමට නියමිතය.
මෙම ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් නාවික හමුදා ධජ , නිලධාරි නාවික දියත් විධානය රියර් අද්මිරාල් උපුල් ද සිල්වා ඇතුළුව නිලධාරීන් සහ නාවිකයින් 323 දෙනෙකු සහභාගී වන බව නාවික හමුදාව පවසයි.
මෙම නාවික අභ්‍යාසය මඟින් හෙලිකොප්ටර් පුහුණු අභ්‍යාස ද ඇතුළුව ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාස රැසක් පැවැත්වීමට නියමිතව ඇත.
මෙම ඒකාබද්ධ නාවික අභ්‍යාස මගින් දෙරටේ නාවික හමුදාවන් අතර අවබෝධය තව දුරටත් වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙන බවත් එමගින් ඉන්දියානු සාගර කළාපයේ සාගරික ආරක්ෂාව ස්ථාවරව පවත්වා ගැනීමට මහත් පිටිවහලක් ඇති බවත් නාවික හමුදාව සඳහන් කරයි.
එම අවස්ථාවට නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ සහ ධජ නිලධාරි නාවික දියත් විධානය රියර් අද්මිරාල් උපුල් ද සිල්වා ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීහු පිරිසක් ද සහභාගී වුහ.