සිංහ සමාජයෙන් නුවරඑළියට දර්ශනීය ඔරලෝසු කණුවක්



(නුවරඑළිය ෂෙල්ටන් හෙට්ටිආරච්චි)

නුවරඑළිය නගරයට ඉතා අත්‍යවශ්‍යය අංගයක්ව තිබූ ප්‍රසිද්ධ ඔරලෝසු කණුවක් නුවරඑළිය සිංහ සමාජයේ (306 ක්‍ 2) විසින් ලක්‍ෂ 25ක වියදමින් ඉදිකිරීම සඳහා අද (30) දින නුවරඑළිය නගරයේදී මුල්ගල් තැබීම සිදුකරන ලදී.

නුවරඑළිය පුරපති චන්දනලාල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිංහාධිපති අසේල කරුණාජීව මහතාගේ සහභාගීත්වයෙන් ඔරලෝසු කණුව සඳහා මුල්ගල් තැබීම සර්ව ආගමික කටයුතු වලින් පසුව සිදුකරන්නට විය.

උස අඩි 37ක් පමණ වන මෙම ඔරලෝසු කණුව ලක්‍ෂ 25ක් වියදම් කර බ්‍රිතාන්‍ය ගොඩනැගිලි ආකෘතිය අනුව ඉදිකිරීමට කටයුතු කර ඇති බවත්, ජාත්‍යන්තර සිංහ සමාජයේ වසර 100කින් පසු නව ශත වර්ෂයකට ආරම්භවන මෙම අවස්ථාවේදී නුවරඑළිය සිංහ සමාජයට අවුරුදු 52ක් සමරන මෙම වසරක සිංහ සමාජයේ සංකේතයක් ලෙස ඉදිකිරීමට ලැබීම පිළිබඳ තමා සතුටට පත්වන බවත්  එහිදී අදහස් දැක්වූ  අසේල කරුණාජීව මහතා සඳහන් කර සිටියේය.

මේ සඳහා අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතාගේ පූර්ණ අනුග්‍රහයත්, නාගරික සංවර්ධන අධිකාරියේ ලබාදුන් සහයත් නුවරඑළියේ පුරපතිතුමා ඇතුළු නගර සභා දැක්වූ සහයෝගය පිළිබඳ සිංහ සමාජයේ ගෞරවණීය ස්තූතිය පළ කර සිටින බවත්, 2018 සැප්තැම්බර් 01 වෙනි දින මෙම ඔරලෝසු කණුව විවෘත කිරීමට අපේක්‍ෂා කරන බවද මෙහිදි කියා සිටියේය.

මෙම අවස්ථාවට සිංහ සමාජයේ හිටපු නුවරඑළිය සභාපති ආර්. ගුණසේකරන්, 53 වෙනි සභාපතිවරයා වන පී. සදීස්කුමාර් යන මහත්වරුන් ඇතුළු සිංහ සමාජයේ සාමාජිකයෝ විශාල පිරිසක් එක්ව සිටියහ.